Thursday, May 7, 2015

ශ්‍රී ලංකා කොටියා | Sri Lankan leopard


Srilanka lepord
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි

ඔයාලට මතක ඇති ශ්‍රී ලංකාවෙ කොටි හිටියා කියල. ඔව් ඔව් කකුල් දෙකේ එවුන් තමා. මතක නැතිනම් ඔය ගූගල් දෙයියන්ගෙන් හරි ඒ කාලෙ මතක, තාමත් ඒ විදිහටම තියෙන කෙනෙක්ගෙන් හරි අහල බලන්නකො. ඒ උනාට අද කියන්න යන්නෙ කකුල් දෙකේ කොටි ගැන නෙමේ. එවුන් වඳ වෙලා දැන් ගොඩක් කල් නෙ. මේ කියන්න හදන්නෙ කකුල් හතරෙ කොටි ගැන. ඔව් ලංකාවේ තමා. ලංකාවේ කකුල් හතරෙ කොටි ඉන්නව බොලව්. මිනිස්සුන්ට වගේ එක එක  කොටියට එක එක නම් නැති නිසා ඔක්කොටම පොදුවේ කියන්නෙ ශ්‍රී ලංකා කොටියා එහෙම නැති නම්  Sri Lankan leopard (ශ්‍රී ලංකන් ලෙපර්ඩ්) කියල. 

හොඳට මතක තියාගන්න ඕන කාරණය තමා මේ කොටියට ඉංග්‍රීසියෙන් කියන්නෙ ටයිගර්(Tiger) කියල නෙමේ කියන එක. ටයිගර්(Tiger) කියල කියන්නෙ දිවියාට. ලංකාවේ දිවියො නෑ. ඔව් ඔව් මාත් අහල තියෙනව ඔය අඳුන් දිවියා එහෙම කියල සත්තු ඉන්නව. ඒ ඇවිල්ල සිංහල භාෂාවේ වචන යොදපු විදිහේ අවුල් නිසා හැදුනු නම්. ඔය අඳුන් දිවියා කියන්නෙ පොඩි සතෙක්. හැබැයි පූසට වැඩිය ලොකුයි. ඇත්තටම දිවියා කියන්නෙ ලොකු ශක්තිමත් සතෙක්ට. එයාල ලංකාවෙ නෑ. 

ශ්‍රීලංකා කොටියා
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි

ශ්‍රී ලංකාවේ ඉන්න නොම්මර එකේ ක්ෂීරපායී විලෝපිතයා (Predator) තමා මේ ශ්‍රී ලංකා කොටියා කියන්නෙ. එයාලගෙ නමට ශ්‍රී ලංකා කියල කෑල්ල එකතු වෙන්නෙ අපේ රටේ ජීවත් වෙලා ඉන්න නිසාම නෙමේ. ලංකාවට අවේනික නිසා. මෙයාල සත්ව විද්‍යාවට අනුව කොටි උප විශේෂයක්. සත්ව විද්‍යාත්මක නාමය Panthera Pardus Kotiya (පැන්තරා පාර්ඩස් කොටියා). ශ්‍රී ලංකාවේදී මෙයාල වැඩිපුරම දකින්න පුළුවන් වෙන්නෙ විල්පත්තු සහ යාල වන උද්‍යාන වලදි තමා. ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පවා මෙයාල ඉන්නව කියල තොරතුරු හමු වෙලා තියෙනව. විල්පත්තුව මේ කොටි නරඹන්න ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක්. ඒ වගේම යාල. යාල වන උද්‍යානය තුළ තමා ලෝකයේ විශාලතම කොටි ගහණය වාර්තා වෙන්නෙ. 

මෙයාලගෙ ප්‍රධාන ගොදුරු බවට පත් වෙන්නෙ තිත් මුවා. ඊට අමතරව වල් ඌරන්, හාවන් තව කුඩා ප්‍රමාණයේ සතුන් රැසක් ගොදුරු විදිහට ගන්නව. ඒ උනාට හිතන්න එපා මේ කොටි තුන් වේලම අපි වගේ ගොදුරු අල්ලන් කනව කියල. මෙයාල දඩයමක් කරන්නේ සෑහෙන්න කාලෙකින්. ඒ කියන්නෙ දවසකින් දෙකකින් වෙන්නත් පුළුවන්. වැඩි හරියක්ම කාලය ගෙවෙන්නෙ බඩගින්නෙ. මොකද දඩයම් කරන හැම වෙලේම සත්තු අහුවෙන්නෙ නෑනෙ. සෑහෙන්න ගේමක් දීල තමා කෑමක් හොයා ගන්නෙ. 

ශ්‍රීලංකා lepord
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි

අනිත් හැම සතෙක්ටම වගේම මෙයාලටත් තර්ජන ගොඩක් තියෙනවා. ප්‍රධානම එක තමයි අපේ වරිගෙ ඉන්න දඩයක්කාරයෝ කියාගන්න සමහර කාලකන්ණි අටවන උගුල්. මේවට අහුවෙලා මේ කොටි ජීවිතෙන් සමුගත්ත අවස්ථා ගොඩක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම වෙඩි තැබිම් වලිනුත් තර්ජනයට ලක්වෙලා තියෙනවා. ඒවා නීති විරෝධී උනත් දැනට සිදු වෙන දේවල්. ඊළඟ තර්ජනය තමා එයාල වාසය කරන භූමිය අඩු වෙමින් යාම. එතකොට ලොකු කොටි ගහනයකට පැවතෙන්න අමාරු වෙනවා ආහාර සහ අනිකුත් දේවල් වලට ඇති තරඟය නිසා. ඒ වගේම භූමිය අඩු වීම නිසා ඒ වනාන්තර වලට මායිම් වෙලා තියෙන ගම්මාන වලට පවා මේ කොටි යන්න පෙළඹෙනව. ඒකෙනුත් එයාලගේ ජීවිත වලට අවධානමක් ඇති වෙලා තියෙනව. කොහොම හරි මේ කොටි අපිට වටින්නෙ නැති උනාට පිටරට වල ඉන්න මිනිස්සුන්ට ගොඩක් වටිනවා. ඒක නිසා එයාල මේ කට්ටිය බලන්න එනව. මේ හේතුව නිසා යාල සහ විල්පත්තු කියන වනාන්තර සංචාරකයන්ගෙ හොට්ස්පොට් වෙලා තියෙනවා. බලන්න මේ සත්තු නිසා අපේ රටට කොච්චර අදායමක් ලැබෙනවද කියල.

srilanka lepord
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි

ඕන කෙනෙක්ට මේ කොටි නරඹන්න යන්න පුළුවන්. ලෙපර්ඩ් සෆාරි තියෙනව ඒකට. හැබැයි ගියාට කමක් නෑ. සෆාරි ජීප් එකෙන් එහෙම එළියට බහිනව නෙමේ කැලේ ඇතුලෙදී. මේ කොටි වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි  කරන අයට හොඳ තෝතැන්නක්. හැබැයි ඉතිං කැලේකට ඇතුළු උන ගමන් මේ කොටි ටික එන්නෙ නෑ " ආ එහෙනං ගහගනින් ෆොටෝ ටිකක් අපේ " කියල. එයාල දකින්න පුළුවන් ප්‍රසිද්ධ තැන් ටිකක් තියෙනව ඔය විල්පත්තු සහ යාලෙ. එතෙන්ට ගිහිල්ලත් සමහර වෙලාවට පැය ගණන් බලාගෙන ඉන්න ඕනේ. එහෙම ඉඳල ගන්න ඡායාරුප දැක්කම පුදුම හැඟීමක් එන්නෙ.

