සුභ දවසක් සියළු දෙනාටම. හැමදාම වගේ අදත් ඔයාල හමුවට ගේන්නෙ සංගීතය හා සම්බන්ධ ලිපියක් වුනත් මේ කියන්න හදන්නෙ සංගීත පාඩමක් ගැන නම් නෙමේ. මම ගිටාරය සම්බන්ධ පාඩම් මාලාවක් කරගෙන එන නමුත් කිසිම අවස්ථාවක සංගීත ශයිලියක් ගැන කතා කරල නැහැ. ඉතින් මෙම ලිපියේ අරමුණ තමයි සංගීත ශයිලින් ගැන කතා කිරීමට පටන් ගැනීම. රොක්, ජෑස්, බ්ලූස්, රෙගේ වගේ විවිධාකාර වුනු සංගීත ශයිලින් ලෝකයේ තිබෙන බව මුල් ලිපියක මම සඳහන් කරල තියෙනව. ඉතින් මුල්ම සංගීත ශයිලිය විදිහට රෙගේ සංගීත ශයිලිය ගැන කතා කරන්න මම කල්පනා කලේ හේතු කිහිපයක් නිසා. එකක් තමා රෙගේ සංගීත ශයිලිය ඕනෑම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් වීම. ඒ වගේම රෙගේ සංගීතයට අදාල ටෙම්පො එක ටිකක් ස්ලෝ (slow). ඉතින් ඉතාමත්ම පහසුවෙන් රෙගේ සංගීතයේදී වාදන භාණ්ඩයක් හැසිරවීමට පුළුවන්. අන්තිම හේතුව තමා පෞද්ගලිකව මනා රෙගේ සංගීතයට ගොඩක් ආදරය කරන කෙනෙක් වීම :D.
රෙගේ සංගීතය කියන්නෙ මහා අතීතයක් තිබෙන ශයිලියක් නෙමෙයි. රෙගේ ශයිලිය ආරම්භ වෙන්නෙ එක්දහස් නවසිය හැටේ දශකයේ අග භාගයේදී. අපි කවුරුත් දන්න ජැමෙයිකාව මුල්කරගෙන තමා මේ සංගීත ශයිලිය බිහිවෙන්නෙ. ඇත්තෙන්ම කිවොත් මේ රෙගේ සංගීතය කියන්නෙ ඒ කාලයේදී ජැමෙයිකානු ජන සංගීත ශයිලියක් වන මෙන්ටෝ සහ කැලිප්සෝ සංගීතය, ඇමරිකානු ජෑස් සහ බ්ලූස්, ස්කා(ska) (මෙයත් එක්දහස් නවසිය පනහෙ අග භාගයේදී ජැමෙයිකාවේ බිහිවුණු සංගීත ශයිලියකි) සංගීත ශයිලින් ආශ්‍රයෙන් බිහිවුනු අලුත්ම සංගීත ශයිලියකටයි. ඒ කියන්නෙ ඉහත සඳහන් කරපු සියළුම සංගීත ශයිලින් වල මූලික ලක්ෂණ ආශ්‍රයෙන් බිහි කරපු සංගීත ශයිලියක් තමා රෙගේ කියල හඳුන්වන්නෙ. රෙගේ සංගීතයේ තිබෙන විශේෂත්වය වන්නේ ඕෆ්බීට්(off beat) රිදම් භාවිතා කිරීම. ඔන්න ඔය ඕෆ්බීට්(off beat) රිදම් එක තමා රෙගේ සංගීතය මිනිස්සුන්ගෙ ආකර්ෂණයට නතු වෙන්න හේතුව.
අද වන විට මුළු ලෝකය පුරාම වගේ රෙගේ සංගීතය භාවිතා කරනව. එම සංගීත ශයිලියට අදාළ මුලික ලක්ෂණ වලට තව තව දේවල් එකතු වෙමින් ලෝකයේ අනිකුත් රටවලත් රෙගේ ශයිලිය භාවිතා කරනව. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ වැඩි හරියක් සංගීත කණ්ඩායම් රෙගේ කියල විවිධ ගීත ගායනය සහ වාදනය කරනව ඔයාල දැකල ඇති. නමුත් අපි ඒ දකින්නෙ ඔරිජිනල් රෙගේ සංගීතයමද? අපි ඒ ගැන පසුවට කතා කරමු. ආදරය, සමාජයීය ගැටළු, අවස්ථාවන් වගේ විවිදාකාර වුනු මාතෘකාවන් උදෙසා රෙගේ සංගීතය හා සම්බන්ධ ගී පද නිර්මාණය වී තිබෙනවා. රෙගේ සංගීතය සරළවුවත් ඉතා සංකීර්ණ සහ සංවේදී දේවල් ගැන ඉතාමත්ම මියුරු ලෙස නිර්මාණයන් බිහි කිරීමට සමත් වෙලා තිබෙනවා.
