Monday, June 29, 2015

මගහැරුණද? නැත්තම් මගහැරියද?


ටික දවසකට මගෙ බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුන නිසා බ්ලොග් එක පාළුවට ගිහින් කියල හිතෙනවා. ඒ වගේම කාගෙවත් බ්ලොගකට ගොඩ වෙන්නත් බැරි උනා. ඒ ගතිය නැති කරල දාන්නත් එක්ක මේ පෝස්ට් එක ලියලා දාන්න හිතුනා. කියන්න හදන්නෙ බ්ලොග් එකක් ගැන පොඩි ඔත්තුවක්. ඇත්තටම ඔත්තුවක් දෙන්න දේකුත් නෑ. ඒ බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුදු ගාණක් වෙනවා. නමුත් මට හිතෙනව ඒ බ්ලොග් එක අපේ ගොඩ දෙනෙක්ට මගහැරිලා කියල. එක්කො මගහරිනවා වෙන්නත් පුළුවන්. වැල් වටාරම් නැතුව කෙලින්ම කියන්නම්කො. මේ කියන්න හදන්නෙ   << කඳු >> බ්ලොග් එක ගැන. ගොඩ දෙනෙක් මේ බ්ලොග් එක ගැන දන්නවා කියල මට හිතෙනවා. ඒ වගේම සමහරු අනං මනං කියයි කියලත් හිතෙනවා. "අපෝ ඒකෙ කමෙන්ට් එකක් දැම්මට රිප්ලයි එකක් වත් දාන්නෙ නෑ", "එයාගෙ ලොකු කමට වෙන්න ඇති කමෙන්ට් කරන්නෙ නැත්තෙ, අපි යයි එයාගෙ බ්ලොග බලන්න" ඔය වගේ නොයෙකුත් ජාති කියනවා ඇති කියල මට හිතෙනවා :D. ඇත්තටම කමෙන්ට් එකක් දැම්මට රිප්ලයි කරන්නෙ නම් නැහැ තමා ලේසියකට. මට හිතෙන්නෙ බ්ලොග් එක කරන අයිතිකාරියට තියෙන කාර්යබහුලත්වය වෙන්න ඇති ඒකට හේතුව. 

ඒ මොනවා උනත් කඳු බ්ලොග් එකට ගිය ඕන කෙනෙක් දන්නව කොයිතරම් හැකියාවක් තියෙන කෙනෙක්ද ඒක ලියන්නෙ කියල. සිංහල භාෂාව හසුරවන අපූරුව ඒ බ්ලොග් එකෙන් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. ලස්සන කවි වර්ග, කතා ආදිය හිත ඇදිල යන විදිහට ලියල තියෙන හැටි දැක්කම කමෙන්ට් වලට රිප්ලයි නොකළත් හොරෙන් හරි ගිහින් බලන්න හිතෙන එක හැම කෙනෙක්ටම සාමාන්‍ය දෙයක් වෙන්න ඇති කියල මට හිතෙනවා. ඒ වගේම හැම පෝස්ට් එකකටම යොදාගන්නා ඡායාරූපයේ අයිති කරුවාගේ නම හෝ අඩුම ගානෙ අරගත්ත තැන හරි ලින්ක් එකත් එක්ක දාන එකත් සුවිශේෂයි. අපි නම් ගොඩ දෙනෙක් ඒක කරන්නෙම නෑ (මාත් ඇතුළුව) :D. අපි කරන්නෙ ඕන ඡායාරූපයක් අපේ වගේ දාන ඒකනෙ.  මේ බ්ලොග් එක ලියන්නේ සශිකා අමාලි මුණසිංහ කියන අක්කා. මම කියන්නෙ කඳු අක්ක කියල. කඳු බ්ලොග් එක ලියනවට අමතරව වෙනත් මාධ්‍ය වලට ලිපි එහෙමත් ලියනවා මම දැකලා තියෙනවා. සිංහල භාෂාව හැසිරවීම ගැන නම් කියන්න දෙයක් නැහැ. 

ඉතිං මේ කඳු අක්ක ගැන කීවේ වෙන මොකකටවත් නෙමේ. කොයි තරම් වැඩ රාජකාරි මැද්දෙ හිටියත් මට සුපුරුදු සංගීත උණ අඩු වෙන්නෙ නෑනෙ. මම ඉතිං කඳු බ්ලොග් එක බලනවා සාමාන්‍යයෙන්. එහෙම බලද්දී ලස්සන කවි පේලි ටිකක් පළ කරලා තිබ්බා එක පොස්ට් එකක "ප්‍රේමයයි සොඳුර ඔබ ගැන" කියන මාතෘකාව දාලා.
<<මෙතනින් ඒ පොස්ට් එකත් බලන්න පුළුවන්>>

ඒක දැක්ක හැටියෙ මට ඕනවුනේ කොහොම හරි ඒකට මම දන්න සංගීතෙ පාවිච්චි කරලා සිංදුවක් විදිහට නිර්මාණය කරන්න. කඳු අක්කගෙත් කැමැත්ත ඇතුව මම ඒක නිර්මාණය කළා. ගීතය නිර්මාණය කරද්දී කඳු අක්කා විසින්ම මුල් නිර්මාණයේ තිබ්බ පද පේළි දෙකක් වෙනස් කළා. මේ තියෙන්නේ ඒ පද ටික.

