Wednesday, December 31, 2014

කලාකරුවාගේ සංවේදීත්වය සහ වසරක අවසානය.


managepintharuwa

2014 වසර අවසන් වෙලා 2015 වර්ෂය උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි. ඉතින් මට හිතුන අළුත් අවුරුද්දට කලින් පරණ අවුරුද්දේ වෙච්ච සිද්දියක් ගැන කතා කරන්න. මේක පුද්ගලික තරහක් හරි එහෙම නැතිනම් කඩේ යාමක් නොවන වග ලිපිය ආරම්භයේදීම සටහන් කරන්න කැමතියි. ශ්‍රී ලාංකිකයන් වන අපට ශ්‍රී ලාංකේය කලාකරුවන් යනු බොහෝ සෙයින් වටිනා සහ ගරු කරන පිරිසකි. එය අප කාගෙන් ඇසුවත් ලැබෙන පිළිතුරකි. නමුත් කලාකරුවන් දේශපාලනය කිරීමට යාම දුක්ඛ දායක තත්වයකි. මක්නිසාද යත් කළා කරුවාගේ රාජකාරිය එහෙම නැති නම් කලාකරුවාගේ පාට් එක වෙන කෙනෙකුට කළ නොහැකි නිසාවෙනි. විශේෂයෙන්ම දේශපාලනය කිරීමට ඕනෑම උගත් හෝ නුගත් පුද්ගලයෙක් හට හැකි උනත් කලාකරුවෙකු වීම එසේ කල නොහැක්කකි. කලාකරුවෙකු සහ දේශපාලකයෙකු අතර තිබෙන ප්‍රධාන වෙනස්කම එයයි. නමුත් කලාකරුවෙකුට දේශපාලනය කිරීමට නොහැකිද? පිළිතුර වන්නේ "පුළුවන්". එහෙනම් ඒ කෙසේද? පිළිතුර, දේශපාලන ක්‍රමවේදයේ ඇති දුර්වලතා එහෙම නැති නම් වැරදි සහගත තැන් සහ හොඳ තැන් ඔවුන්ගේ මතිමතාන්තර වලට අනුව නිර්මාණයක් ආශ්‍රයෙන් ජනතාව දැනුවත් කිරීම හෝ කලාකරුවෙකු ලෙසම හිඳිමින් එම දේවල් ගැන හඬක් නැගීමයි. වර්තමානය වන විට කලාකරුවන් ජනතාව වෙනුවෙන් හඬක් නගමින් සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. නමුත් එය සිදුවන්නේ දෙපිලකට බෙදී වීම කණගාටුදායක තත්වයකි. මෙම ලිපිය මගින් කතා කිරීමට යන්නේ කලාකරුවාගේ දේශපාලනය කෙසේ විය යුතුද යන්න නොවේ. කෙසේ හෝ කිරීමට ගිය දේශපාලනයෙන් අත්වුණු තත්වයයි. 

මීට දවස් දෙකතුනකට ප්‍රථමයෙන් හරියටම කියනවනම් සල්මන් ඛාන් සහ ජැකලින්, කන්නාඩි සහ කිහිලිකරු බෙදන්නට ලංකාවට පැමිණි දවසෙ අපේ කලාකරුවන් පිරිසකට කුඹුක්ගැටේ ප්‍රදේශයේදී විරුද්ධ පාර්ශවයක් විසින් එල්ල කරන ලද නින්දිත ප්‍රහාරය ගැන ඔබ මේ වන විට අහල සහ දැකල විස්තර දන්නව ඇති. එම ප්‍රහාරය ශ්‍රී ලංකේය කලාකරුවන් පිරිසකට මෑත කාලයේදී එල්ල කරන ලද දරුණුතම ප්‍රහාරයකි. එය තරයේ හෙලා දැකිය යුතුය. ඒ වගේම නැවත එවැනි නින්දිත ප්‍රහාරයන් කලාකරුවන් ඉලක්ක කර සිදු කිරීමට ඉඩ නොතැබිය යුතුය. අප දන්නා කලාකරුවන් කිහිප දෙනෙකුම එම ප්‍රහාරයෙන් හානි වී තිබුණු බවද ඇත්තය. එම සිද්දිය ජනතාව තුල මහත් කල කිරීමක් ඇති කිරීමට සමත් විය. කෙසේ නමුත් ඊට පසු දින පැවැත්වූ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී සිදු වුයේ කුමක්ද. එම මාධ්‍ය හමුව අවසානයේ කෙතරම් ඡන්ද සංඛ්‍යාවක් තමන් වෙත හරවා ගැනීමට තිබුණිද. නමුත් එය එසේ සිදු වුනාද. නැත, මම සිතන පරිදිනම් ඔවුන්ට ලැබුණු අවස්ථාව ඔවුන්ගේ කෙනෙකු නිසාම මගහැර ගත්තා පමණි. තමන් වෙත ප්‍රහාරයක් එල්ල වුනු විට තරහ යන එක සාමාන්‍ය දෙයක් බව ඇත්ත නමුත්, මෙවැනි අවස්ථාවක එසේ කෝප වීමෙන් සිදු වන හානිය ඊට වඩා වැඩිය. 

