Monday, March 28, 2016

සංගීතයි සම්මානයි නෙළුම් යායයි

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල පසුගිය මාර්තු 26 දින පැවැත්වුණු බව මේ වන විට ඔබ සියළු දෙනාම දන්නා කරුණක්. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පැවැත්වුණු සම්මාන උළෙල ගොඩක් සාර්ථකව කිරීමට හැකිවීම සතුට දනවන කරුණක්. අජිත් අයියා, කල්‍යාණ මිත්‍ර, ඉවාන් අයියල ප්‍රධානව තවත් විශාල පිරිසක් වූ සංවිධායක මණ්ඩලයේ දිවා රෑ නොබලා කැපවීමේ ප්‍රථිපලයක් ලෙස මෙවර සම්මාන උළෙල ගියවරට වඩා සාර්ථක කර ගැනීමට හැකි වූ බව පිළිගත යුතු කරුණකි. එමෙන්ම ගිය වසරට වඩා සහභාගීත්වයද විශාල වර්ධනයක් ඇති වීමෙන් පෙනී යන්නේ නෙලුම් යාය, බ්ලොග් කරුවන් අතරට වඩාත් ලෙන්ගතු වී ඇති බවකි. මෙවර නෙලුම් යාය සම්මාන උළෙල සම්බන්ධව මෙතෙක් පළ වුණු බ්ලොග් පොස්ට් වලට දමා ඇති ඇනෝ කමෙන්ට් වලින් පෙනී යන්නේ බ්ලොග් ලෝකයේ සිටින ඇනෝවරුනුත් කිහිප දෙනෙක් මෙම සම්මාන උළෙලට සහභාගී වී ඇති බවකි. නමුත් ඔවුන් අප අතරම සිටින බ්ලොග් කරුවන්ද? නැත්නම් පුර්ණ කාලින ඇනෝලාද? යන්න උභතෝකෝටියකි.  

එමෙන්ම මෙවර සම්මාන උළෙලේ අංශ කිහිපයක් යටතේ ලබා දී තිබුණු සම්මාන ගණනද ගියවරට සාපේක්ෂව වැඩි වී ඇත. එයද පැසසිය යුතු කරුණකි. සිංහල බ්ලොග් කරුවන් ලියන්නාවූ විවිධ අංශ ඔස්සේ සම්මාන ලබා දීමෙන් සිදුවන්නේ ඒ ඒ අංශයන් සම්බන්ධව ලිවීමට කැමති රචකයන් උනන්දු කිරීමක් මෙන්ම නවක රචකයන් එකතු කර ගැනීමේ වෑයමකි. එවිට ඉදිරියේදී පැවැත්වෙන සම්මාන උළෙලවල් වලදී වර්තමානයට වඩා තරඟකාරිත්වය වැඩි වනු ඇති. එමෙන්ම තව තවත්  හරවත් දේවල් බ්ලොග් පාඨකයන්ට කියවීමට අවස්ථාව උදාවනු ඇති.

සම්මානයක් ලැබීමෙන් හැඟවෙන්නේ ඔහු/ඇය තමා ලියූ දෙය සම්බන්ධයෙන් අනෙක් අයට වඩා සුවිශේෂී දෙයක් සිදුකර ඇති බවකි. ඉන්පසුව සිදු කල යුත්තේ තමන් ලියන්නා වූ සෑම දෙයක්ම පෙරටත් වඩා හරවත්ව සහ නිර්මාණාත්මකව පාඨකයා වෙත ඉදිරිපත් කිරීමයි. මක්නිසාද යත් සම්මානයක් ලැබීමෙන් සිදුවන්නේ බ්ලොග් රචකයා හට කිසියම් වූ උත්තේජනයක් මෙන්ම පාඨකයා අතරට යාමේ අවස්ථාවක් උදාවීමයි. එය හොඳින් තේරුම් ගතයුතු කරුණකි. සම්මානයක් බලාගෙන බ්ලොග් පෝස්ට් ලියනවාට වඩා පාඨකයාගේ උන්නතිය මෙන්ම තමන්ගේ හිතේ සතුට වෙනුවෙන් නිර්මාණයක් එලි දක්වන්නේ නම් හොඳය. මොකද පාඨක අදහස් සම්මානයකට වඩා වටිනාකමක් එකතු කරන නිසාවෙනි. ඇතැම්විට එවැනි නිර්මාණයක් සම්මානයක් ලැබීමට තරම් සුදුසු විය හැකිය.  

කෙසේ වෙතත් මෙවර සම්මාන උළෙලේදී මාහටද සම්මානයක් ලැබුණි. ඒ සංගීත අංශයේ බ්ලොග් වෙනුවෙන් පළමු ස්ථානයයි. "මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද?"  මැයෙන් 2015 වර්ෂයේදී පළවුණු ලිපිය වෙනුවෙන් එම සම්මානය ලැබුණු බව සඳහන් කොට තිබුණි. එමෙන්ම ප්‍රවීණ බ්ලොග් රචක තිස්ස දොඩංගොඩ මහතා ලියන හද ගී පොත බ්ලොගයට සහ අපේ සිංදු ඇනෝගේ බ්ලොගයටත් සංගීත අංශයෙන් සම්මාන ලැබුණි. ලැබුණා වූ සම්මානය වෙනුවෙන් නෙළුම් යායට මාගේ හදපිරි ස්තුතිය පුදකරන්න කැමතියි.

ෆොටෝ එක ගත්තෙ පසන් බුද්ධික (බස්සා)

ඒ වගේම මෙවර සම්මාන උළෙලේදී නෙළුම් යාය තේමා ගීතය සහ මාතලන් අයියා විසින් රචිත තුම්මුල්ලේ ගීතය ගායනා කිරීමට අවස්ථාව උදාවීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. ඒ සඳහා ඉතා අමාරුවෙන් කාලය කළමනාකරණය කර ගනිමින් මා සමග ගිටාර් වාදනය සඳහා එකතු වෙමින් පණිවිඩය දුන්නු දවසේ ඉඳන් පුර්ණ සහයෝගය ලබා දුන් සජ්ජාගේ පඩන්ගුව බ්ලොගය ලියන සජිත් නලින්ද නොහොත් සජ්ජාට ගොඩක් ස්තුතීවන්ත වෙනවා. සජ්ජගේ ගිටාර් දෙකම මේ සම්මාන උළෙල වෙනුවෙන්ම ගෙනල්ල තිබ්බා.  ඒ වගේම කටුස්සා, ඇනෝපිලිස් හෙවත් මුද්දාකල්යාන මිත්‍රටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ප්‍රැක්ටිස් කරද්දී කන්න බොන්න දීලා විතරක් නෙමේ නවාතැනුත් දීලා ඒ මදිවට ට්‍රාන්ස්පෝටුත් ලබා දීම පිළිබඳව මගේ හදපිරි ස්තුතිය පුද කරන්න කැමතියි.

ඒ වගේම මෙවර බ්ලොග් සම්මාන උළෙලේදී වගේම ආෆ්ට පාර්ටියේදීත්  බ්ලොගර්ස්ල ගොඩ දෙනෙක් අඳුරගන්න ලැබීමත් ගොඩක් සතුටුයි. ඒ සිද්දි ගැන කියන්න තව බ්ලොග් පෝස්ට් දෙක තුනක් වත් ලියන්න වෙනවා.  ඉතිං ලබන අවුරුද්දෙත් තවත් සාර්ථකව මෙම නෙළුම් යාය සම්මාන උළෙල පවත්වන්නට හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා!!!