Saturday, April 1, 2017

ඔබට හැගෙන්නේ කුමක්ද?

ලොකු කුඩා, ජාති ආගම් භේදයකින් තොරව සියල්ලන්ම කුමන ආකාරයකින් හෝ ඇලුම්කමක් දක්වන විශ්ව භාශාවක් ලෙස සංගීතය හදුන්වා දුනහොත් එය නිවැරදි යැයි සිතීමට සියල්ලන්ම නොපැකිලෙන බව මාගේ විශ්වාසයයි. සංගීතයේ විකාශය කවදා කෙසේ ආරම්භවුනි දැයි නිශ්චිතව කිව නොහැකි වුවත් එය අරුමයක්මැයි සිතේ. මිනිස් සිතේ ඇතිවන හැගීම් සමුදායක් ඉස්මතු කර පෙන්වීමට මෙන්ම ස්වභාවික පරිසරයේ ඇතිවන සිද්දීන් සමුදායක් පවා මතුකරදී අපගේ සිත් පතුලටම කාවැද්දවීමට හැකියාවක් සංගීතයට ඇති බව ඔබ තරමක් සිතුවොත් වැටහෙනු ඇත.
 
මෙලොවට බිහිවූ පසු මවගෙන් ලැබෙන උණුසුම ආදරය අතරින් අප සංගීතයේ චායාවන් දකින්නට පටන් ගනු ලබන්නේ ස්වභාවිකවමය. එය මව සහ දරුවා යන දෙදෙනා අතර පවතින ලොව අපූරුතම සබඳතාවය මූලික කරගෙනය. දරුවාගේ හැඩීම හෝ දරුවා සනසවා ගැනීම හමුවේ මවගේ මුවින් පිටවන නැළවිලි ගීයේ හැඩය එසේත් නොමැති නම් තාලය ඔස්සේ අප සියලු දෙනාම සංගීතයේ මූලික හැඩතලයන් දැක ඇති බව මාගේ විශ්වාසයයි. එම හැඩතලයන් වල ස්වභාවය සහ එවා බිළිඳු මනසට දැනෙන ආකාරය අනුව ඔහු හෝ ඇය කෙරෙන් ඇතිවන ප්‍රතිචාරයන් වෙනස් වන බව නොරහසකි. එනම් බිළිඳා තම මවගේ නැළවිලි ගීය ඔස්සේ තම මව සමග සන්නිවේදනය කිරීමට මුලපුරා ඇති බව නොවේද? සත්‍ය වශයෙන්ම පුද්ගලයෙකුට සංගීතය කෙරෙහි තම අවධානය යොමු වන්නේ ඔහු තම මවගේ කුස තුළ සිටියදීමය. ගර්භනීය මවක් ඇවිදින විටදී එම ඇවිදීමේ රටාවද සංගීතයේ ඇති තාලයකට අනුව සිදුවේ. එය කුසෙහි හොවාගෙන සිටින නූපන් ළදරුවාගේ මනසට දැනෙන බව ඔබ මීට කලින් අසා නැතුවාට සැක නැත. එසේ නොමැතිනම් ඔබ ඒ පිළිබඳව අවධානයක් දක්වූයේ නොමැති වීමට පුලුවන. මෙසේ පුද්ගලයෙකු තුළ ආරම්භ වන මූලික සංගීත හැඩතලයන් ඔහු සිටින පරිසරය, ඔහුගේ ආකල්ප සහ අනිකුත් හේතුන් මත වෙනස් වීමට මෙන්ම ඇතැම් විටෙක නැති වීමටද හැකියාවක් ඇති බව පෙනීයයි.

එමෙන්ම පුද්ගලයෙකුගේ සංගීතය කෙරෙහි ඇති රුචිකත්වය මෙන්ම එම රුචිකත්වය දක්වන සංගීත ආරයන් කෙරෙහි මූලිකව තමා හැදී වැඩුනු පරිසරය, තමා ලද අත්දැකීම් මෙන්ම තමාගේ මානසික මට්ටම බලපාන බව මාගේ අදහසයි. එසේම තවත් වෙනත් සාධකද තිබීමට පුලුවන. එම කරුණු මත පදනම්ව පුද්ගලයෙකුගේ රසඥතාවය විවිදාකාර අයුරින් ගොඩනැගෙන බව පෙනී යයි. එමෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට සංගීත රසඥතාවය වෙනස් වේ. නමුත් එක් එක් ශෛලියන් කෙරෙහි රුචිකත්වයක් දක්වන විශාල පිරිසක් සිටින බව දැකිය හැකිය.

එම හේතුව මත තමන් "ශාස්ත්‍රීය, රොක්, ජෑස්..." යන ආදී ලෙසට පුද්ගලයාගෙන් පුද්ගලයාට රසඥතාවය විවිධ අයුරින් විහිදෙන බව පෙනී යන කරුණකි. ඒ අනුව විවිද සංගීත ශෛලීන් වටා පිරිස් විවිධ ආකාරයෙන් එක්කාසු වී සිටිනු දැකිය හැකිය. ඇතැමෙක් එක් ශෛලියකට දෙකකට පමණක් සීමාවී සංගීතය රසවිදින අතර ඇතැමෙක් මේ සියලුම ශෛලීන්ට ඇල්මක් දක්වනු ලබන බව පෙනී යයි.  එම කරුණු කාරණා අනුව වාණිජමය ඇසකින් බලන විට විවිධ ශෛලීන් වලට අනුගතවී ඇති සංගීතඥයන්, ගායකයන්  වටා එක්වී ඇති රසික ප්‍රජාව මගින් ඔවුන්ගේ හැකියාවන් හැරෙන්නට ඔවුන්ගේ තෘප්තිය හෝ ආර්ථිකමය වශයෙන් ලාභ ඉපැයීම ඉහළ හෝ පහළ යා හැකිය. වත්මනෙහි සංගීතය හුදෙක්ම වාණිජ කරණයට ලක් වී ඇත.