ඉතිං අපිට මේ පරිසරයෙන් අපේ රටට දායාද කරල තියෙන මේ විස්මිත ජීවී කොට්ටාශ අපේ මතු පරපුර වෙනුවෙනුත් රැක ගැනීම අපේ යුතුකමක් සහ වගකීමක්. ඒකට පක්ෂ, පාට, ජාති, ආගම් භේද වලින් තොරව එකාවන්ව එකතු වෙලා කටයුතු කරන්න ඕනෙ.

ප.ලි : 
විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ ඉවක් බවක් නොමැතිව මිනිස්සු පදිංචි කිරීම තුළින් එම වනාන්තරය සීග්‍රයෙන් විනාශ වීමේ අවධානමකට මේ වන විට ලක්ව ඇත. මේ වානන්තරයේ අලි වැඩි හරියක් වාසය නොකරන අතර කොටින්ගේ පාරාදීසයකි. එමෙන්ම වලසුන් සහ තවත් වන සතුන්ගේ පාරාදීසයකි. මෙලෙස මෙම විල්පත්තු වනාන්තරය හිතක් පපුවක් නොමැතිව විනාශ කිරීමෙන් අපේ රටට සහ අනාගත පරපුරට ජාති ආගම් භේදයකින් තොරව අහිමි වන්නේ අසිරිමත් ස්වභාවික නිර්මාණයන්ය, අපූරු ජීවී කොට්ටාශයන්ය. මේ විනාශය දෙස පුළුල් දෘෂ්ඨියකින් බලා ඒ සඳහා නිවැරදි කඩිනම් විසඳුම් ගැනීමට රජයට, අදාළ බලධාරීන්ට සහ ශ්‍රී ලංකා වාසි සියළු ජනතාවට ඉක්මණටම නුවණ පහළ වෙත්වා. වනාන්තරය සහ අසරණ සතුන් ආරක්ෂා කර ගනිත්වා.

ඡායාරූප ලබා ගත්තේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට බොක්කෙන්ම කැප වෙලා කාලය වැය කරල විනෝදාංශයක් විදිහට කරන් යන මගේ හොඳ ෆ්‍රෙන්ඩෙක් වන හේෂාන් පීරිස් ගෙ  හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි කියන ෆේස්බුක් පිටුවෙන්. ඔයාලට පුළුවන් නම් ගිහිල්ල ඒ පේජ් එකට ලයික් එකක් දාල යන්න. හරිම ලස්සන ඡායාරූප ගොඩක් බලාගන්න පුළුවන් ඔයාලට.

සියළු දෙනාටම ජය වේවා!!!   


Friday, April 24, 2015

කැම් එක වැඩ නෑ අළුත් වෙලා මූණ පේන්නෑ වුන හැටි.




ඔන්න සිංහල අවුරුද්දත් ඉවර වෙලා සති එකහමාරකට විතර පස්සෙ පොඩි පෝස්ට් කට්ටක් දාන්න හිතුනා. වෙන මොකකටවත් නෙමෙයි පොඩි මියුසික් වැඩක් ගැන කියන්න. ගොඩ දෙනෙක් අහන්න ඇතිනෙ අපේ මාතෙගෙ කුළුඳුල් ගීතය "තුම්මුල්ලේ ගීතය". ඒ ගීතෙ අයිතිය ගැන කවුරුහරි අහල තිබ්බ කමෙන්ට් එකකට මාතලන් අයියා කියල තිබ්බෙ අයිතිය ගායකයා සතුයි කියල. ඒත් මම හිතන විදිහට ගී පද නොමැතිව ගීතයක් සම්පුර්ණ වෙන්නෙ නෑ වගේම අරුත් බර වෙන්නෙ නෑ. ඒක නිසා තුම්මුල්ලේ ගීතයේ අයිතිය සම්පුර්ණයෙන්ම මාතලන් සතුයි කියන එක මුලින්ම කියන්න ඕනෙ. 

ආ තව ඩින්ගෙන් අමතක වෙනව දැන් කියන්න ආව වැඩේ ගැන. මීට මාස දහයකට විතර කලින් අපේ ඔමාගේ හීන කියන බ්ලොග් එක කරන ඔමා අක්කා(ඔමා කියන්නෙ ඇත්ත නමම වෙන්න ඇති මගෙ හිතේ) ලියපු පද ටිකක් ගීතයක් විදිහට නිර්මාණය කරලා යූ ටියුබ් එකට දාල තිබිල තියෙනවා. තිබිල තියෙනව කිව්වෙ මම ඒක ගැන දැන ගත්තෙ දවස් දෙකකට විතර කලින් නිසා. ඒකට සෑහෙන්න ප්‍රතිචාරත් ලැබිල තිබුණා.

ඉතින් මම මීට කලින් කරපු මාතෙ අයියගෙ තුම්මුල්ලේ ගීතය දැක්කට පස්සෙද කොහේදෝ අපේ ඔමා අක්ක මෙන්න මෙහෙම පද ටිකක් මගෙ මේල් එකට එවල තිබ්බ මගේ සිංදුවත් බලන්නකෝ කියල :D. 


මුණ පේන්නෑ.. එයාගේ කැම් එක වැඩ නෑ......
ඩේටා ඉවරවෙනකල්.. මගේ බැනුම් ඉවර නෑ...
මට තේරෙන්නෑ..පාළුව හැර කිසිවක් නෑ.....
ලිමිට් පැනලා... මට හුරුවෙලා... උගුර රිදෙන්නෑ...

කදුළු එන්නේ නැහැ ඇස් දෙක අඬන්න දන් නෑ...
එහෙම හිතලා ..හිතල හිතලා මම අඬන්නේ නෑ..
මා ළඟ ඔබ නැහැ ..ඔයාගේ සුවඳ හාදු නෑ.....
හීනෙන් වත් කරුමෙට මට.. ඔබ පෙනෙන්නේ නෑ...

බොළඳ වෙන්න බෑ කදුලට දිනන්න දෙන් නෑ ...
මටම කියලා... හිත සනසලා මම තැවෙන්නේ නෑ...
ඔයා දන්නේ නෑ ...ආදරේ තවම දුන්නේ නෑ.....
අරන් ආවේ නොදී හොරෙන්.. ඇයිද කියන් නෑ.....