රෙගේ සංගීතයේදී බේස් ගිටාරය සහ අකොස්ටික් ඩ්‍රම් සෙට් එකට හිමි වෙන්නෙ ඉතා උසස් ස්ථානයක්. බේස් ගිටාරය රෙගේ සංගීතයේ හදවත කීවත් නිවැරදියි. රෙගේ සංගීතයේදී බේස් ගිටාරයේ හඬ හරිම සැරට සහ බරට යොදාගන්නව. ඊට අමතරව රිදම් සහ ලීඩ් ගිටාර්, පියානෝව හෝ විදුලි ඕගනය තමා මුලිකව යොදා ගන්නා සංගීත භාණ්ඩ වෙන්නෙ. පසු කාලීනව තවත් භාණ්ඩ කිහිපයක් රෙගේ සංගීතයට එක් වීමත් සිද්ද වෙලා තියෙනව. මෙහිදී විශේෂයෙන්ම මට කියල දෙන්න ඕන කාරණය තමා ශ්‍රී ලංකාවේ තිබෙන සංගීත කණ්ඩායම් වලින් 90% ක් පමණ ප්‍රතිශතයක් භාවිතා කරන්නෙ ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එක. අපේ රටේ බොහොමයක් ජනතාව හිතන්නෙ ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එකක් සංගීත කණ්ඩායමක නැත්තම් ඒ සංගීත කණ්ඩායමෙන් වැඩක් නැහැ කියල. නමුත් ඔබ දැකල තියෙනවද ලෝකයේ ඉතාමත්ම ප්‍රසිද්ධ රොක්, රෙගේ ඕනම ශයිලියක බෑන්ඩ් එකක් ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එකක් පාවිච්චි කරනව? :D. ඇත්ත කතාව නම් ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එක ඕනෑම පුද්ගලයෙකුට වාදනය කිරීමට පුළුවන්. හේතුව අපි ඩ්‍රම් ස්ටික් එකකින් කොහොම තඩි බෑවත් නැගෙන්නේ එකම හඬක් නිසා. සැබෑ දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙකු දකින්නට අවශ්‍යනම් අකොස්ටික් ඩ්‍රම් සෙට් එකක් වාදනය කරන අකාරය හොයල බලන්න. ඒ සඳහා හොඳ හැකියාවක් සහ පාලනයක් තියෙන්න ඕන. මොකද අපි ඩ්‍රම් සෙට් එකට තඩි බාන ආකාරය අනුව හඬ වෙනස්ව ඇසෙන නිසා. අපි කතා කරන සියලූම ශයිලින් සඳහා භාවිතා කරන්නෙ අකොස්ටික් ඩ්‍රම් සෙට් පමණක් බව විශ්වාස කරන්න :D. නමුත් ශ්‍රී ලංකාවේදී එය තරමක් වෙනස් බව පමණක් මතක තබා ගන්න.
අපි දැන් රෙගේ සංගීත ශයිලිය ගැන මූලික තොරතුරු දැනගත්තා. මේ රෙගේ සංගීතය ජනප්‍රිය වෙන්නට හේතු වුනේ කුමක්ද? ඒ වෙන කිසිවක් නිසා නොවේ ඔබ අප කවුරුත් දන්නා සහ ආදරය කරන බොබ් මාලේ (Bob Marley) ජනප්‍රිය වීම. අවුරුදු තිස් හයක් (36) පමණක් ජිවත් වුවත් ඔහු තුල තිබු හැකියාව හා චින්තනය රෙගේ සංගීතය හරහා ඉදිරිපත් කිරීම තුළින් ජනතාවගේ ආදරය නොමදව දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබුනා. මම මෙම ලිපිය මගින් බොබ් මාලේ ගැන කතා කිරීමට යන්නෙ නැහැ. නමුත් එක දෙයක් කියන්න ඕන කමක් තියෙනව. රෙගේ, බොබ් මාලේ කියල කිව්ව ගමන් මිනිස්සුන්ට මතක් වන තව දෙයක් තියෙනව. ඒ තමයි "ගංජා". සාමාන්‍යයෙන් රෙගේ සංගීතය කරන කෙනෙක් දිහා මිනිස්සු බලන්නෙ ඔහු ගංජත් පාවිච්චි කරනව ඇති යන සිතුවිල්ලෙන්. අපේ රටේ ගංජා මිටි ගණන් උරා බීම, කෙනෙකු මත් කරවන්නට සහ ලෙඩ කරවන්නට සමත් උනත් ජැමෙයිකාවේ රස්ටෆාරියන් කෙනෙකුට ගංජා මිලි ග්‍රෑම් ගණනක් යනු හොඳ ඖෂධයක් බවට සමහරවිට ඔයාල නොදන්නව වෙන්න පුළුවන්. කොහොම උනත් මගේ මතය නම් රෙගේ සංගීතය කරන්න ගංජා උරන්න ඕනේ නැහැ කියන එකයි. රස්ටෆාරියන්ල සහ බොබ් මාලේ ගැන මම වෙනම ලිපියකින් ඔයාල වෙත තොරතුරු ඉදිරියේදී ගේන්නම්.