හුදෙක්ම කිසියම් හෝ ශිල්පයක් ප්‍රගුණ කරගත් පුද්ගලයෙකු එය යොදාගෙන ආර්ථිකමය වාසි ලබා ගැනීම සාමාන්‍ය සිද්ධියකි. ආර්ථිකමය වාසි පසෙකින් තබා තමාගේ වින්දනයට හා තවෙකෙකු වින්දනයට පත් කිරීම අදිටන් කරගෙන සංගීතය හෝ කිසියම් කලාවක් ඉදිරිපත් කරනු ලබන පුද්ගලයන් සොයා ගැනීමට පවා අපහසුය. එසේ සිටින්නවුන් ශ්‍රේෂ්ඨ සංගීතඥයන්ය. එසේ නොමැතිනම් විශිෂ්ට කලාකරුවන්‍ ය. සැබැවින්ම මෙසේ සදහන් කරනු ලැබූ කරුනු ඔබ තරමක් දුරට විමසා බැලුවහොත් සංගීතය පිළිබඳව ඔබගේ රුචිකත්වය ඇත්තේ කොතැනද එය එසේ වන්නට ඇත්තේ කවර හේතූන් නිසාදැයි ඇතැම් විටෙක ඔබට සොයා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරමි.

ස්තූතියි!!!

Blogger Widgets

Monday, March 28, 2016

සංගීතයි සම්මානයි නෙළුම් යායයි

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල පසුගිය මාර්තු 26 දින පැවැත්වුණු බව මේ වන විට ඔබ සියළු දෙනාම දන්නා කරුණක්. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පැවැත්වුණු සම්මාන උළෙල ගොඩක් සාර්ථකව කිරීමට හැකිවීම සතුට දනවන කරුණක්. අජිත් අයියා, කල්‍යාණ මිත්‍ර, ඉවාන් අයියල ප්‍රධානව තවත් විශාල පිරිසක් වූ සංවිධායක මණ්ඩලයේ දිවා රෑ නොබලා කැපවීමේ ප්‍රථිපලයක් ලෙස මෙවර සම්මාන උළෙල ගියවරට වඩා සාර්ථක කර ගැනීමට හැකි වූ බව පිළිගත යුතු කරුණකි. එමෙන්ම ගිය වසරට වඩා සහභාගීත්වයද විශාල වර්ධනයක් ඇති වීමෙන් පෙනී යන්නේ නෙලුම් යාය, බ්ලොග් කරුවන් අතරට වඩාත් ලෙන්ගතු වී ඇති බවකි. මෙවර නෙලුම් යාය සම්මාන උළෙල සම්බන්ධව මෙතෙක් පළ වුණු බ්ලොග් පොස්ට් වලට දමා ඇති ඇනෝ කමෙන්ට් වලින් පෙනී යන්නේ බ්ලොග් ලෝකයේ සිටින ඇනෝවරුනුත් කිහිප දෙනෙක් මෙම සම්මාන උළෙලට සහභාගී වී ඇති බවකි. නමුත් ඔවුන් අප අතරම සිටින බ්ලොග් කරුවන්ද? නැත්නම් පුර්ණ කාලින ඇනෝලාද? යන්න උභතෝකෝටියකි.  

එමෙන්ම මෙවර සම්මාන උළෙලේ අංශ කිහිපයක් යටතේ ලබා දී තිබුණු සම්මාන ගණනද ගියවරට සාපේක්ෂව වැඩි වී ඇත. එයද පැසසිය යුතු කරුණකි. සිංහල බ්ලොග් කරුවන් ලියන්නාවූ විවිධ අංශ ඔස්සේ සම්මාන ලබා දීමෙන් සිදුවන්නේ ඒ ඒ අංශයන් සම්බන්ධව ලිවීමට කැමති රචකයන් උනන්දු කිරීමක් මෙන්ම නවක රචකයන් එකතු කර ගැනීමේ වෑයමකි. එවිට ඉදිරියේදී පැවැත්වෙන සම්මාන උළෙලවල් වලදී වර්තමානයට වඩා තරඟකාරිත්වය වැඩි වනු ඇති. එමෙන්ම තව තවත්  හරවත් දේවල් බ්ලොග් පාඨකයන්ට කියවීමට අවස්ථාව උදාවනු ඇති.

සම්මානයක් ලැබීමෙන් හැඟවෙන්නේ ඔහු/ඇය තමා ලියූ දෙය සම්බන්ධයෙන් අනෙක් අයට වඩා සුවිශේෂී දෙයක් සිදුකර ඇති බවකි. ඉන්පසුව සිදු කල යුත්තේ තමන් ලියන්නා වූ සෑම දෙයක්ම පෙරටත් වඩා හරවත්ව සහ නිර්මාණාත්මකව පාඨකයා වෙත ඉදිරිපත් කිරීමයි. මක්නිසාද යත් සම්මානයක් ලැබීමෙන් සිදුවන්නේ බ්ලොග් රචකයා හට කිසියම් වූ උත්තේජනයක් මෙන්ම පාඨකයා අතරට යාමේ අවස්ථාවක් උදාවීමයි. එය හොඳින් තේරුම් ගතයුතු කරුණකි. සම්මානයක් බලාගෙන බ්ලොග් පෝස්ට් ලියනවාට වඩා පාඨකයාගේ උන්නතිය මෙන්ම තමන්ගේ හිතේ සතුට වෙනුවෙන් නිර්මාණයක් එලි දක්වන්නේ නම් හොඳය. මොකද පාඨක අදහස් සම්මානයකට වඩා වටිනාකමක් එකතු කරන නිසාවෙනි. ඇතැම්විට එවැනි නිර්මාණයක් සම්මානයක් ලැබීමට තරම් සුදුසු විය හැකිය.  