සඳ සරස නොමැති බව දැන 
සඳ නෙළා ගෙනත් අහසට 
මල් සුවඳ කැමති බව දැන 
තුරු සියක් මවා හිනැහෙන 
මා කුරුළු පියාපත් සිඹ 
දොර කවුළු පියන් හැර ගෙන 
කඳු ඉසහි රැඳෙන දේදුණු 
පැහැ කරයි සතුට ගැන ගැන 

ගඟ ඉවුරු අසළ හිඳ වෙණ 
වයයි මිහිරි තුඩගින
රළ අතර විහිද උපදින 
පැතුම් ඉපිද  මිය යන 

කඩවසම් ඉවුරු ගඟ ළඟ 
නවතින්න බැරිද අසමින 
දෑසමන් මලකි හිනැහෙන 
ප්‍රේමයයි සොඳුර ඔබ ගැන 

ඉතින් මේ පද පේළි ටිකට මගෙ හිතට ආව මෙලඩි එක දාල ගීතය නිර්මාණය කරලා මගේ යූටියුබ් චැනල් එකට අප්ලෝඩ් කළා. ඇත්තටම මේ ගීතය ගායනා කරන්න ඕනෙ ගායිකාවක්. මම ගායිකාවක් කොහෙන් සෙට් කරගන්නද මේවා කියන්න. දැනට ඉතින් මම ම ගායිකාවගෙ පාට් එකත් කලා. පස්සෙ හොඳ කෙනෙක් හම්බුනොත් කියන්න දෙනවා.

මම මේ ගීතය පළවෙනි පාරට මල්ටි ට්‍රැක් විදිහට හැදුවා. ඒ කියන්නෙ ෆෝන් එකෙන් සිංදුවේ කෑලි කෑලි රෙකෝඩින් කරලා පස්සෙ ඒ ටික එකතු කළා(ඔහොම තමා ඔයාලා හරි ලස්සනයි කිය කියා අහන ඔක්කොම සිංදු හදන්නෙත් ශබ්දාගාර වල. එකම වචන ටික හරියටම කියවෙනකන් පස් හය පාරක් කියනවා. මමත්  බොහොම ප්‍රාථමික මට්ටමින් ඒ වැඩේ කරා). කෑලි එකතු  කළේ ඇඩෝබි ඔඩිෂන් කියන මෘදුකාංගය පාවිච්චි කරලා. මේවා  ඔක්කොම පර්යේෂණාත්මක මට්ටමේ නිර්මාණයන්. ඒ එක්කම පුළුවන් විදිහට තාක්ෂණයත් මුහු කරන්න උත්සාහ කරනවා. අඩු පාඩු තියෙනවනම් පෙන්වා දෙන්න කියලත් ඉල්ලා සිටිනවා. පහළින් යූටියුබ් වීඩියෝව සහ වීඩියෝ එක  බලන්න බැරි අයට ඕඩියෝ එක දාල තියෙනවා අහන්න. අහල බලන්නකො මොකද තත්වෙ කියලා :D. අහන ගමන්ම පිං අතේ වැඩකුත් කරගන්න හැමෝටම අවස්තාවක් තියෙනවා. මගෙ බ්ලොග් එකේ ගැජට් එකක් එල්ලලා තියෙනවා දකුණු අත පැත්තෙ උඩම. ඒකෙ තියෙන්නෙ යූටියුබ් කියල රතුපාට බට්න් එකක්. ඒක ක්ලික් කරලා මගෙ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මහා පිං කමකට දායක වෙන්න හැම කෙනාටම පුළුවන් ;). 

<<මෙතනින් ක්ලික් කරලා ඕඩියෝ එක අහන්න>> 


මෙන්න යූටියුබ් වීඩියෝ එක බලන්න.



එහෙනං ගිහිං එන්නම්.
ජය වේවා!!!

Tuesday, June 16, 2015

නිදහස?