හවසට ඉර බහින්නේ නෑ..වේගෙන් දවස ගෙවෙන් නෑ ..
පැය කටුවට බරවා බැහැලා හෙලවෙන්නෙත් නෑ
බොඳවුණු ඇස් කෙවෙණි දවන හිත වාවන් නෑ..
තටු තිබුණත් කූඩුව හැර පියාඹන්නේ නෑ........සත්තමයි

-Omaya-


ඉතිං මට මේ පද ටික දැක්ක ගමන් ලස්සන මෙලඩි එකක් හිතට ආවා. ඊට පස්සෙ පොඩි සාම්පල් කෑල්ලක් හදල  ඔමා අක්කට යැව්වා, මොකද එයා කැමති වෙන්නත් ඕනනෙ. ඊට පස්සෙ ඒකට කැමතියි කියල මට මේල් එකක් එවල තිබ්බෙ එයාගෙ හිතේ තිබ්බ තාලෙත් මේකට ලඟින් යන එකක් නිසාලු. ඊට පස්සෙ එයාගෙ හිතේ තිබ්බ තාලෙත් පොඩි රේකොඩින් පාරක් දාල එවන්න කියල මම රික්වෙස්ට් එකක් කළා. ඒ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබිල තිබුන. ඔයාල ගොඩ දෙනෙක් ඔමා අක්කගෙ පෝස්ට් කියෙව්වට කටහඬ අහල නෑ නේ?. විශේෂයෙන්ම සිංදුවක් කියනවා අහලම නෑ නෙ :D. ඇත්තටම ලස්සන හඬක් තියෙනව. පොඩ්ඩක් දියුණු කරල ගත්තොත් දැන් ඔය එක එක ටීවී චැනල් වලින් පායන තරු කැලේ.

ඉතිං එයාගෙ හිතේ තිබ්බ තාලෙනුත් කෑලි ටිකක් මගෙ ඔරිජිනල් මෙලඩි එකට ඇඩ් කරල පොඩ්ඩක් වෙනස් කරල අන්තිම සිංදුව රෙකෝඩ් කළා. ඒක ගැන ඔමා අක්ක නම් හොඳයි කියල කිවා. ඉතිං ඔයාලත් පොඩ්ඩක් අහල බලල අදහසක් කියල යන්නකො. ඒ වගේම මේ ගීතයේ අයිතිය සම්පුර්ණයෙන්ම ඔමා අක්කට හිමි වෙනවා. මම කරන්නෙ ලස්සන පද පේළි ටිකක් දැක්කම ඒකට මගේ හිතට වදින විදිහෙ මෙලඩියක් දාන එක විතරනෙ. එහෙම මෙලඩියක් දාන්න පද පේළියක් නැතුව බැනෙ. ඉතිං ඒක නිසා මේ ගීතයේත් සම්පුර්ණ අයිතිය ඔමා අක්කා සතුයි.

හරි එහෙනම් පිළිගන්න ඔමාගේ හීන (අපූර්වී) විසින් රචිත  "මූණ පේන්නෑ" ගීතය.  

YouTube බලන්න බැරි අය මෙතනින් ක්ලික් කරලා ඕඩියෝ එක අහන්න <<Audio>>



Sunday, April 12, 2015

හැමදාටම අවුරුදු !!!

hamadatama_awurudu



" තමුන් දන්නවද මේ හොර වැඩ නිසා අපිට තමුන්ව පොලිසියට අල්ලලා දීල අවුරුදු ගානකට බලු කුඩුවේ දාන්න පුළුවන්. ඒක නිසා හොඳ හිතිං කියහන් උඹ මොකටද මේ අසේල මහත්තයගෙ ගෙදරට හොරෙන් පැන්නෙ? "

" අනේ බුදු සර්. මාව හිරේ දාන්න එපා. මගේ දරුවොන්ට කන්න දෙන්නෙ කවුද එතකොට. "

"තෝ අපිව අන්දන්නද හදන්නෙ. අනුකම්පාව දිනාගන්නද? ඈ බොල පාහරයො."

" අනේ නෑ මහත්තයො මම කියන්නෙ ඇත්තක්. මම ඕන තැනක දිවුරන්නම්. මට එහෙම කරන්න ඕන උනේ මයෙ දරුවො තුන්දෙනා මේ අවුරුද්දෙත් අල්ලපු ගෙවල්වල රතිඥ්ඥා දානව දැකල හූල්ල හූල්ල ඉන්නවා බලං ඉන්න බැරි කමට. මේ ඇත්තමයි මහත්තයො කියන්නෙ මට ඕනවුනේ උන් මේ අවුරුද්දටවත් හිනාවෙලා ඉන්නව දකින්න "

-------------------------------------------------------------------------------

ගමේ මිනිස්සු හැම දෙනාම "කළුවා" කියල හැඳින්වුවත් ඔහුගේ සැබෑ නම වූයේ නිහාල් යන්නයි. ගමේ මොන විදිහේ අවැඩක් වුනත් ඒ වැඩේට කළුවගේ නම පට බැඳෙන්නේ ඔහු විසින් කරන ලද අළුගුත්තේරු වැඩ නිසාවෙනි. දැන් මේ වනවිට සිදු වෙමින් තිබෙන්නේද එසේ කරන ලද අළුගුත්තේරු වැඩක් ගම්මුන්ගේ අතටම අහු වීමේ සිද්දියකි.

අසේල යනු මෙම ගමේ හොඳ වැදගත් පුද්ගලයෙකි. වෘතියෙන් කළමණාකරුවෙකු වූ ඔහු දෙදරු පියෙකි. පවුල් උරුමයෙන් ලැබුණු දේපොළ වලින් ලැබෙන අදායමෙන් සහ මහන්සියෙන් උපයාගත් දෙයින් ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ඔහු විසින් ගත කළේය.

-------------------------------------------------------------------------------

" එහෙම කියල එක එකාගෙ ගෙවල් හොරා කෑවම හරියනවද යකෝ. තොගෙ ළමයින්ට හොඳට අවුරුදු කන්න දෙන්න ඕනෙ නම් මහන්සියෙන් හම්බකරලා දීපිය. උඹේ පව් වලට මේ ගමේ අනිත් උන් පලි නෑනෙ "
වටවී සිටි ගම්මුන් කීප දෙනෙක් කළුවාගේ කම්මුල හරහා පහරවල් දෙක තුනක් ඇද බාමින් මොර දෙන්නට විය.

"අනේ මහත්තයෝ මාත් කැමතියි දාඩිය මහන්සියෙන් වැඩක් පලක් කරල කීයක් හරි හම්බ කොරන්න. ඒත් කවුද මහත්තයො මට වැඩක් පලක් දෙන්නෙ මාව ගෙදරකට වත් වද්දගන්න කැමති නැති කොට."
කළුවා වේදනාත්ම ස්වරයෙන් බිම බලාගෙනම කීවේය.

මෙතෙක් වෙලා මේ සියළුම සිද්දීන් දිහා නිහඬව බලාගෙන සිටි අසේල මහත්තයා කළුවා ළඟට පැමිණියේය.