කෙසේ වෙතත් මෙවර සම්මාන උළෙලේදී මාහටද සම්මානයක් ලැබුණි. ඒ සංගීත අංශයේ බ්ලොග් වෙනුවෙන් පළමු ස්ථානයයි. "මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද?"  මැයෙන් 2015 වර්ෂයේදී පළවුණු ලිපිය වෙනුවෙන් එම සම්මානය ලැබුණු බව සඳහන් කොට තිබුණි. එමෙන්ම ප්‍රවීණ බ්ලොග් රචක තිස්ස දොඩංගොඩ මහතා ලියන හද ගී පොත බ්ලොගයට සහ අපේ සිංදු ඇනෝගේ බ්ලොගයටත් සංගීත අංශයෙන් සම්මාන ලැබුණි. ලැබුණා වූ සම්මානය වෙනුවෙන් නෙළුම් යායට මාගේ හදපිරි ස්තුතිය පුදකරන්න කැමතියි.

ෆොටෝ එක ගත්තෙ පසන් බුද්ධික (බස්සා)

ඒ වගේම මෙවර සම්මාන උළෙලේදී නෙළුම් යාය තේමා ගීතය සහ මාතලන් අයියා විසින් රචිත තුම්මුල්ලේ ගීතය ගායනා කිරීමට අවස්ථාව උදාවීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. ඒ සඳහා ඉතා අමාරුවෙන් කාලය කළමනාකරණය කර ගනිමින් මා සමග ගිටාර් වාදනය සඳහා එකතු වෙමින් පණිවිඩය දුන්නු දවසේ ඉඳන් පුර්ණ සහයෝගය ලබා දුන් සජ්ජාගේ පඩන්ගුව බ්ලොගය ලියන සජිත් නලින්ද නොහොත් සජ්ජාට ගොඩක් ස්තුතීවන්ත වෙනවා. සජ්ජගේ ගිටාර් දෙකම මේ සම්මාන උළෙල වෙනුවෙන්ම ගෙනල්ල තිබ්බා.  ඒ වගේම කටුස්සා, ඇනෝපිලිස් හෙවත් මුද්දාකල්යාන මිත්‍රටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ප්‍රැක්ටිස් කරද්දී කන්න බොන්න දීලා විතරක් නෙමේ නවාතැනුත් දීලා ඒ මදිවට ට්‍රාන්ස්පෝටුත් ලබා දීම පිළිබඳව මගේ හදපිරි ස්තුතිය පුද කරන්න කැමතියි.

ඒ වගේම මෙවර බ්ලොග් සම්මාන උළෙලේදී වගේම ආෆ්ට පාර්ටියේදීත්  බ්ලොගර්ස්ල ගොඩ දෙනෙක් අඳුරගන්න ලැබීමත් ගොඩක් සතුටුයි. ඒ සිද්දි ගැන කියන්න තව බ්ලොග් පෝස්ට් දෙක තුනක් වත් ලියන්න වෙනවා.  ඉතිං ලබන අවුරුද්දෙත් තවත් සාර්ථකව මෙම නෙළුම් යාය සම්මාන උළෙල පවත්වන්නට හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා!!!