නිදහස is that freedom

කොළඹින් වැලිමඩ බලා රාත්‍රී 10 ට පිටත් වන අර්ධ සුඛෝපබෝගී බස් රථයේ ක්‍රියාත්මක වෙමින් තිබූ රේඩියෝවේ හඬ බසය තුළ හීන් හඬින් ඇසෙයි.  නිමල් බස් රථයේ පිටුපස ආසනයේ වම් කොනකට වී තරමක කල්පනාවක ගිලී සිටියේය.බස් රථයේ ආසන සියල්ලකම වාගේ එකා දෙන්නා ඉඳගෙන සිටියි. අයෙකු කෙටි නින්දකට වැටී සිටියි. තවකෙකු ජංගම දුරකථනය කනේ ගසාගෙන මල් යායක තනිවී ඇත. තව කීප දෙනෙකු කෙටි ආහාරයක් ගනිමින් පසු වෙයි. මේ සියල්ල මැද්දේ නිමල් තමන්ගේ බර කල්පනාවෙන් එපිට මෙපිට පනිමින් බසය ගමන් ආරම්භ කරනතුරු වෙලාව බලමින් සිටියි. බසය තුළ සියුම් කසුකුසු කිහිපයකි. කතාබහ සියල්ල අපැහැදිළි නමුත් සිංහල සහ දමිළ ලෙස භාෂාවේ වෙනස පැහැදිලිව හඳුනා ගැනීමට ඔහුට හැකි විය. වැලිමඩ බලා පිටත්වන බසයක් බැවින් වතු ආශ්‍රිතව වාසය කරන දමිළ මිනිසුන් සහ ගැහැණුන් කිහිපදෙනෙක්ම බසයේ සිටින බව නිමල්ට පෙනුණි.

මේ කාලය අතරතුර බසයට ගොඩවූ වෙළෙන්දන් කිහිප දෙනෙකු විවිධාකාර දේවල් අලෙවි කිරීමේ කටයුතු වල යෙදී සිටියහ. බසය පිටත් වීමට තවත් විනාඩි දහයක් පමණ ඇත. බසයට ගොඩවූයේ තරුණ යුවළකි. දෙදෙනාටම එකට ඉඳගෙන යෑමට අසුනක් පිරික්සමින් බසයේ ඉදිරිපස සිට පිටුපස බලා වෙළෙන්දන් අතරින් තමා දෙසට එන තරුණ යුවල දෙස නිමල් තරමක උනන්දුවෙන් බලා සිටියේය. ඔවුන් දෙදෙනා පෙනුමෙන් වතු දමිළ බව නිමල්ට අවබෝධ විය. සෑම අසුනකම එක පුද්ගලයෙකු හෝ වාඩිවී සිටි බැවින් ඔවුන් දෙදෙනාට එකට ඉඳගැනීමට ආසනයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුන්ගේ මුහුණුවල ස්වභාවයෙන්ම නිමල්ට අවබෝධ විය. සෙමෙන් තමා අසුන් ගෙන සිටි අවසාන ආසනය වෙත පැමිණි යුවළ මදක් ආසනයේ දෙකොන පිරික්සන්නට විය. ආසනයේ එක් පැත්තකට වන්නට තරුණයන් තිදෙනෙක් අසුන්ගෙන සිටියි. අනෙක් පසින් ඉඳගෙන සිටින්නේ නිමල්ය. නිමල් මේ වන විට බසයෙන් ඉවත බලාගෙන සිටියි. තරුණ යුවළගේ බලාපොරොත්තු කඩවුණු ස්වභාවයකි. දමිළ තරුණිය තම පෙම්වතාට නිමල් දෙස බලමින් මොනවදෝ රහසින් මෙන් කොඳුරන හැටි නිමල්ට ඡායාවක් ලෙස පෙනෙයි.

"එයාට මෙහෙට වෙලා අපිට අයිනෙ ඉඳගන්න සීට් එක ඉල්ලගන්නකෝ" වැනි දෙයක් පවසන බව දමිළ බසින් තම පෙම්වතාට තොන්දොල් වෙමින් කතා කරන ආකාරයෙන් නිමල්ට දැනෙන්නට විය. නිමල් බසයේ ජනෙල් කවුළුවෙන් එපිට බලාගෙනම හිඳියි. තම පෙම්වතියගේ ඉල්ලීමට සවන් දුන්නත් එය ඉටුකිරීමට තරුණයා මැලි වන බවක් නිමල්ට වැටහිණි. තමන් සිංහල තරුණයෙකු වූ නිසා, සිංහලයන් යනු තමන්ගේ සතුරන් ලෙස සමහරවිට ඔහු තවමත් විශ්වාස කරනවාද, නැතිනම් සිංහලයන්ට ඇති බියමුසු හැඟීමක් නිසා එසේ කරනවාද යන්න නිමල්ගේ හිතේ දෙගිඩියාවකි. නිමල් හට කිසිවක් නොපැවසූ මේ පෙම්වතා අවසානයේදී තම පෙම්වතියට යමක් දමිළ බසින් පැවසීය.

"එයා සීට් එක දෙන එකක් නෑ. පේන්නැද්ද හිනාවක් නැතුව රවාගෙන අහක බලන් ඉන්න හැටි. වෙන කරන්න දෙයක් නෑ, අපි මේ සීට් එකේම මැදින් ඉඳන් යමු." වැනි දෙයක් පවසන්නට ඇතැයි එම කතා විලාසය අනුව නිමල්ට වැටහිණි. තම පෙම්වතාගේ ඇඟට බර වී ආදර වදන් තෙපුලමින් බසයේ ගමන් කිරීමේ අහිංසක බලාපොරොත්තුව පන්හිඳකින් ලියූ මුතු අකුරු පෙළකට දිය බිඳක් ඉසුනාක් මෙන් බොඳ වී යන්නට ඇතැයි නිමල්ගේ සිතට දැනෙන්නට විය. එයින් තම සිත තරමක් උණුවුවත් ඒ බවක් මුහුණේ එකඳු ඉරියව්වකින් වත් නොපෙන්වීමට නිමල් වග බලා ගත්තේය. තරුණිය තමන්ගේ ළඟිනුත්, තරුණයා අනිත් තරුණයන් තිදෙනාගේ පසිනුත් අසුන් ගත්තත්, තරුණිය ඇයගේ එක නූල් පටක්වත් තමන්ගේ ඇඟේ නොගෑවෙන සේ අසුන් ගෙන සිටින බව නිමල්ට දැනුණු නිසා නිමල් තරුණියගේ මුහුණ දෙස හැඟීමකින් තොරව බැල්මක් හෙළීය. ඇය නිමලුත් ඇයත් අතර මද හිඩැසක් තබා ගෙන තම පෙම්වතාට තුරුල් වී සිටියේ තමාව ගිලගැනීමට පැමිණි රාක්ෂයෙකුගෙන් බේරීමට මෙනි. නිමල්ගේ හිතට නැවතත් ඒ කුමක් නිසාද යන දෙගිඩියාව පැන නැගෙන්නට විය.

නියමිත වෙලාවට බසය පිටත් වුනි. තවමත් තරුණ යුවළ ඉඳගත් ආකාරයටම එකිනෙකාට වඩාත් සමීපව සිටියි. තමා හා තරුණිය අතර ඇති පරතරය එලෙසම තබා ගැනීමට නිමල් වග බලා ගත්තේය. බසය වේගයෙන් ඉදිරියට යයි. ඉඳ හිට හිටිවනම බ්‍රේක් පාරවල් ගසන විට බසයේ සිටින උන් තමාගේ ඉදිරි අසුන් සිප ගන්නට විය. අවසන් ආසනයේ මැදට වන්නට සිටි තරුණ යුවලට සිප ගැනීමට ඔවුන් ඉදිරියේ අසුනක් නොමැත. ඉදිරියට ව්සිවී බිම සිප ගැනීමට නම් කිසිම බාධාවක් නැත. සිප ගන්නට උවමනාම නම් සිටින්නේ තම ආදරණිය පෙම්වතා සහ පෙම්වතිය පමණි. මේ බව අවබෝධ කරගත් පෙම්වතා තමාගේ දකුණු පසින් ඇති ආසනයේ ඇති යකඩ බටය තදින් අල්ලාගෙන අනිත් අතින් තම පෙම්වතිය තදින් අල්ලා ගත්තේය. නිමල් තමාගේ ජංගම දුරකතනයෙන් ගීතයක් අසමින් කවුළුවට එපිටින් වේගයෙන් පසු කරන අන්දකාර දර්ශන දෙස බලාගෙන සිටියි.    

කාලය කෙමෙන් ගත වෙද්දී බසයේ රියදුරු එක වරම ගැසූ බ්‍රේක් පහර නිසා නිමල්ගේ දකුණු උරහිසට එකවරම බර ගතියක් දැනෙන්නට විය. නින්දේ සිටි පෙම්වතාගෙ අතින් ගිලිහුණු තරුණිය නිමල්ගේ උරයේ බරවී සිටී. නිමලුත් තරුණියත් අතර ආසනයේ තිබූ හිස් අවකාශය සොයා ගැනීමටවත් නොමැත. ඇය බර නින්දකට වැටී ඇති නිසා අවදි නොවන්නට හේතුව වන්නට ඇතැයි නිමල්ට සිතුනේ ඇය තමාගේ උරයට බර වී සිටි අසමමිතික ස්වභාවය නිසාය. පෙම්වතාද බර නින්දක පසුවෙයි. තරුණිය නින්දෙන් අවදිකර තමාගේ ඇඟෙන් ඉවත් වන ලෙස පැවසීමට අවශ්‍ය උවත් එසේ කිරීමට හිත නොදුන්නේ කිමදැයි නිමල්ට තේරුම් ගැනීමට නොහැකි විය. එසේ ටික වෙලාවක් සිටින විට තරුණියගේ උකුල මත තිබූ බෑගය ලිස්සා බිමට පතිත විය. නමුත් තරුණිය අවදි නොවිණි. නිමල් සෙමෙන් තමන්ගේ වම් අතින් ඇයගේ ඇඟට තට්ටුවක් දමා ඇයව නින්දෙන් අවදි කරනු ලැබීය. අවදි වුනු සැණින් නිමල්ගේ ඇඟෙන් මිදුණු ඈ "Sorry" යනුවෙන් දමිළ ඌරුවට පැවසුවේ ලැජ්ජාවෙන් හිනාවකින් මුහුණ සරසා ගන්නා අතරතුරදීය. බිම වැටුණු බෑගය නිමල් විසින් ඇයට රැගෙන දුන් අතර "Thank you" කියමින් එය ගන්නා විට ඇයගේ පෙම්වතාද නින්දෙන් අවදි වි සිටියේය. 