" දැන් ඔය බැන්නා ඇති. මට පොඩ්ඩක් කළුවට කතා කරන්න දෙන්න. "

මෙතෙක් වෙලා කළුවා වට කොටගෙන සිටි ගම්මුන් පසෙකට වී අසේල මහත්තයා හට ඉඩ ලබා දුන්නෝය.
  
" කළුවො උඹ මොකද මේ වගේ වැඩ කරන්නෙ. දැන් බලහං උඹ කරන මේ ජරා වැඩ නිසා උඹේ ගෑනියි ළමයිනුයි කොහොමද පාරෙ බැහැල යන්නෙ?. අනික උන්ව මේ ගමේ එවුන්ව කොං කරල දාල තියෙන්නෙත් උඹේ ඔය එපා කරපු වැඩ නිසා. "

" මට සමාවෙන්න අසේල මහත්තයෝ. මම දුර දිග හිතුවෙ නැහැ. මම හිතුවෙ මගෙ ළමයි සතුටෙන් අවුරුදු කයි කියන එක විතරයි. "

" ඉතිං උඹ මොකද මගේ ගෙදට්ටම පැන්නේ? "

" මම එහෙම කලේ මහත්තයො මහත්තැලාගෙන් සල්ලි කීයක් හරි හොරකම් කරගත්තත් මහත්තයලට ඕක ඊළඟ මාසෙ වෙද්දී ආණ්ඩුවෙන් හරි හම්බෙන නිසා. ගමේ අනිත් එකෙක්ගෙ දෙයක් හොරකං කරගත්තනම් හෙම උන්ටත් මෙදා පාර අවුරුදු කන්න වෙන්නෙ නෑනෙ මහත්තයෝ. මට සමාවෙන්න. "

කළුවා හෙමීට තතනමින් පැවසූ එම වචන ටික ඇහුණු ගමේ හැම එකාම වගේ මුහුණෙන් මුහණ බලා ගත්තේ මූ කියන කතාවෙ ලොකු ගැඹුරක් තියෙනව නේදෝයි  පවසන්නාක් මෙනි. සැබවින්ම අනික් ගම්මුන් කිසිවෙක් ආණ්ඩුවේ රස්සාවක් කිරීමට තරම් වාසනාවක් ලද්දෝ නොවූහ.

අසේල මහත්තයා යනු සෑම දෙයක්ම නිවුණු මනසකින් විනිශ්චය කරන පුද්ගලයෙකි.

" මොනවද තමුන්ගෙ ළමයි තුන් දෙනාගෙ  නම් "

" ලොකු එකා වසන්ත, මද්දුම එකී තිලකා, බාලයා සමන්ත " 

" උන් තුන්දෙනාම ඉස්කෝලෙ යනවද?  "

" ඔව් මහත්තයො. හැබැයි ලොකු එකාගෙ හිතේ නම් වැඩි කැමැත්තක් නෑ. අපේ මහ උන්දැගෙ කටේ බලේට තමා ඌ මෙච්චර කලක් ඉස්කෝලෙ ගියෙ. "

ටික වෙලාවක් කල්පනා කරමින් සිටි අසේල මහත්තයා "හ්ම්.. තමුන්ගෙ ළමයි ගැන හිතල මම අද තමුන්ව පොලිසියට අල්ලල දෙන්න යන්නෙ නෑ. ඒ වෙනුවට මම තමුසෙට වෙන දඬුවමක් දෙනවා "

" අනේ මහත්තයො මූට අනුකම්පා කොරන්ඩ එපා. මූ කන පතේ පහරන ජාතියෙ එකෙක්. මූව අපි පොලෝසියට අල්ලල දෙමු. " අසල සිටි අයෙක් කියවන්නට විය. 

" අනේ පිං සිද්ද වෙනව මහත්තයට. මට වෙන ඕනෑ දඬුවමක් දෙන්න පොලෝසියට නම් බාර දෙන්න එපා මහත්තයෝ. "

" හොඳයි. තමුන් හෙට ඉඳල අපේ වත්තෙ පිටියෙ තියෙන වැඩපල කරන්න පටන් ගන්න ඕනෙ. එතැනදී හොර බොරු වංචා තියෙන්න විදිහක් නෑ. "

" එහෙම උනොත් නං පුතෝ මේ අසේල මහත්තයාගෙන් ආයෙ නම් උඹට සමාවක් හම්බෙන එකක් නෑ. " තවත් එකෙක් පවසන්නට විය.

 " මම කියන විදිහට පිළිවෙලට වැඩ ටික කරහන්. එතකොට මේ අවුරුද්දෙ ඉඳන් හැමදාම උඹේ ළමයිනුත් අවුරුදු කයි. "  

කළුවාගේ මුහුණෙන් අහිංසක බයාදු හිනාවක් මෝදු වන්නට විය. 

                                                             
                                     ~~~ නිමි ~~~

Thursday, April 2, 2015

ෆුල් ෆේස් ෆුල් ෆේක් | Full Face Full Fake




දිනෙන් දින දික් ගැස්සෙන 
නිතරෝම මගෙ හිතට වද දෙන 
මල හත්තිලව්වකි මේ මගුල්    
ෆුල් ෆේස් හෙල්මට් තහනම

විටෙක බළ ගන්වන්නටම යන 
කාටත් පොදුවේ ඇඟටම දැනෙන 
කිසි විටක පණ නොලත්    
යකාගේ නීතියකි මෙය අපේ මුළු රටටම

පොලිසියත් ෆුල් සීරියස් පිට 
කියයි නිසැකෙටම පණ ගැන්වෙන බව 
නමුත් ලෙසටම කිච වෙයි ඊට පසු දින  
ගෙනා විට නියෝගය අධිකරණෙන් මුළු රටටම

යත්න දැරුවත් ගෙනෙන්නට මේ තහනම 
මෙතෙක් බැරි විය කරන්නට එය එකදු බලධරයෙකුටවත් කිසි දින  
එතරම් බලවත්ය මේ ෆුල් ෆේස් හෙල්මට් කුලකය 
ඉතින් කිසිවිටෙක දමන්නට එපා ඒ කුලකය නම් පහළට
  