Saturday, December 26, 2015

~~~රොබරෝසියා~~~



ඔන්න ඉඳල ඉඳලා ආවා පොඩි පෝස්ට් එකක් දාන්න. එක දිගට බිසී වෙලා ඉඳල මේ දවස් ටිකේ තමා පොඩි නිවාඩුවක් ලැබුනෙ. ඉතිං මට හිතුනා අළුත් අවුරුද්දකුත් ලබන්න එන නිසා මොකක් හරි තෑග්ගක් දෙන්න ඕනෙ කියල. ඒ තෑග්ග එසේ මෙසේ එකක් නෙමේ. මනා හැදුව සිංදු වලින් හැදුන සාර්ථකම සිංදුව කීවොත් නිවැරදියි. සාර්ථක කම සලකා බැලුවේ තාක්ෂණික අතින් විතරයි. එහෙම නැතුව පදමාලාව අතින් නෙමේ ඔන්න. මොකද මම කරපු සිංදු වල ගොඩක් හොඳ පද රචනා තිබ්බා.

හීන මතකේ තියා 
නීල දෙනෙතේ ලියා 
ඈත ඉගිලී ගියා 
රෝස රොබරෝසියා 

සරසවි දොරටුවේ 
පෙති මටසිළුටු වේ 
ඇයි නෙත නොදුටුවේ 
කඳුළු රොබරෝසියා 

මුදු පෙති මිලින වී 
වැසි මල් තුහින වී 
අද මුනිවත රකී 
සුවඳ රොබරෝසියා 

මේ වචන ටික ලියල තිබ්බේ අපේ නවක (නවක නෑ මට හිතෙන විදිහට) බ්ලොග් රචකයෙක් වන වර්ණකුලකය බ්ලොග් එක ලියන වර්ණ. එයාගෙ කලින් සිංදුවකුත් මම කරපු නිසා මට ඒ වචන ටිකත් මේල් එකට එවල තිබ්බා. නමුත් මම ඒ මේල් එක දකින්නෙ ඊට මාසෙකට විතර පස්සෙ. මේල් එක දැකපු ගමන්ම ඒ වචන ටික මගෙ බොක්කටම වැදුනා කීවොත් නිවැරදියි. ඒ සැනින්ම හිතේ පොඩි මෙලඩි එකක් ඇඳුනා. පස්සෙ ඉතිං මේ ලැබුණ නිවාඩු දවස් ටිකේ ඒ සිංදුව පුළුවන් තරම් හොඳට රෙකෝඩින් කළා. රෙකෝඩින් කළේ ස්ටුඩියෝ එකක එහෙම නෙමේ ඔන්න. සුපුරුදු ජංගම දුරකතනෙයි ඇඩෝබි ඔඩිෂන් කියන මෘදුකාංගයයි තමා මගේ ආම්පන්න ටික. ඊට අමතරව මගෙ ආදරණීය ගිටාරයයි ,ඩොල්කි පාරකුයි, මගෙ සාටර් පීටර් විසිල් කෑල්ලයි, කටහඬයි තමා මේ ගීතය නිර්මාණය කරන්න යොදාගත්තෙ.

මීට කළින් මම මේ විදිහට ගීතයක් කළේ අපේ මාතලන් අයිය ලීව බංගලා හංදියේ කියන ගීතයට. නමුත් ඒ ගීතයේ අඩුපාඩු එමට තිබ්බා. පළවෙනි එක තමා ගීතයේ කොටස් විවිධ වෙලාවල රෙකෝඩ් කරපු නිසා ඇති වෙන වෙනස් කම් හොඳටම අහන කෙනාට දැනෙන එක. නමුත් මේ ගීතයේ ඒ කිව අඩු පාඩු ඔක්කොම හදල උපරිමයෙන් සරල විදිහට ලස්සන මෙලඩි එකක් දාල නිර්මාණය කළා. ඇත්තටම කිවොත් මම ගොඩාක් කැමති ගීතය තමා මේ. අහල බලන්න කොහොමද කියලා.

මෙන්න වීඩියෝ එක 




<< මෙතනින් >> ක්ලික් කරලා ඕඩියෝ එක අහන්න පුළුවන්.

එහෙනම් සියළු දෙනාටම ලබන්නා වූ 2016 නව වසර සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. 
ජය වේවා!!!

Sunday, October 18, 2015

වර්ණකුලකයේ ආදරය ගිනි ගනී



ඔන්න හදිස්සියෙන්ම  පෝස්ට් එකක් දාන්න මතක් උනා.ඒ මීට සති කීපයකට කලින් අපේ කුරැටු ගෑ ගී පවුර මගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා කරපු ඉල්ලීමක් ඉෂ්ඨ කරන්න. 

ඒ අපේ වර්ණ කුලකය බ්ලොග් එක ලියන  වර්ණකුලසූරිය ලියපු ලස්සන පද පේලියක් ගීතයක් විදිහට නිර්මාණය කරන්න කියලා. 

ඇත්තටම හරිම ලස්සන පද පේලි ටිකක් ඒ පෝස්ට් එකේ තිබ්බෙ. ප්රවීන රචකයෙක්ගෙ ලක්ෂණ ඒ නිර්මාණයේ මම දැක්කා. ඉතින් මට පුළුවන් උපරිමයෙන් එම ගීතයට සාධාරණයක් කරන්න උත්සහ කලේ සම්පූර්ණ සංගීතය සහිතවම නිර්මාණය කරන ගමන්මයි. මොකද මේක මා විසින් නිර්මාණය කරපු ප්රථම විරහ ගීතය නිසා. 

නමුත් මට මේ ගීතයට වීඩියෝ එකක් නිර්මාණය කරන්න බැරිවුණා. 

මෙන්න <<මෙතන ක්ලික් කරල>> ඔන්ලයින් මේ ගීතය අහන්න පුළුවන්.

මේ තියන්නෙ ඒ ලස්සන වචන ටික.

ආදරය ගිනි ගනී
ඇගේ රුව ඇති ඇගේ සුවඳැති
මා තැනූ රෝමයම අළු අතර සඟවා
ආදරය ගිනි ගනී

ඇගේ අත් අකුරු හැඩ