මේ වන විට බසය නිමල්ගේ බස් නැවතුම් පොළට තරමක් ආසන්න වෙමින් ඉදිරියට ඇදෙන්නට විය. රාත්‍රියට අර්ධ සුඛෝපබෝගී දුරගමන් සේවා යන බස් රථ සාමාන්‍ය බස් රථ වලට වඩා වැඩි වේගයකින් ධාවනය වන නිසා අඩු කාලයකින් අවශ්‍ය නගර කරා ළඟා වීමේ හැකියාවක් ඇත. දැන් වෙලාව රාත්‍රී 12 ට ආසන්න වෙමින් පවතී. බස් රථයේ ගමන් ගන්නා මගීන් කිහිප දෙනෙක් හැර අනෙක් සියළු දෙනාම තද නින්දේ පසු වූහ. රියදුරු විසින් බස්රථයේ ඇතුළත විදුළි පහන් නිවා දමා රාත්‍රී කාලයේ දල්වන මද එළියක් සහිත විදුලි පහන් දෙකක් පමණක් දැල්වූ හෙයින් රථය තුළ අඳුරු ස්වභාවයක් පැවතුනි. තරුණ යුවළත් නිමලුත් අවදියෙනි. නිමල් නැවතත් ගීත වලට සවන් දෙමින් කවුළුවෙන් පිටතට දෑස් යොමා සිටියි. තරුණ යුවළ මද අඳුරේ පෙම් සුව විඳීමට සැරසුනත් තමන් අසල සිටින සිංහල තරුණයා බලාවිදෝ යැයි සැකයෙන් එකිනෙකාගේ මුහුණ බලමින් පසු වන බව නිමල්හට තේරුම් ගිය අතර යුවළ ඒ සමග තමන් දිහාද කිහිප විටක් බලමින් පසුවන බව ඔහුට වැටහිණි. 