දන්නවද මේ තහනම
හැම විටම කල් යන්න හේතුව
අවසන ඇඩ්රස් නැති වෙන්නට මනාපය 
ලැබෙන බව දනී කවුරුත් ගෙනාවොත් මේ මල මගුල් නීතිය

~~~මනා~~~  

Monday, March 30, 2015

නෙළුම් යාය සම්මාන උළෙලේ තේමා ගීතය හැදුණු හැටි.




නෙළුම් යාය සම්මාන උළෙල මාර්තු 26 පැවැත්වුන බව ඔයාල හැමදෙනාම වගේ දන්නව ඇතිනෙ. ඉතිං ඒකට මමත් සහභාගී වුනා. එතනදි මට බ්ලොග් ලියන කීප දෙනෙක්ම හම්බවෙන්න අවස්ථාවත් උදාවුණා. කොළඹ ගමයා ලියන අජිත් අයියා, මාතලන් අයියා, ඉවාන් අයියා, සුදීක අයිය, අටං අයියා, බස්සි, කල්‍යාණ මිත්‍ර, කටුස්සා, මනෝගේ ලෝකය ලියන මනෝජ් ෆර්නැන්ඩු, අපේ දිලිනි, සජ්ජා, ගන අඳුර ලියන මහේෂ්, හිත හීලෑ නෑ ලියන මලයා, ඊළඟට වෙනියා ඔය වගේ තව කීප දෙනෙක්ම හිටියා. ඉතිං ඒ උත්සවය ඉතාමත්ම හොඳට පැවැත්වුනා කීවොත් වැරැද්දක් නෑ. ඔය උළෙලට මට යන්න සෙට්වුනේ තව වැදගත් වැඩක් බාර දීල තිබ්බ නිසා. ඒ වෙන මොකක්වත් නෙමේ ඉතිං නෙළුම් යාය තේමා ගීතය ගායනය කරන්න :D. 

ඔය අවස්ථාව උදාවුනේ අහම්බෙන් කීවොත් හරි. මෙහෙමනෙ සීන් එක. අපේ අජිත් අයියා මේ සම්මාන ප්‍රධානය ගැන කියල ඒ සම්මාන ලබන අයගේ නම් ලිස්ට් එකක් එහෙම දාල තිබ්බ මතක ඇතිනෙ. ඉතිං ඔය ලිස්ට් එකේ දිලාගෙ ලෝකය ලියන අපේ දිලිනිටත් සම්මානයක් තියෙනව කියල තිබ්බා. 

මෙතන ඉඳන් කියන්නෙ මට හිතුන විදිහට හරිද :D. ඉතිං ඕක දැක්ක ගමන් දිලිනිට මාරෙට හැපි හිතෙන්න ඇති. මොකද ඉතිං සම්මානයක් හම්බෙනවා කියන්නෙ කාටත් සතුටු හිතෙන දෙයක්නෙ. ඒක මටත් එහෙමයි කියවන ඔයාලටත් එහෙමයි. ඉතිං ඒ කික් එකටම තව දවස් දෙක තුනකින් දිලිනි ලියනවා යායට පායනා කියල ලස්සන කවි සෙට් එකක්. (දැන් මම හිතපු විදිහ අවසානයි)

ඕකට ඉතිං වෙනද වගේම කට්ටිය කමෙන්ට් කරනවා. මාත් ඉතිං කමෙන්ට් එකක් දාල ආව වෙනද වගේම. ඔන්න පහුවදා මගෙ ජීමේල් එකට ලොග්වුනාම ඊමේල් එකක් තියෙනව දිලිනිගෙන් "මොකද කියන්නේ කියල". මාත් ඉතිං මොකද්ද දන්නෑ අහල තියෙන්නෙ කියල බලන්න ඕපන් කළා මේල් එක. ඒකෙ තියෙන්නෙ එයාගේ බ්ලොගේ කමෙන්ට්ස් ටිකක ප්‍රින්ට් ස්ක්‍රීන් එකක්. බැලින්නම් මෙන්න මම දාල ආව කමෙන්ට් එකේ අපේ අජිත් ධර්මා අයියා කමෙන්ට් එකක් දාලා.

"දිලා සහ මනා , මෙහෙම යෝජනාවක් තිබෙනව. අපි කැමතියි මේ කවි පන්තිය සින්දුවක් ලෙස මනා ලව්වා ගායනා කරන්න. මේක තමා නෙළුම් යායේ තෙමා ගීතය. මොකද කියන්නේ?"

ඊට යටින් දිලිනිත් ඒට කැමතියි කියල දාල තිබ්බා.  

ඉතිං මේක දැක්ක ගමන් මම ආයෙ දෙපාරක් හිතුවෙ නෑ කෙලින්ම ගියා අදාළ පෝස්ට් එකට. දැම්ම  මම වැඩේට කැමතියි කියල. ඉතිං ඊට පස්සෙ අපි තුන්දෙනා මේ සීන් එක ගැන තව දුරටත් ඊමේල් කීපයක් මගින් කතා කරගත්තා. මම එතැනදී දවසක් දෙකක් ඇතුලත සාම්පල් එකක් එවන්නත් පොරොන්දු වුණා. ඉතිං එහෙම කිව්වට මම මේකට මෙලඩි එකක් දාන්නත් ඕනනෙ. ඒකත් එදා රෑම ඉවර කරල කියන්න ඕන මෙලඩි එක ශේප් එකේ හදා ගත්තා. මම පහුවදාම මගෙ ෆෝන් කට්ටෙන් පොඩි රෙකොඩින් පාරක් දාල අදාළ බලධාරීන්ට යැව්වා. මෙන්න දවස් දෙකකට විතර පස්සෙ මට මේල් ඇවිත් තිබ්බා එයාල මොනවද ඒක ගැන හිතන්නෙ අනං මනං කියල. ඔන්න ඊට පස්සෙ මරු සීන් එක. මම ඒක හදල සතියකට දෙකකට  විතර පස්සෙ ඒ කියන්නෙ පෙබරවාරි මැද වගේ ඉඳං ආගිය අතක්  නෑ. සැරින් සැරේ ඉක්මනට ඇවිත් ගියාට කමෙන්ට් එකක් දාන්නවත් වුනේ නෑ. හැබැයි ඒ අතරේ මට මොකද වුනේ, ඇයි එනනෙ නැත්තෙ, බ්ලොග නවත්තලද අනං මනං අහල කීප දෙනෙක්ම ඊයවල් විදල තිබ්බ. ඔය අතර තුර මට අජිත් අයියත් ඊයක් දෙකක් එවල තිබ්බා. මුලින්ම වැඩේ සෙට් වෙලා තිබ්බේ වෙන දවසකටනෙ. මෙන්න එක ඊයක තියෙනවා වැඩේ කල් ගියා 26 වෙනිදට කියල. දැන් මාර සීන් එක. මට දැන් ෂුවර් එකක් නෑ එදාට එන්න පුළුවන් වෙයිද කියල. මට මොකක් හරි තව වැඩක් සෙට් වෙන්න වගේ සීන් එකක් තමා ඒ වෙද්දී තිබ්බෙ. මම ඕක කියල අජිත් අයියට ඊයක් විද්දා. මට එදාට එන එක සුවර් නැත කියල :D. මෙන්න දැන් අජිත් අයියා එවනව "මල්ලි එදාට ඔයා එන්නම ඔනෙ. එන්නෙ නැතුව ඉන්න එපා කියල". දැන් ඔය සිද්දියෙන් පස්සෙ මට බ්ලොග පැත්තෙ එන්නම වුනේ නෑ මර්තු 20 පහු වෙනකං. ඔන්න මාර්තු 24 වගේ මම ආව ආයෙත් බ්ලොග් පැත්තෙ. ඇවිත් බැලුවම තියෙනවා අජිත් අයිය ලංකාවට ඇවිත් කියල ෆෝන් නොම්මරයක් එහෙම දාල ඕන වුනොත් අමතන්න කියල. මම ඊට පහුවදා යැව්ව හරි අයියා හෙට (26) එහෙනම් සෙට් වෙමු කියල. මම හිතන්නෙ ඒ මේල් එක දැක්කම වෙන්න ඇති අජිත් අයියගෙ ඔළුවේ තිබ්බ තව බරක් නිදහස් වෙන්න ඇත්තෙ. මොකද දන්නවද මම 26 ගිහිං අපේ කමියල එක්ක කතා කරද්දී තමා දැන ගත්තෙ අජිත් අයියා මම එන එකක් නෑ කියල හිතිල ෆෝන් නොම්මරයක් හොයල තියෙන විත්තියක් මට කතා කරන්න :D. ඉතිං කොහොමින් කොහොම හරි තේමා ගීතෙත් ගායනා කළා. ඒක ලියපු දිලිනිව දැක්කෙත් හරියටම ස්ටේජ් එක උඩදි. සිංදුව ඉවර වෙනකං දිලිනිත් ස්ටේජ් එකේ හිටිය. ඒ හිටිය එක ගොඩක් හොඳයි මොකකටවත් නෙමේ එවෙලෙ මම ටිකක් බයේ හිටියෙ සිංදුව හරියට කියා ගන්න බැරි වෙයි වත්දෝ කියල :D. 

මේ තියෙන්නෙ ගීතය ගායනා කරන අවස්ථාවෙ ෆොටෝ එකක්.

දිලා සහ මනා



ලස්සනට සින්දුව කිව්වද කියල මම තාමත් හරියටම දන්නෙ නැහැ හැබැයි. සිංදුව ඉවර වුනහම ලැබුණ අත්පුඩි සද්දෙන් මට හිතෙනව මම අවුලක් නැතිව වැඩේ ගොඩ දාල කියල :D. ඔන්න ඔහොමයි ඉතිං දිලිනිගෙ යායට පායනා කවි පද ටික නෙළුම් යාය තේමා ගීතය වුනේ. එදා සම්මාන උළෙලේදී කිව්ව එකේ වීඩියෝ එක හෝ ඕඩියෝ එකක් මට හොයා ගන්න බැරිවුන නිසා මම ආයෙත් මගෙ ෆෝන් කට්ටෙන් රෙකෝඩ් කරල එඩිට් පාරක් දාල ඔයාල හැමෝටම අහන්න පුළුවන් වෙන්න යූටියුබ් එකට අප්ලෝඩ් කළා. මේ තියේන්නෙ ඒ ගීතය. අහල බලන්නකො හොඳද කියල.



එහෙනම් මම ගියා. සියළු දෙනාටම ජය වේවා!!!

Saturday, March 14, 2015

බලාපොරොත්තු පොදි බැඳගෙන බලාගෙන ඉන්නවා

balaaporoththuwa

ක්‍රිකට් ලෝක කුසලානෙත් ගැට්ටටම ඇවිත් තියෙන වෙලාවේ මට හිතුන පාළුවට ගිහින් තිබ්බ මගේ බ්ලොග් එකේ මොකක් හරි දාන්න ඕනෙ කියල.  මම හිතල බැලුව මෙහෙම කාලෙකින් බ්ලොගක් දාද්දි මගෙ ආදරණිය රසික රසිකාවියන්ට දෙන්න පුළුවන් හොඳම දේ මොකද්ද කියල. ඕක ගැන හිතල හිතල අන්තිමේට මතක් උනා " අඩේ අප්පා මොකක්වත් නෑ නොවැ ලියන්න කියල".  ඔන්න ඔය සිතුවිල්ල ගැන මම ලත වේවි ඉන්දෙද්දී මට සෙට් උනා පට්ට මූවි ට්‍රේලර් එකක්. හෑ මොකා කිව්ව ට්‍රේලරයක්. නෑ නෑ එහෙම එකක් නෙවේ ආයුබෝවන්ඩ. මම කිවේ චිත්‍රපට පූර්ව දර්ශණ පටයක් ගැන. 

ඉතින් චිත්‍රපටියක් ගැන කීවාම කවුද කැමති නැත්තෙ මන් අහන්නෙ. ඒවගෙත් තියෙනවනේ එක එක වර්ග. බය හිතෙන එව්වා, ත්‍රාසජනක එව්වා, රොමැන්ටික් එව්වා, ඊළඟට කොමඩි, සයිෆයි (මොකක් සයිෆයි ???? ඒ කිව්වෙ සයන්ටිෆික් ෆික්ෂන් එහෙම නැති නම් විද්‍යා ප්‍රබන්ධ), ඊළඟට ඉතිහාස කතා ඔය වගේ තව තව ජාති තියෙනවනෙ. අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඇයි අර නිල් චිත්තරපටි :P.

කොහොම හරි ඔය ඔක්කොගෙන්ම මම කැමති ඉතිහාසය කියන කැටගරි එකට. ඒකෙදි ඇත්තම ඉතිහාස කතා වගේම ඉතිහාස කතාවට තව අතින් පයින් දාල හදපු ඒවත් තියෙනවනෙ ආයුබෝවන්ඩ. ඒවගෙනුත් ඓතිහාසික යුධ කතා වලට මම පට්ටම කැමතියි. ඔය Brave Heart, King Arthur, Troy, 300, Gladiator, Kingdom of Heaven, Robin hood, The Last Samurai වගේ ෆිල්ම් ඒවගෙන් කිහිපයක් විතරයි. ඉතින් අර මාර්ටින් ලූතර් කිං මහත්තය කිව ප්‍රසිද්ධ කතාවේ වගේ වාක්‍යයක් මටත් තිබ්බා. ඒ මහත්තය කිවේ I have a dream. මටත් මුලින්ම ඔය උඩින් කියල තිබුන ෆිලුම් බලද්දී තිබ්බේ ඔය කතාවම තමා :D. යකෝ අපේ රටේ කවද්ද අප්පා මේ වගේ ෆිල්ම් එකක් හදන්නෙ කියලා. ඉතින් ඔහොම ඉද්දි ඔය හීනෙ 2008 දි විතර හැබෑ වෙන්න පටන් ගත්ත. කාට කාටත් මතක ඇති නොවැ ජැක්සන් ඇන්තනි මහත්තයගෙ "අබා" චිත්‍රපටිය. එකෙ තරමක් දුරට සාර්ථකව කතාව වගේම තාක්ෂනය හොඳ මට්ටමින් කරල තිබුන. ඉතිං ඔන්න ඔතනින් අපේ රටේ චිත්‍රපට ක්ෂේත්‍රයේ එක හැරවුම් ලක්ෂයක් උදාවුණා කිවොත් මම හරි. එතන ඉඳන් ඉතිහාස කතා රැගත් චිත්‍රපට රැල්ලක් අපේ රටේ ඇති වුනා. මම ඒවගේ නම් කියන්න යන්නෙ නෑ ඔං. ඉතින් එහෙම බිහිවෙච්ච චිත්‍රපට අතරින් සමහර ඒවා ඉතා දියුණු මට්ටමේ තිබුන. 