එම මාධ්‍ය හමුවෙදී සිදුකල ලොකුම ගොන් වැඩේ නම් ජගත් මනුවරණ නමැති දක්ෂ කලාකරුවාට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීමයි. මට ඔහු සමග කිසිම තරහක් හෝ ප්‍රශ්නයක් නැත. නමුත් ඔහුගේ ප්‍රකාශයේ තිබුණු ආවේගශිලිත්වය මගින් ඇති වුනු අවාසි සහගත තත්වය ගැන මට සිතුනු දේවල් පමණක් මෙහිදී සඳහන් කිරීමට අදහස් කලා. ඔහු ආවේගශීලිව පැවසුවේ කුමක්ද. ඔහු පැවසුවේ මෙයයි"මේ කාලකන්නි ඩිස්නිලන්තයට මාව ජාතක කරපු වෙලාවේ, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියන මේ අරුමෝසම් හින්දි ෆිල්ම් එකට මාව ජාතක කරපු වෙලාවේ මගේ අම්මටයි තාත්තාටයි හිතුනේ නැත්තේ ඇයි මගේ බෙල්ල මිරිකලා කාණුවකට වීසි කරන්න, මට ලැම්බෝගිනි එකක් අරන් දීපල්ලා. මුන් එක්ක රේස් පදින්න". මෙය මාධ්‍ය ආයතන වලට පට්ටම නිවුස් එකකි. ඔවුන්ට මේ ප්‍රකාශය සුපිරියටම මාකට් කිරීමට හැකියි. මෙවැනි මාධ්‍යය දැනුවත් කරන්නාවූ අවස්ථාවක මෙසේ අදහස් දැක්වීම මගින් මිනිසුන්ගේ හිත්වල කලාකරුවා කෙරෙහි ඇතිවන හැඟීම කුමක්ද.