සමාජයේ පෙම්වතුන්ට නිදහසේ පෙම්සුව විඳීමට අවසරයක් නැත්තේ තමන් ජීවත් වන සමාජයේ මිනිසුන් ඒ දෙස බලන්නේ පුදුමයකින් සහ වැරදි ඇසකින් නිසා යැයි නිමල් කල්පනා කළ අතර එහිම එක අවස්ථාවකට තමන්ට එහා පැත්තේ සිටින දමිළ යුවලටද මුහුණදීමට සිදු වී ඇති බව ඔහු තේරුම් ගත්තේය. දමිළ සමාජයේ සහ සිංහල සමාජයේ පෙම්සුව විඳින පෙම්වතුන් දෙස බලන්නේ එකම කෝණයකින් යැයි වරෙක ඔහුට සිතුණත් දමිළ සමාජයේ ඒ සඳහා ඇති නිදහස ඊට වඩා ඇහිරී ඇති බව ඔහුට තේරුම් ගියේ ඔවුන්ගේ ආගමික විශ්වාස සහ උග්‍ර කුල භේදය නිසා බැවිනි. තවත් මෙම තරුණ යුවළට බාධාවක් නොවී මේ කෙටි කාලයට හෝ නිදහසේ ඔවුන්ගේ පෙම්සුව බුක්ති විඳීමට ඉඩදිය යුතු යැයි තීරණය කළ නිමල්, තමා අසුන්ගෙන සිටි තැනින් නැගිට බස් රථයේ ඉදිරිපස දොර වෙත පිය නගන්නට විය. ඒ සමගම තරුණ යුවළ නිමල් අසුන් ගෙන සිටි පිටු පස ආසනයේ වම් කොනට ඇදෙන්නට විය.

~~~ නිමී ~~~

Monday, June 8, 2015

පියෙකුගේ ආදරය...



ඉපදුණු දා සිටම නුඹ මේ                        ලෝකයට 
ඇතිවුනෙ සතුටක්ම පමණකි පුතුනේ            මෙමට 
මවු තුමියටත් ඉහළින් නුඹ මා                         හදට 
ලංවුනෙ ඒ නිසයි ආදර පුතුනී                           මට 

කැත කුණු අත ගගා මා නොහැදුවත්                  නුඹ 
නව ජීවයකින්ය රැකියා කළේ                           මම  
වෙනදා මෙන් නොවේ එය හරි මිහිරි                  විය 
ඉන් ලැබෙනා සියළු දෑ මගෙ රන්                 පුතාටය  

ටික ටික නැගිට ඇවිදින කාලයත්                      නුඹ 
මතකය අද වගේ තවමත් පුතුනි                         මට 
සිහිවෙන විටදි ඒ කිරිකැටි සිනහ                        මුව 
ඇසෙනව හැම තැනම නුඹෙ ඒ සිනා                   හඬ
  
පාසැල් යන මුල් දිනයෙ දැක නුඹෙ දුක්            මුහුණ
ඇඬුනා මටත් රහසින් නොපෙනෙනා                ලෙස 
කෙරුමට අකුරු සමතෙක් බව කිවූ                   විගස 
ආඩම්බරෙන් බැලුවා නුඹ දිහා                           මම 

ගතවී කාලයත් හෙමිහිට                          හොරාටම 
හැකි විය පුතුට දිනුමට කඩයිම්                        එමට
සෙවනැල්ලක් වෙමින් ඒ හැම                 වෙලාවෙම 
සිටියෙමි පුතුනි නුඹගේ පසු පසින්                     මම 

නිමකර නුඹ මේ රටෙහි කල ඒ                   උපාධිය
සිදුවිය ඉඩ දෙන්න හැර යන්නට                  සැවොම
ලැබු පසු උසස් දැනුමක් ඒ රටේ                        සිට 
එන බව දනිමි පුතුනේ මා                            දිහාවට

සිදුවුනෙ කිසි ලෙසක නොහිතූ දෙයකි                මට 
පුතු ගිය පසු දැන ගතිමි මා රෝගියෙකු               බව 
දැනුණත් අඩුව නොමැතිව නුඹ මා                   අසල    
වැලපුනි මා සිතින් හොර රහසෙන්                 සැමට        

වැඩි කාලයක් නැති බව හොඳ හැටි                දැනුණි 
නොයෙනා ගමන් යන්නට සිදුවන                  හැඩකී
විභාග ගොඩකි මේ දිනවල පුතුට                      සකි       
දන්වනු එපා දුක්වෙයි පුතු අතැර                        දිරි 

ඇතිමුත් රුචිය දැකුමට සුදු පුතා                     මගේ 
පැවසිය නොහැක ඒ බව පුතු                 වැටේවිනේ 
මා මළ පසුව නොහඬනු නොබනිනු             පුතුනේ 
මා හට කමා කර දුක් නොමවනු               සොඳිනේ         



වැඩි දුර අධ්‍යාපනය ලැබීම සඳහා එතෙර ගොස් සිටි තම පුතාට තිබෙන ආදරය නිසා, ඔහුගේ අධ්‍යාපන කටයුතු වලට මෙන්ම වර්ෂ අවසාන විභාග වලට බාධාවක් වෙතැයි සිතා තමාගෙ මාරාන්තික රෝගී තත්වය හා මරණය ඔහුට දැනුම් නොදෙන ලෙස පවුලේ සැමගෙන් ඉල්ලු ආදරණීය පියෙකුගේ හිතෙහි ඇති වන හැඟීම් සමුදාය ගැන මට දැනුණු විදිහ කවි පංතියකින් ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. මේ සිද්දිය දැනගත් පසු මාගේ ආදරණිය මිත්‍රයා ඔහුගේ සියළු වැඩ පසෙක තබා දිවයිනට පැමිණියත් ඒ වන විටත් ඔහුගේ ආදරණීය පියා ඔවුන් සියළුදෙනාම හැර ගොස් තිබුණා. තම පියා සමග අවසන් වරට වචනයක් කතා කිරීමට නොහැකි වූ ශෝකයෙන් ඔහු තවමත් පසු වනවා. ඒ ආදරණීය පියතුමාට නිවන්සුව අත්වේවායි මා ප්‍රර්ථනා කරමි.     

Thursday, June 4, 2015

එන්න ෂර් ඇතුළට! මොනවද බෙලුවේ?


"එන්න ෂර් ඇතුළට! මොනවද බෙලුවේ?" 
"මට හොඳ බැක්පැක් එකක් ගන්න ඕනෙ. ඔයාල ළඟ තියෙනවද?"
"තියෙනවා ෂර්. ෂර්ට මොනවගේ එකක්ද ඕනෙ. ට්‍රැවල් කරන්නද? නැත්තං ඔෆිස් යන්නද?"
"මට ට්‍රැවල් කරන්නයි ඔෆිස් යන්නයි සේරටම හොඳ එකක් ඕනෙ. තව ලැප් එක අවුලක් නැතුව ගෙනියන්නත් පුළුවන් වෙන්න ඕනෙ"
"ඇවිත් බලන්නකො ෂර් මේ තියෙන්නෙ ෂර් කීව විදිහෙ එකක්. තව මේ සෙට් එකත් ඒ විදිහෙ ඒවා. තෝරලා බලන්නකො "
"ම්ම් මේක ටිකක් හරි නෑ වගේ නේද? පෙනුමත් හරි නෑ. හයියත් මදි වගේ. වෙන හොඳ ඒවා නැද්ද"