ඔය ඔක්කොටම කලින් ඒ කාලෙදිම අපේ රටේ ප්‍රවීනතම සිනමා අධ්‍යක්ෂ වරයෙක් වන ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා එතුමා කරන්න හිතන් ඉන්න චිත්‍රපටියක තිර පිටපත (මට මතක විදිහට) ඉරිදා දිවයින පුවත්පතේ කොටස් වශයෙන් පළ කරන්න පටන් ගත්තා "මහරජ ගැමුණු" කියල. ඒ තිර පිටපත කියවන්න  පටන් ගත්ත කාලේ ඉඳන් මම ඇඟිලි ගැන ගැන හිටියේ ඊළඟ කොටස පළ වෙනකන්. ඒ තරමට ඒ කතාව රසවත්ව එතුමා ලියල තිබුනා. ඒ ලිපි කියවන හැමවෙලේම අපේ හිත් වල එම චිත්‍රපටිය මැවිලා පෙන්න පටන් ගත්තා මට තාමත් මතකයි. ඒ කාලේ එම චිත්‍රපටය කරගන්න බැරි උනේ මුදල් ප්‍රශ්නයක් හින්ද කියල තමා එතුමා පත්තරේ දාල තිබ්බේ ඒ කාලේදි. ඉතිං කොහොමින් කොහොම හරි මම හිතුවෙ ඔය ෆිල්ම් එක කවද හරි King Arthur වගේ ෆිල්ම් එකක් වේවි කියල. දැන් ඒ චිත්‍රපටය නිර්මාණය කරල හෝල් වල තිරගත වෙන බව කවුරුත් දන්නව ඇතිනෙ. මම නම් බැලුව. හොඳ කතාවක්, සංගීතයක් වගේම හොඳ කැමරාකරණයකින් ඒ ෆිල්ම් එක සමන්විත උනත් අර මම කලින් කිව එම චිත්‍රපට තිරපිටපතේ තිබ්බ යුද්ධමය දර්ශන එතරම් නොපෙන්නුවේ ඇයි කියන එක මට එවෙලෙ හිතුනත් එවැනි දර්ශණ රූගත කිරීමට අවශ්‍ය කරන තාක්ෂනය සහ වියදම අධික නිසා එම සිද්ධි ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් නොකර ඉන්නට අධ්‍යක්ෂතුමා තීරණය කළා වන්නට පුළුවන්. කොහොම හරි ඒ චිත්‍රපටය ඉතාමත්ම උසස් නිර්මාණයක් කියන එක මේ අවස්ථාවේදී කියන්නම ඕනේ.

ඉතින් ඔන්න ඔය යුධ දර්ශණ නැති එක ගැන කනස්සල්ලෙන් ඉද්දි මීට දවස් තුන හතරකට කලින් මේ ලිපිය පටන් ගද්දිම කීව සුපිරි චිත්‍රපට පූර්ව දර්ශණ පටය මට අහම්බෙන් බලන්න සෙට් උනා. මෙන්න බොලේ ඒකෙ අර හොලිවුඩ් ටයිප් එකේ සීන්ස් ගොඩක් තියෙනවා. මටනම් ඇත්තටම ඒක හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ පෙනුනෙ. තාක්ෂනය ඉතාමත්ම සුපිරියට යොදාගෙන තියෙන පාටක් තමා මටනම් පෙනුනේ. මේ චිත්‍ර පටියේ නම "ආලෝකෝ උදපාදී". වළගම්බා රජතුමා ගැන තමා මේ චිත්‍රපටය මගින් පෙනවන්නෙ. ඒ එක්කම ත්‍රිපිටකය ග්‍රන්තාරූඩ කරන එක ගැනත් කියවෙනවා. ඉක්මනටම තිරගත කරනතෙක් නොඉවසිලිමත්ව තමා ඉන්නෙ ඔං :D.කොහොම හරි මේ ෆිල්ම් එකත් ලංකා සිනමාවේ හැරවුම් ලක්ෂයක් වෙයි කියල මට හිතෙනව. පහලින් තියෙන්නෙ ඒ චිත්‍රපට පූර්ව දර්ශණ පටය. බලන්නකො කොහොමද කියල. 




ඉතිං ඔන්න මනා ආයෙත් බ්ලොග් එකට ඇවිත් යන්න පටන් ගත්තා :D. ඒ වගේම මට මාසෙකින් විතර කාගේවත් බ්ලොගක් පැත්තෙ ගිහින් කොමෙන්ටුවක් දාන්නත් බැරි උනා ඒකට සමාව ඉල්ලනවා මේ වෙලේ බ්ලොග් ලියන සියළුදෙනාගෙන්ම.

මේ මාසේ 26 වෙනිදා නෙළුම් යාය සහෘදය මගින් පවත්වන සම්මාන උළෙලට තේමා ගීතය ගායනය කරන්න වස්තාවකුත් හම්බවුනා. ඒ වැඩේට පුළුවන් හැම කෙනෙක්ම සහභාගී වෙන්න කියල අරාධනා කරනවා. එහෙනම් සියළු දෙනාටම ජය වේවා!!!

Sunday, February 8, 2015

කපුගේ ශුරීන්ගේ අමරණිය ගීතයක් සමගින් ගිටාර් අභ්‍යාසය 1

Gunadasa Kapuge

සුභ දවසක් සියළු දෙනාටම. ඔන්න ගොඩ දවසකින් වෙනද වගේම අපේ සුපුරුදු ගිටාර් පාඩම් මාලාවට අදාළ ලිපියක් ලියන්න කල්පනා කළා. අපි මෙතෙක් කල් කතා කලේ කොහොමද ගිටාරයෙන් මේජර් සහ මයිනර් කෝඩ්ස් අල්ලන්නෙ කියල. එකම කෝඩ් එකක් ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකට අල්ලන අකාරය ඒ යටතේ මම ඔයාලට කියල දුන්නා. ඉතින් ඒ ක්‍රම දැන ගත්තට විතරක් මදි නොවැ ඒවා කොහොමද සිංදුවකට හරි වෙනත් නිර්මාණයකට හරි යොදා ගන්නෙ කියල දැන ගන්න ඕනනෙ. ඉතින් අද ඉඳන් කතා කරන්නෙ කොහොමද ඒ කෝඩ්ස් අල්ලන ආකාරයන් ප්‍රයෝගිකව යොදා ගන්නෙ කියල.

මෙතැනදී මට තව දෙයක් කියන්න ඕන කමක් තියෙනව. මම මේ අභ්‍යාස හැම එකක්ම බොක්ස් ගිටාරය භාවිතයෙන් පමණයි කරන්නෙ. සාමාන්‍යයෙන් අපි බොක්ස් ගිටාර් එකක් ආශ්‍රය කරගෙන නිර්මාණයක් කරද්දී භාවිතා කරන්නෙ ඕපන් කෝඩ්ස්. මම ඕපන් කෝඩ්ස් ගැන මුලින්ම ඔයාලට කියල දුන්න මතක ඇති. ඉතින් මම ඉදිරියේදී කරන සෑම අභයාසයකටම ඕපන් කෝඩ්ස් භාවිතා කරන්න තමයි තීරණය කලේ. ඒ අතර සමහර වෙලාවට ඊට අමතර ක්‍රමයන්ට අදාළ කෝඩ්ස් වාදනය කරන්නත් සිදුවේවි. නමුත් ඉලෙක්ට්‍රික් ගිටාර් වාදනය කරද්දී ඕපන් කෝඩ්ස් වලට වඩා අනිත් ක්‍රම දෙකට අදාල කෝඩ්ස් තමා භාවිතා කරන්නෙ. විශේෂයෙන්ම  කණ්ඩායම් සංගීතයේදී. ඒ වගේම ලීඩ් ගිටාර් වාදනයටත් කෝඩ් එක සහ ස්කෙල් එක ගන්න අනිත් ක්‍රම දෙක භාවිතා කරනව.අපි ලීඩ් ගිටාර් වාදනය ගැන ඉදිරියේදී ලිපි පෙලකින් කතා කරමු.