විෂ ඝෝර සර්පයන්
වෙළාගෙන මා සිරුර
පෙළයි මා විෂ දළින්
හෙළා උන් ගින්දරට කෙසේ හෝ මිදෙන්නෙමි
කිසිත් කරගත නොහී වීනාව වයන්නෙමි

ඇගේ සිහිනිඟට සම
පුළිඟු වීදුරු බඳුන්
සොයාවිත් මා මුවඟ
දවයි මා මීවිතින්
හෙළා එය ගින්දරට මීවිතෙන් මිදෙන්නෙමි
කිසිත් කරගත නොහී වීනාව වයන්නෙමි

Thursday, September 17, 2015

මචං කටුස්සා සහ රූපේ...


ඉතිං මචං උඹලට කොහොමද? මේ වෙද්දි උඹල මාත් එක්ක අමනාපෙන්වත්ද කියලත් හිතෙනවා. එහෙම කිව්වම සමහරවිට බලයි මොකද එහෙම කියන්නෙ කියල. ඒ තරමටම උඹලටත් සෑහෙන්න වැඩ රාජකාරි තියෙනවා කියල මම දන්නවා. එහෙම ඉද්දිත් කීප පාරක්ම අපේ උන්ගෙ විවිධ වැඩසටහන් වලට යන්න, තව පොඩි පොඩි පාටි වලට සෙට් වෙන්න අමතක කරේ නෑ. 

මට මතකයි මුලින්ම අපේ බ්ලොග් ලියන රූපෙ කෝල් එකක් දීලා "මචං මේ මනාද? මචං අද ගම්මිරිස් කුරුල්ලා පොත එළිදක්වනවා හවස 3ට. පුළුවන් නම් වරෙන්" කියල කිව්වා. රූපෙ කවදත් තව එකෙක්ගෙ දෙයකට බොක්කෙන්ම සහයෝගෙ දෙන සුන්දර මනුස්සයෙක් කියල රූපෙ දාන කමෙන්ට්ස් වලින් ඕන කෙනෙක්ට හිතා ගන්න පුළුවන්. මගෙ ෆෝන් නොම්මරේ කොහෙන් හොයා ගත්තද දන්නෙත් නෑ. ඒත් එහෙම හොයාගෙන ගත්ත කෝල් එකට මට දෙන්න උන උත්තරේ "අඩේ මචං මට එන්න පුලුවන් වෙයිද කියල ෂුවර් නෑ.  මම ට්‍රයි එකක් දාල බලන්නම්" කියල විතරයි. ඒකට යන්න වෙලාවක් තිබ්බෙත් නෑ. රූපෙ මොනවා හිතුවද දන්නෙත් නෑ. පස්සෙ මම දැක්කා බුකියෙන් කමි, බස්සි එහෙම ඒ පොතේ පිටකවරේ ෆොටෝ දාල තියෙනවා.

ඊට පස්සෙ දවසකත් මොකක් හරි උත්සවේකට යන්න ඔය විදිහෙම කෝල් එකක් රූපෙ දුන්නා. මට ඒකටත් කළින් වගේම උත්තරයක් තමා දෙන්න සිද්ද උනේ. මට කෝල් කිරීමෙන් කිසිම වැඩක් නැති බව තේරුම් ගත් රූපෙ ඊට පසු කිසිම දවසක කිසිම උත්සවයක් ගැන කියන්න කෝල් කළේ නැහැ කියන එකත් මෙතනදී කියන්න ඕනෙ මිත්‍රවරුණි :D. 

ඊළඟට මට මතක් වෙන්නෙ අපේ කසුට්ටා. පොර නම් ඉතිං කතා කළොත් ඔය නොහොඹිනා වැඩකටනේ කතා කරන්නෙ. දවසක් මූ සිකුරාදා හවසක එක පාරට කතා කරල කියපි "මචං අද අපි අටමගේ ගෙදර සෙට් වෙනවා. තව එවුනුත් එනවා වරෙන්" කියල. එකට නම් ඉතාම දුකින් "බැහ්" කියන්න සිද්ද උනේ කළින්ම යන්න දාගත්ත ගමනක් නිසා. ෆෝන් එකෙන් නම් ඒකට කමක් නෑ මචං කියල සාන්ත දාන්තව කතා කරාට, කෝල් එක කට් කරපු ගමන් හොඳ එවුවයින් දෙක තුනක් ඇද බාන්න ඇති  :D. ඊට පස්සෙ කසුට්ටත් කිසිම කෝල් එකක් නම් දුන්නෙ නෑ. සමහර විට ඌටත් රූපෙට හිතුණු දේම හිතෙන්න ඇති. 

කොහොම උනත් කටුස්සා, රූපෙ මචං මට සමා වෙයල්ලා. අපි ළඟදීම දවසක සෙට් වෙමු. 

ප.ලි:

මේ ඩින්ගිත්තත් සෑහෙන්න කාලෙකට පස්සෙ ලියා ගත්තෙ. දැන් ලිපි ලියන්න හරියට වෙලාවත් හොයා ගන්න අමාරුයි. ෆෙස්බුකියේ යනවා වගේ බ්ලොග් වලට ඇවිත් කියවල ගියාට ඒවාට කමෙන්ට් කරන්න වෙලාවක් නෑ. කොහොම හරි සති අන්තෙවත් ඇවිත් පාළුවට ගියපු මේ බ්ලොග් එක ආයෙ ලියන්න පටන් ගන්න ඕනෙ. 

තව ලස්සන සිංදු 3, 4 කුත් එළිදක්වන්න තියෙනවා. අපි ඉතිං සිංදු හදල කීවට කොහෙන්ද වාසනාවක් අර පිළිතුරු ගී කියන නංගිට වගේ ;). ඔක්කොටම කළින් හම්බකරන් ඉන්න එපැයි. 

එහෙනම් සියළු දෙනාටම ජය වේවා!!! 

Monday, August 3, 2015

වාසියටද? අවාසියටද?

ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කිව්වට අපේ රටේ මිනිස්සුන්ගෙ ඔය කියන තරම් වෙනසක් නෑ කියල තමා මට නම් පේන්නේ. ලංකාවේ මූලිකවම ඉන්නෙ වාසියට වැඩ කරන සහ වාසියට වැඩ නොකරන කියන මූලික වර්ග දෙකට අයත් මිනිස්සු විතරයි. මං අපේ මිනිස්සුන්ව පිට රටවල් වල ඉන්න මිනිස්සු එක්ක සංසන්දනය කරන්න යන්නෙ නෑ. ඒ කීවෙ සුද්දො එක්ක. එහෙම කිවේ මොකද මම රට ගිහින් නැති නිසා. 

මම මුලින්ම කීව වර්ග දෙක යටතේ තවත් උප වර්ග කීපෙකට මේ මිනිස්සු වර්ග කරන්න පුළුවන්. 

මුලින්ම ගනිමු වාසියට වැඩ කරන පිරිස. මේ පිරිස යටතේ තවත් උප වර්ග ගණනාවක් තියෙනවා. අපි බොහොම සුළු දේකින් පටන් ගමු. මේ දවස් වල ප්‍රසිද්ධ මාතෘකාවනෙ ඡන්දෙ. දැන් ඔය ඡන්දෙට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් සීයට අනූ නමයකටත් වඩා පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නේ වාසිය බලාගෙන. එකඟ නැතුව ඇති බහුතරයක් ;). ඒත් ඒක තමා ඇත්ත. දැන් කවුද ඔතනින් රට ගැන හිතල රටට වැඩ කරන්න ඉදිරිපත් වෙලා ඉන්නෙ. කවුරුත් නැති තරම් නේද? බහුතරයක් වෙච්ච වාසිය බලන් ඡන්දෙට ඉදිරිපත් වුනු අපේක්ෂකයන් බලන් ඉන්නෙ ඇමති කෙනෙක් උනාම "පර්මිට් එක අරං හොඳ වාහනයක් ගන්න, හොඳට සල්ලි හම්බ කරන්න, පවුලට කරන්න, අවුරුදු ගානකට විඳින්න බැරිවුන සැප විඳින්න, බෙදාගන්න බැරි උනු රට බෙදා හදාගන්න, තරහ පිරිමහගන්න " වගේ ඒවනේ. ඔය යටි අරමුණු මුදුන්පත් කරගන්න ඡන්දෙ ඉල්ලනකන් පෙන්නන්නෙ රට දියුණු කරන විවිධාකාරවු ප්‍රතිපත්ති මාලා, පපුවට වදින කතා, හීන පෙන්වන ඇඩ් වගේ ඒවා.  ඡන්දෙ සම්බන්ධ කරගත්තම නම් වාසියට වැඩ නොකරන කියන පිරිසට කවුරුවත්ම හොයා ගන්න නැති තරම්. 

තව උදාහරණයක් ගමුකො. වෙන මොකක්වත් නෙමේ ඡන්දෙ දෙන ජනතාව. මේ අයගෙත් උඩින් කීව වාසිය බලාගෙන සහ නොගෙන කියන වර්ග දෙක ඉන්නව. ඔය එක එක අපේක්‍ෂකයාගේ නමයි මුණයි ගහගත්ත කැප් ටී ෂර්ට් ඇඳන් කට්ටිය කැන්වසින් යන්නෙ, මීටින් වලට යන්නෙ මොකද? ඒ මිනිහා ඇමති කෙනෙක් වෙලා ඇවිල්ලා රට හරි විදිහට හදයි කියල හිතලද. නෑ . තමන්ගෙ මොකක් හරි වැඩකට උදව්වක් ගන්න. "රස්සාවක්, ව්‍යාපාරයක්, නීති විරොධී බලපත්‍ර" ඔය වගේ ඒවා ගන්න තමා බහුතරයක්. ඒ අතර රටට වැඩක් කරයි කියල හිතල ඕවට යන අයත් සිටින්නට පුළුවන්. ඔය කියපු ඒවා අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ රහස්.

ඒ විතරක් නෙමේ. තව ඕන තරම් උදාහරණ තියෙනවා. සමහර මිනිස්සු කෙනෙක්ට උදව් කරන්නෙ ප්‍රති උපකාරයක් බලාගෙන. සමහර ප්‍රේමවන්තයෝ ප්‍රේම කරන්නෙ සල්ලි වලට, සමහරු දෙයක් කරන්නෙ මුදල් බලාගෙන විතරමයි, සමහරු රට ගිහිං සල්ලි හම්බ කරන්නෙ තමන්ගෙ දියුණුවට.

ඇත්තටම රට ගිහිං හම්බ කරන එක වාසියට වැඩ කරන පිරිස කියන එකට දාන්න බෑ. ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. තමන්ගෙ උගත් කමට සරිලන රැකියාවක් නොමැති වීම, රැකියාවක් තිබුණත් තෘප්තිමත් විය හැකි වැටුපක් නොලැබීම, ඊට අමතරව ලංකාවෙ වැඩක් කරන්න තරම් සුදුසුකම් නැති උනත් පිටරටකට ගිහිං ඉහල වැටුපක් ලබා ගැනීමට හැකි රැකියාවල් තිබීම. ලංකාවේ ජීවන වියදම ඉහළ මට්ටමක තිබීම වැනි කරුණු රට යන්න හේතු වෙන්න පුළුවන්.