"තියෙනවා ෂර් මේ තියෙන්නෙ අපි ළඟ තියෙන ඔඳම බ්‍රෑන්ඩ් එකක්. "ස්විස්ගියර්". හැබැයි ෂර් මේක ටිකක් ගණන්. අඩු කරල දෙන්නම්."
"කෝ බලන්න." 
"ෂර් මේක හොඳ කොලිටි බෑග් එක.මේ බලන්නකො ෂර් ලැප් එක දාන්න තියෙන තැන. වැටුනත් මුකුත් වෙන්නෑ. තව මේ.. ඕඩියෝ අවුට් එකකුත් තියෙනවා. අනික සිපර් එහෙමත් බලන්නකො. කිසි දෙයක් වෙන්නෙ නෑ. අපි වොරන්ටි එකකුත් දෙනවා".
"හ්ම්ම්.. මේක නම් හොඳයි හිතට ඇල්ලුවා. කීයද ඔයාල මේකට දෙන ප්‍රයිස් එක?"
"ෂර් මේ බෑග් එක රුපියල් පන්දාස් දෙසීයක් වෙනවා. ඒත් අපි අඩු කරලා ෂර්ට නිසා ආරදාස් හත්සීයට දෙන්නම්"
"අපෝ හොඳටම වැඩියි. තව අඩු කරන්න. ඔයාල මේවා පොඩි ගානකටනේ ගෙන්නන්නෙ. අපිට බොරුවට ඊට පස්සෙ ලොකු ගානක් කියනවා. තව අඩු කරන්න"
"අනේ නෑ ෂර්.. එහෙනම් ආරදාස් තුන්සීයක් දෙන්න. ලාස්ට් ප්‍රයිස්"
"පිස්සුද. හාරදාස් දෙසීයක් දෙන්න අපි සල්ලි ගස් වලින් කඩනවා කියල හිතුවද?. අපෝ තව අඩු කරන්න."
"එහෙනම් ෂර් තුන්දාස් නවසීයක් දෙන්න. ලාස්ට් ප්‍රයිස් ආයෙ නම් අඩු කරන්න බෑ."
"අපෝ වැඩියි වැඩියි. මම තව ගොඩක් අඩුවෙන් බලන්නෙ."
"එහෙනම් ෂර් අපි ගණන් අඩු එකක් බලමු. මේ තියෙන්නෙ. ආ මේකත් ගණන් අඩුයි."
"බෑ බෑ. මට මේ බෑග් එක තමා හිතට අල්ලලා ගියෙ. මේක දෙන්න මට තව අඩු කරලා."
"අයියෝ ෂර්.. ඉන්න එහෙනම් බොස් ගෙන් අහල බලන්න............
ෂර් තුන්දාස් පන්සීයක් දෙන්න. ලාස්ට් ප්‍රයිස්."
"බෑ බෑ. හොඳටම වැඩියි. මම යනවා. ඔය ගානට මට ඔයිට වඩා හොඳ එකක් ගන්න පුළුවන්.මම යනවා. තැන්ක් යූ. "
.
.
"ෂර් ෂර් පොඩ්ඩක් ඉන්නකො. ෂර් කීයකටද බලන්නෙ?"
"මට උපරිම එක්දාස් නවසීයක් දෙන්න පුළුවන්. මොකද කියන්නෙ දෙනවද?"
"අපෝ ෂර් ඳටම පාඩුයි නෙ. අපිට මේකෙන් ලොකු ගානක් හම්බෙන්නෑ ෂර්."
"ඒකනේ එහෙනම් ඉතිං වෙන කාට හරි විකුණ ගන්න. මම යනවා."
"ෂර් නිසා මේකට එහෙනම් තුන්දාහක් දෙන්න. වැඩේ කරමු". 
"බෑ  බෑ මගේ ගාන එක්දාස් නවසීයයි"
"අයියෝ ෂර් එහෙනම් දෙදාස් අටසීයක් දෙන්න. ලාස්ට් ප්‍රයිස්. ඒත් පාඩුයි අපිට. කමක් නෑ දෙදාස් අටසීයක් දෙන්න.
"නෑ මගේ ගානට දෙනවනම් දෙන්න. නැත්තං තියාගන්න."  
"අයියෝ ෂර් ඔච්චර ලෝබ වෙන්න එපා අප්පා. අපිත් බිස්නස් එකක් තමා කරනවා."

"ඒක තමා ඉතිං වෙන කෙනෙක්ට විකුණ ගන්න කියල මම මේ යන්නෙ"  
"හරි ඒනං දෙදාස් පන්සීයක් දෙන්න. ආයෙ නම් ෂත පහක් අඩු කරන්න බෑ" 
ඉතිං ඔච්චර අඩු කරන්නෙ ඔයාලා ඕවා ලාබෙට ගේන නිසානෙ. ඔන්න ඔහෙ දෙදාහක් ගන්න එහෙනම්.
අපිට හරිම පාඩුයි ෂර් ඒ ගානට දීලා. කිසිම ලාබයක් නෑ. හරි කමක් නෑ එහෙනම් දෙදාහක් දෙන්න.    
"හරි එහෙනං මට බෑග් එක දෙන්න. හැබැයි වොරන්ටි එක්ක. දෙදාහයි එහෙනම්"
"හරි ෂර්. ඉන්න බිල දාල දෙන්නම්"      

**********************************
මෙම සිද්දිය සිදුවීමට ප්‍රථම තවත් සිදුවීම් දෙකකි.

ඔහු ව්‍යාපාරික ස්ථානයකට ඇතුල් වුවේය. ව්‍යාපාරික ස්ථානයේ සේවය කරන්නාවූ තරුණියක් ඔහු අසලට පැමිණියාය.
"මොනවද බලන්නෙ?"
"මට බැක්පැක් එකක් ඕනෙ ට්‍රැවල් කරන්න, ඔෆිස් යන්න, සේරටම හරියන විදිහෙ එකක්"
"මේ තියෙන්නෙ. මේවා තමා අපි ළඟ තියෙන්නෙ." 
තරුණිය පාසැල් බෑග් කිහිපයක් සහ සයිඩ් බෑග් කිහිපයක් පෙන්වයි.
"මේවා ඇරෙන්න වෙන නැද්ද හොඳ බෑග්?" 
"නෑ අපි ළඟ ඔය ටික විතරයි තියෙන්නෙ."
හොඳ සයිඩ් බෑග් එකක් ඒ අතර තිබුණු නිසා ඔහු නිකමට මෙන් මිළ අසන්නට විය.
"කීයද මේ බෑග් එක?"
තරුණිය මිල සඳහන් කර ඇති ස්ටිකරය දෙස බලා "හාරදාස් එකසීයයි" කීවාය.
"අපෝ හොඳටම වැඩියිනෙ. අඩු කරලා දෙන්න"
"මේවා කම්පැනි ප්‍රයිස්. අඩු කරන්න බෑ."
"ආ ඒකත් එහෙමද? එහෙනං තියාගන්න"

ඔහු එතැනින් පිට වී තවත් කඩයකට පිවිසියේය.

ඇතුලේ පාරිභෝහිකයන් දෙතුන් දෙනෙකු සහ සේවකයන් දෙදෙනෙකු සිටිනු පෙනුනි. කිසිවෙක්වත් ඔහු ළඟට පැමිණ අවශ්‍ය මොනවාදැයි විමසුවේ නැත. ඔහු බෑග් තිබෙන තැන හොයාගෙන ගොස් පිරික්සන්නට විය. ඒ අතරද තිබුනේ පාසැල් බෑග් සහ ලොකු ට්‍රැවලින් බෑග් පමණි. එක සේවකයෙකු ඔහු අවට කැරකෙමින් සිටින බව ඔහුට දැනෙන්නට විය. නමුත් කිසිවක් නොවිමසයි. සමහරවිට ඔහු බෑග් එකක් සාක්කුවේ දමා ගනීවි යැයි සැක කරමින් එසේ ළඟට වී සිටින්නට ඇත. ඔහුගේ අවශ්‍යතාවයට සරිලන බෑගයක් සොයා ගැනීමට නොහැකි වූ තැන අසල සිටි සේවකයාගෙන් විමසීමක් කිරීමට තීරණය කර මෙසේ ඇසීය.
"බැක්පැක් නැද්ද ට්‍රැවල් කරන්නයි. ඔෆිස් ගෙනියන්නයි සේරටම හරියන විදිහෙ? ලැප් එකත් දාන් යන්න පුළුවන් වෙන්න ඕනෙ"
"තියෙනවා" කියූ සේවකයා පාසැල් බෑග් කිහිපයක් ඔහුට පෙන්වන්නට විය. ඒවා කිසිසේත් නොගැළපෙන නිසා ඔහු "වෙන බෑග් නැද්ද?" යැයි ඇසුවේය.
"නෑ. ඔය ටික විතරයි තියෙන්නෙ"

අවශ්‍යතාවයට සරිලන බෑගයක් සොයා ගැනීමට නොමැති නිසා ඔහු එම ව්‍යාපාරික ස්ථානයෙන් පිට වී ඉදිරියට ගමන් කරන විට මුස්ලිම් කඩයක් ඉදිරියේ සිටි තරුණයෙකු
"එන්න ෂර් ඇතුළට! මොනවද බෙලුවේ?"
යැයි විමසන්නට විය.