අද මම කල්පනා කලේ ගිටාර් අභ්‍යාසය විදිහට ජනප්‍රිය ගීතයක් ඔයාලට කියල දෙන්න. මේ ගීතය ගුණදාස කපුගේ ශුරීන් ගායනා කරන ලද දුක හාදු දෙන රැයේ ගීතයයි. මුල්ම ගීතය ලෙස එය තෝරාගන්න හේතුව උනේ එහි කෝඩ්ස් භාවිතයේදී තිබෙන සරල බව සහ නිදහස් බවයි. මෙම ගීතය නිර්මාණය වී තිබෙන්නේ Em (E මයිනර්) කෝඩ් එක මුල් කරගෙනයි. ඒ වගේම මෙම ගීතය 3/4 තාලයට අනුව නිර්මාණය වුවකි. මෙහිදී ගීතයේ ඉන්ට්‍රඩක්ෂන් එහෙම නැති නම් මුල් සංගීත ඛණ්ඩයේදී එක් විශේෂ කෝඩ් එකක් භාවිතා කරනු ලබනවා. එය Esus (E සස්) කෝඩ් එකයි. අපි ඒ කෝඩ් එකත්  ඉගෙන ගෙන යමු.

                                                                           Esus

Esus_ sus code_guitar code

ඊට අමතරව එම ගීතයේ verse එක එහෙම නැති නම් අන්තරා කොටස් වලදී D7 කෝඩ් එකකුත් යෙදෙනව.

                                                                 D7

D7_code_guitar code


තව දෙයක් කියන්න ඕනෙ. මම මේ ගීතයේ කෝඩ්ස් ටික උපුටා ගන්නෙ අපේ සහෝදර බ්ලොග් ලියන්නෙක් වන රොෂාන් විජේසේකරගෙ Sinhala Song Chords කියන බ්ලොග් අඩවියෙන්. පෞද්ගලිකව මම හිතන විදිහට  ඔහු එම අඩවිය තුලින් කරන සේවය මෙතෙක් නිසි ඇගයීමකට ලක් වෙලා නැහැ. ඉතින් මම හිතුව මම අභ්‍යාස විදිහට යොදාගන්නා ගීත වල කෝඩ්ස් ඔහුගෙ අඩවියෙන් උපුටා ගත්තොත් ඒක ඔහුට කරන ඇගයීමක් සහ දිරි ගැන්වීමක් කියල. මොකද ඔය සිංදුවකට කෝඩ්ස් යොදනවා කියන එක එතරම් පහසු කටයුත්තක් නොවෙයි. ඒකට ගීතයක් කිහිප සැරයක් අහල නිවැරදි හැඟීම මතුවෙන විදිහට කෝඩ්ස් යොදන්න ඕනෙ. මම එහෙම කියන්නෙ ලංකාවේ ප්‍රසිද්ධම සිංහල සිංදු කෝඩ් වෙබ් අඩවියකට ගීත කිහිපයක කෝඩ්ස් නිර්මාණය කරල දීල මටත් අත්දැකීම් තියෙන නිසයි (ඒක ලොකු කමකට කිව්ව නෙමෙයි ඈ :D ). පහතින් තියෙන්නෙ අද කතා කරන ගීතයේ කෝඩ්ස් ටික. මම තවත් පහසු වෙන්න ගී පද වලට උඩින් කෝඩ්ස් ටික ලිව්වා අභ්‍යාස පහසු කිරීමට.

Duka_hadu_dena_raye_gunadasa_kapuge

හරි අපි දැන් අභ්‍යාසය පටන් ගමු. මුලින්ම බලමු කොහොමද දුක හාදු දෙන රැයේ ගීතයේ Introduction එහෙම නැති නම් ගීතය හැඳින්වීමේ මුල් සංගීත ඛණ්ඩයට බොක්ස් ගිටාර් එක ආශ්‍රයෙන් කෝඩ්ස් වාදනය කරන්නෙ කියල.පහත තියෙන වීඩියෝ එක බලන්න. මම ඉතාමත්ම හෙමින් එම කොටස් වාදනය කරන්නෙ ඔයාලට ඉගෙන ගැනීමේ පහසුවට.


දැන් අපි බලමු ගීතයේ Chorus එහෙම නැති නම් ස්ථායි කොටස (ඔය කියන්නෙ මුල් පද ටිකට) කොහොමද වාදනය කරන්නෙ කියල.


දැන් බලමු  මේ ගීතයේ Verse එහෙම නැති නම් අන්තරා කොටස් කොහොමද වාදනය කරන්නෙ කියල. මේ ගීතයේ අන්තරා කොටස් දෙකක් තියෙනව. ඒ කොටස් දෙකම එකම තාලයකට තමා ගායනා කරන්නෙ (බොහොමයක් සිංහල ගීත වල වගේ). ඉතින් මම මෙහිදී වාදනය කරන්නෙ එක Verse  එකක් පමණයි.


පහළින් තියෙන්නෙ මේ කොටස් සියල්ලම එකතු වුනහම ගීතය වාදනය කෙරෙන ආකාරයයි.  එකත් අහල බලන්නකො. පුළුවන් නම් YouTube එකේ ලයික් එකකුත් දාලම යන්න :D. මෙම ගීතය ගායන කිරීමේදී මා අතින් සිදුවී ඇති අඩුපාඩු වලට සමාව අයදිනවා. 


හරි එහෙනම් අභ්‍යාසය අදට ඉවරයි. තවත් අභ්‍යාසයකින් ඉක්මනින් හමුවෙමු. සියළු දෙනාටම ජය වේවා!!!

ප.ලි:-
-> පසු කලෙක කපුගේ ශූරින් සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම සමග කරන ලද කැසට් පටයේදී මෙම ගීතය 6/8 තාලයට වාදනය කරන ලදී.
-> මෙම අභ්‍යාස වල අඩුපාඩු ඇත්නම් සමා වෙන්න ඕන.
-> කෝඩ්ස් උපුටා ගත්තේ  http://sinhalachordsfactory.blogspot.com/2014/12/duka-haadu-dena-gunadasa-kapuge.html

-> ඉහත තිබෙන කපුගේ මහතාගේ ෆොටෝ එක ගත්තෙ මෙතනින්.