එතකොට වාසිය බලාගෙන වැඩ නොකරන මිනිස්සු මේ රටේ නැද්ද? කවුද දන්නෙ ;). එහෙම මිනිස්සු හිටියා, ඉන්නවා සහ ඉදිරියටත් ඉඳීවි. ඒත්  ඒ මිනිස්සුන්ට අපේ සමාජයේ පවතින්න දෙන්නෙ නෑ. ඒ කියන්නෙ ඒ මිනිහට කරන්න පුළුවන් ඔක්කොම  එපා කරපු වැඩ ටික කරලා ඒ මිනිහවත් අනිත් පැත්තට ඇදල ගන්නව. ඒකට මුල් වෙන්නේ අනිත් පැත්තෙ එහෙම නැත්තම් වාසියට වැඩ කරන පැත්තෙ උන්ම තමා. හරියට අර කුපාඩි වැඩ කරන කොල්ලො කෙල්ලො ඉන්න ගමක ඒ මුකුත් නොකර හොඳට ඉන්න එකාව කුපාඩි සෙට් එකට ඇදල ගන්නවා වගේ. ඇදල ගන්න බැරි උනොත් ඒකාට ඒ ගමේ වසන්න දෙන්නෙ නෑ. මේ රටේ වාසියට වැඩ නොකර ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන්න ඕනෙ නම් ඒ මිනිහට හොඳ ආර්ථික මට්ටමක් තියෙන්න ඕනෙ. ඒ විතරක් මදි, ඒ මිනිහට හොඳ මිනිස්සු පිරිසකුත් ඉන්නම ඕනෙ. ඕක කොයි තැනටත් අදාළයි. ඒ කියන්නෙ අපි රැකියාවක නිරත වෙන කාර්යාලයකට පවා. ඒත් පවතින්න බැරි උණොත් ඒ මනුස්සයත් ස්වයන්ක්‍රීයවම වාසිය බලාගෙන වැඩ කරන්නෙක් බවට පත් වෙනවා. 

හත්තිලව්වයි. ඒ කියන්නෙ අපේ රටේ ඉන්න බහුතරයක් වුනු වාසිය බලාගෙන වැඩ කරන මිනිස්සු, වාසිය බලාගෙන වැඩ නොකර ජීවත් වෙලා ඉඳලා, එහෙම සමාජයේ පවතින්න බැරුව ස්වයන්ක්‍රීයව පරිවර්තනය උනු අයද?   

    

Sunday, August 2, 2015

ශ්‍රී ලංකා පකිස්තාන දෙවෙනි විස්සයි විස්ස තරඟයේ රහස් කතාව.


තරඟයට පෙර පැවති පුහුණු සැසියේදී 

මාලිංග: මචන්ලා අපි මේ පක්කොන්ට නැති වෙන්නම පැරදිලා ඉන්නෙ. උඹල ඒක දන්නවනේ? ඒත් අද අපි   උන්ට පාඩමක් උගන්නන්න ඕනෙ.

මැතිව්ස්: ඒක හරි. මාලි අයිය කීවා වගේ අද අපේ උපරිමයෙන් සෙල්ලම් කරන්න ඕනෙ. 

මාලිංග: අනිවා අපි එහෙම සෙල්ලම් කරනවා. ඒත් ඇන්ජි අද එලියෙ.

කපුගෙදර: හිකිස්. හතර විලි ලැජ්ජාව(රහසින් මිලින්දගේ කනට ලංවෙමින්).

මැතිව්ස්: මේ #කයා මටත් ඇරියා එහෙනං(තමන්ටම කියා ගනියි).

මාලිංග: අද අපි අපේ අළුත් මල්ලිලා එක්ක තමා සෙල්ලම් කරන්නෙ. මායි, දිල්ශාන් අයියයි තිසරයි      කපුගෙදරයි විතරයි ජේෂ්ඨ අය විදිහට ටීම් එකේ ඉන්නෙ. 

අළුත් ක්‍රීඩකයෝ: අද අපිට දෙයියො බැලුවා. ලැබිච්ච අවස්ථාවෙන් බොක්කෙන්ම සෙල්ලං කරල රට       දිනවන්න ඕනෙ.

+++++++++++++++++++++++++

තරඟය ආරම්භ කිරීමට ප්‍රථමයෙන්...

නිවේදකයා: ජාතික වකුගඩු අරමුදල වෙනුවෙන් සන්නාම තානාපතිවරු පත්කිරීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික       සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රීඩාංගනයට පැමිණෙන මොහොතයි මේ.

මාලිංග: අම්මට #කෙයි කිව්වලු. ලොක්ක මැච් එක බලන්න ඇවිල්ල. මල්ලිලා අද ලොක්කා අපේ මැච් එකට  ආශිර්වාද කරන්න ඇවිල්ලා. ඉස්සර හිටපු එකා වගේ නැතුව ඇති.  මේ මනුස්සයා සැදැහැ සිතින් ආව ගමනක්. අද අපිට අනිවා මැච් එක දිනන්න පුළුවන්.

අලුත් ක්‍රීඩකයෝ: අද අපිට ආශිර්වාද කරන්න රටේ පළවෙනි පුරවැසියත් ඇවිත්. අද නම් මැරීගෙන සෙල්ලං  කරනවා.

තිරිමාන්න සහ චන්දිමාල්: අදත් කෙල වෙලාම පල. අදත් කෙල වෙලාම පල. අදත් කෙල වෙලාම පල. (ගෙදර ඉඳන්)

නිවේදකයා: දැන් කණ්ඩායම් දෙකේ නායකයන් දෙපල තම කණ්ඩායම හඳුන්වාදෙන මොහොත.

මාලිංග: ගුඩ් ඊවිනින් සෑර්. ඉස්සර නම් ජනාධිපති ග්‍රවුන්ඩ් එක ලඟින් ගියත් අපි පරදිනවා කියල ෂුවර් සෑර්. ඒත් අද අපේ හිත් වල ඒ තිබ්බ බය නැති වෙලා. සෑර් ආවා කියන්නෙ අපි දිනුම්. 

ජනාධිපතිතුමා: මං මාලිංගලා වින්ද පීඩනය ගැන නොදන්නව නෙමේ. මොකද මටත් ඔය විදිහෙම පීඩනයක්   ඔය යකාගෙන් තිබ්බා හිටං. දැන් අපි ඒ අඳුරු යුගය පරාජය කරල ඉවරයි. යහපාලනය යටතේ හැමදේම හරියනව හිටං.

මාලිංග: සෑර් මේ ඉන්නෙ මැතිව්ස්,දිල්ශාන්,තිසර,කුසල්....

ජනාධිපතිතුමා: මම පෞද්ගලිකව සනත්ට කැමති උනත් දැන් වැඩිය මිනිහව දිරවන්නෙ නෑ. ඒත් කුසල් සෙල්ලං කරන හැටි බලන්න ගොඩක් කැමතියි හිටං. දිල්ෂාන් නම් ඒ කාලෙ ලොකු පාටි එකක් එහෙම දුන්නනෙ. ඒකට මගෙ අමනාපයක් නෑ.