~~~නිමි~~~

Tuesday, June 2, 2015

කුලල් කාගත යුතුද සැමවිට?


මිහිඳු හිමි වැඩම කොට
මේ ලක් දෙරණ තලයට  
වසර දෙදහස් ගණනකුත්
ගතවිය අප නොදැනුවත්වම 

එතැන් සිට මේ රට තුළ  
බොදු පුනරුදයක්ම ඇති විය
රජු ප්‍රමුඛ ජාතියම 
බුදුන් සරණ යන්නට විය 

වසල ගති අඩු විය 
හොර හතුරන්ද නැති විය 
වෙනුවට එවැනි උන් සැම 
නිවුණු සිත් ඇත්තවුන් බිහි විය 

පසුව ලක් පොළොවට 
එක් විය සංක්‍රමණිකයන්ද ඉඳ හිට 
අළුත් ආගම් අළුත් භාෂා 
එක් විය ඒ අනුව හෙමි හෙමිහිට  

වත්මනේ අප රට තුළ   
එකතුවකි ආගම් කිහිපයක 
නමුදු උන් සැම සිත් තුළ 
නොමැත එකමුතු කමක් නම් දක්නට

බෙදී සැමදෙන ජාති ආගම් ලෙස 
ගැටුමකි දිනාගන්නට විවිධ දේ නිතරම 
ඉඳින් අපද හසුවී එම රැල්ලට
කුලල් කාගත යුතුද තේරුමක් නොමැතිව හිතවත?