රෙගේ සංගීතයේදී යොදාගන්නා ගිටාරයන්(බේස්, රිදම් සහ ලීඩ්) ඉලෙක්ට්‍රික් වුවත් අපට උවමනානම් බොක්ස් ගිටාරයක් භාවිතයෙන් පවා රෙගේ සංගීතය වාදනය කිරීමට හැකියාව තිබෙන බවත් ඔයාල සිහියේ තබා ගන්න. මොකද මම ගිටාරය හා සම්බන්ධ අභ්‍යාස වලදී මෙම ශයිලින්ට අදාළ ගීතත් බොක්ස් ගිටාර් එකෙන් වාදනය කරන්න බලාපොරොත්තු වෙනව. ඒ වගේම රිදම් ගිටාරයේ ස්ට්‍රමින් පැටර්න්ස් ගත්තොත් හැම වෙලේම ඩවුන් ස්ට්‍රෝක්(Down Stroke) කියන පැටර්න් එක (ඉහළ සිට පහළට පික් එකක් භාවිතයෙන් කෝඩ්ස් වාදනය කිරීම) පමණයි භාවිතා කරන්නෙ. ඒක තමා මූලික රෙගේ සංගීතයේදී යොදා ගන්නෙ. නමුත් එම ශයිලිය ලෝකය පුරා ව්‍යාප්ත වන විට එම මූලික ලක්ෂණ වලට තව තව දේවල් එකතු වේවි පරිණාමය උනා. ඒ කියන්නෙ උදාහරණයක් විදිහට ලංකාවේ බොහොමයක් රෙගේ මියුසික් වලට රිදම් ගිටාර් වාදනය කරන උදවිය ඩවුන් ස්ට්‍රෝක් එක වෙනුවට භාවිතා කරන්නෙ අප් ස්ට්‍රෝක්(Up Stroke) එක (පහළ සිට ඉහළට පික් එකක් භාවිතයෙන් කෝඩ්ස් වාදනය කිරීම) දක්වන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේදී රෙගේ සංගීතය ආශ්‍රිත ගීතවල ටෙම්පො එක මූලික රෙගේ සංගීතයට වඩා වැඩියි. එතකොට අපි මේ ලංකාවේ අහන රෙගේ කියා ගන්නා සංගීතය ඇත්තටම රෙගේද කියලත් හිතෙනව. ඇත්තටම ඒක ඔරිජිනල් රෙගේ නොවන රෙගේ සංගීතයක් කිවොත් මම නිවැරදියි :D.
රෙගේ සංගීතය ගැන මේ විදිහට එක ලිපියකින් කෙටි කරල කිවත් තවත් බොහෝ කරුණු රාශියක් ඒ හා සම්බන්ධව තිබෙනව. ඒ දේවල් ගැන තව ලිපි කිහිපයකින් ඉදිරියේදී ඔයාලට දැනගන්නට පුළුවන් වේවි. රෙගේ සංගීතය පිලිබඳ උනන්දුවක් තියෙන අය පුළුවන් වෙලාවක යූ ටියුබ් එක පැත්තෙ ගිහින් ඔරිජිනල් රෙගේ මියුසික් ගැන හොයල අහල රස විඳින්න. මම කිසිම ලින්කුවක් මෙම ලිපියේදී දාන්නෙ නම් නැහැ ඔන්න. එහෙනම් මේ වගේ තවත් ලිපියකින් ඉදිරියේදී හමු වෙමු. සියළු දෙනාටම ජය වේවා!!!
ප.ලි : මෙම ලිපියට අදාල සමහර කරුණු සොයගත්තෙ විකිපීඩියා වලින්.