+++++++++++++++++++++++++

තරඟය ආරම්භ වී ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කර ලකුණු 172 ක ඉලක්කයක් ලබා දුන්නා. නවක ක්‍රීඩකයන් ඉතාම ඉහළ දක්ෂතා දක්වමින් මෙම ලකුණු ප්‍රමාණය ලබා ගත්තා.

මාලිංග: අද නම් බඩු හරි වගේ. සාපෙ ඉවරයි. අනිවා දිනනවා.

ජනාධිපතිතුමා: මං බයේ හිටියෙ. අරූට තිබ්බ සාපෙ මගෙනුත් තිබ්බද කියල. මොකද අවුරුදු ගානක් එකට හිටිය ඒකානේ හිටං.

තිරිමාන්න, චන්දිමාල්: අඩේ මුන් ටික අපේ ප්ලේස් වලටත් කෙලියා නේද? අනේ පැරදියන්. අනේ පැරදියන්.   අනේ පැරදියන්.

++++++++++++++++++++++++++

පකිස්තානු කණ්ඩායම පිළිතුරු ඉණිම ආරම්භ කල අතර, පන්දුවාර දහයක් අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු හතලිස් ගණනක් ලබා ගනිමින් ඉතාමත්ම අසීරු තත්වයක සිටියහ. මේ සඳහාද වැඩි හරියක්ම මුල් උනේ නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතාය. 

මාලිංග: අද නම් අපි ගොඩ. අම්මේ ඇති. දැන් ඉතිං මන් බෝල් කරලා ඉතුරු විකට් ටික සුටුස් ගාල කඩල         දාන්න ඕනෙ.

තිරිමාන්න, චන්දිමාල්: අනේ පැරදියන්. අනේ පැරදියන්. අනේ පැරදියන්.

මාලිංග ගේ පන්දුවාරයකට පකිස්තානු නායක අෆ්රිඩී හයේ පහර දෙකක් එල්ල කරන ලදී.

මාලිංග: මේකා කිසි ගේමක් නැතුව කෙලියනේ. අපි පරදියි වත්ද?

චමින්ද වාස්: හොඳ වැඩේ ඕකට. ෆිට්නස් නැතිව විකට් ගන්න බෑ කියල කී පාරක් මං කෝච් කරද්දි කිව්වද.     ඇහුවෙ නෑනෙ. #කයා. 

ජනාධිපතිතුමා: (දුරකතනයෙන්) රාජිත අපි පරදියිද හිටං?

රාජිත: පිස්සු කතා කරන්න එපා. අපි මේ උගුරේ ලේ රහ වෙනකං ඉස්ටෙජ්වල කෑ ගහන්නෙ පරදින්න නෙමේ සර්. එහෙම උනොත් පාරෙ බැහැල යන්නෙ කොහෙමෙයි. අපි දිනනවා. ඒ ගැන බය වෙන්න එපා.

+++++++++++++++++++++++++++++++++

අවසාන පන්දුවාරය තෙක් තරඟය ඇදගෙන ආවත් ප්‍රතිවාදීන් ඉතාමත්ම ප්‍රභල ලෙස ලකුණු හඹා ගිය අතර ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ පන්දුවාර වලට එක පිට එක ප්‍රහාර එල්ල කරමින් තරඟයේ පීඩනය ශ්‍රී ලංකා පිළට යොමු කළේය. ජයග්‍රාහි ලකුණු වාර්තා කළේ හයේ පහරකිනි.

+++++++++++++++++++++++++++++++++

තිරිමාන්න, චන්දිමාල් : හුරේ.................

මැතිව්ස්: ලොල් 

වාස්: සාදු 

මාලිංග: දැන් ඉතිං දීපන්කො අර මාධ්‍යවේදියෝ අහන ඒවට උත්තර. 

ජනාධිපතිතුමා: මලහත්තිලව්වයි. ජනතාවගෙ විශ්වාසය මට නැති උනාද මංදා හිටං.

+++++++++++++++++++++++

ටික වේලාවකින් ජනාධිපතිතුමාගෙ ජංගම දුරකතනයට පික්චර් මැසේජ් එකක් ලැබුණි. පහත දැක්වෙන්නේ එම පික්චර් එකය.



ඒවා තිබුනේ හිටපු ජනපති, වෙන්න අගමැති මරා. 

+++++++++++++++++++++ නිමි +++++++++++++++++++++

සැළකිය යුතුයි:

මෙම සිදුවීම සම්පුර්ණයෙන්ම මනසින් මැවූ සිදුවීමක් පමණි. කිසිඳු කෙනෙක්ට අපහාස කිරීමට, මඩ ගැසීමට, මඩ සේදීමට, කඩේ යාමට හෝ දේශපාලනයට සම්බන්ධව අදහසක් පළ කිරීමේ ඡේතනාවෙන් මේ සිදුවීම නිර්මාණය නොකළ බව මෙයින් සහතික කර ප්‍රකාශ කර සිටිමි.

ජාතික වකුගඩු අරමුදලේ සන්නාම තානාපතිවරු වශයෙන් මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න දිල්ෂාන් යන මහත්වරු ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිළ වශයෙන් පත් කරන ලදි. 

ස්තූතියි.