"මේ කාලකන්නි ඩිස්නිලන්තයට මාව ජාතක කරපු වෙලාවේ" ඒ කියන්නෙ ඔහු ඉපදෙනකොටත් මේක කාලකන්නි රටක් එහෙම නැතිනම් ඩිස්නිලන්තයක් හැබැයි කාලකන්නි. යකෝ ඒ කාලෙ රට පාලනය කලේ කවුද දන්නෙ නෑ. එතකොට මාමත් ඉලන්දාරි මන්ත්‍රී කෙනෙක් වෙන්න ඇති නොවැ. ඒ වගේම ඔහු දැන් පක්ෂව සිටින්නේ ඒ කාලෙත් දැන් වගේම රට කාලකන්නි කරපු අය එක්ක නෙමේද දන්නෙත් නැති ගානයි.  "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියන මේ අරුමෝසම් හින්දි ෆිල්ම් එකට මාව ජාතක කරපු වෙලාවේ" ඔහුට අනුව මේ රට ලස්සන හින්දි ෆිලුම් එකකි.  හැබැයි ඔහුට අමතකයි මේ ෆිලුම් එකේම තමනුත් කලාකරුවෙක් වෙලා ඉන්න විත්තිය. ඔහු අද සිටින තැනට පත් වී සිටින්නෙ මේ රටේම නේද කියන එක ඔහුට අමතකවුන බවක් එතකොට මටනම් හිතුන.  "මගේ අම්මටයි තාත්තාටයි හිතුනේ නැත්තේ ඇයි මගේ බෙල්ල මිරිකලා කාණුවකට වීසි කරන්න" මෙන්න මේක නම් කලාකරුවෙක්ට දෙනෝදාහක් ඉස්සරහ කියා නිකමටවත් කියන්න කොහොමවත්ම හිතෙන්න විදිහක් නැහැ. මොකද කලාකරුවෙක් කියන්නෙ ගොඩක් සංවේදී කෙනෙක්. එහෙම කෙනෙක් කොහොමද තමන්ගෙ දෙමව්පියන්ට කියන්නෙ ඉපදිච්ච ගමන් මරල දාන්න එපැයි කියල. ඔන්න ඔය කොටස ඇහෙද්දී නම් මට ඔහුගේ සංවේදීතාවය ගැන ලොකු ප්‍රශ්නයක් ඇති කරන්නට සමත් වුණා. ඔහු කෙසේ හඬා වැළපෙමින් එම ප්‍රකාශය කරත් එම වචන ටික ගොඩක් මිනිසුන් හට ඔහු කෙරේ තිබුණු ආදරය ප්‍රසාදය නැති කරන්නටත් එම කලාකරු පිරිස කෙරෙහිම තිබුණු අවධානයත් මදකට හෝ නැති කරන්නට සමත් වුණා.මට හිතුනෙ එක්කො මනුවරනලට ගහපු එකේ කේන්තිය ඔහුගේ ආදරණිය දෙමව්පියන් පිටින් යැව්ව එහෙම නැතිනම් පොරට ගොඩ කාලෙක ඉඳන් ඒ දෙමව්පියන් එක්ක කුමක් හෝ තරහක්, කේන්තියක් තියෙනව. අන්තිමේට මට මෙහෙමත් හිතුන.මනුවරණ කියන්නෙ මාක්ස් වදියෙක්ද. මොකද මම අහල තියෙන විදිහට මාක්ස්වාදීන්ට ආගමක්,ජාතියක්,අම්මෙක් අප්පෙක් කියල එකක් නැහැ.හැබැයි මෙන්න මේ අන්තිම ටික නම් කිසි අප්සට් එකක් නැහැ. "මට ලැම්බෝගිනි එකක් අරන් දීපල්ලා. මුන් එක්ක රේස් පදින්න" යකෝ මූ ලැම්බෝගිනිය ඉල්ලන්නෙ අපෙන්ද නැත්නම් දෙමව්පියන්ගෙන්ද. හැබැයි ඒ කතාවෙ නම් කිසිම වරදක් නැති පාටයි. රාජ කුමාරයන්ට ලම්බෝ පදින්නට හොඳ නම් අපි පැද්දම මක්ක වෙනවයි ආයෙ.

කෙසේ හෝ මට හිතෙන විදිහට මේ වගේ තීරණාත්මක මොහොතක ආවේගය නිසා ඔය වගේ ගොන් කතාවක් කිරීමෙන් කරගත්තේ ලොකු හානියක්. මොකද විරුද්ධ පාක්ෂිකයන්ට කියාගන්න දෙයක් නැතිව ඉන්න මේ වගේ වෙලාවක ඔය කතාව හොඳ කටගැස්මකි. ඒ වගේම අද හෙටම ඔය කතා කෑල්ල දාල වෙළඳ දැන්වීමක් වුවද සාදා ප්‍රචාරය කිරීමට නොහැකියැයි කාට කිව හැකිද. බොලිවුඩ් නළු නිළියන් පහකුත් එන්න ඉන්න එකේ ඕක මහ කජ්ජක්ද.කෙසේ හෝ කලාකරුවන්ට කිසිම විදිහකින් ප්‍රහාරයක් හිංසාවක් කිරීම නම් හොඳ දෙයක් නොවෙයි. මොකද අර ලූෂන් බුලත්සිංහල මහත්තයා කිව වගේ රටක පුජ්‍ය පක්ෂය ලඟට ඉන්නෙ කලාකරුවන් කියන එකත් අපි මතක තියා ගන්න ඕනෙ. ඒ වගේම කලාකරුවනුත් කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමේදී හිතට එන දේම පවසන්නෙ නැතිව කල්පනාකාරීව එම දේවල් ප්‍රකාශ කරන එක තමා හොඳ.   

ඔන්න ඉතින් මේක කියවල මාත් එක්ක අමනාප වෙන්න එහෙම එපා.මම මේ ලිපියේ ලිව්වෙ මගෙ පෞද්ගලික අදහස.මේක කියවන ඔබටත් වෙනස් අදහසක් තිබෙන්නට පුළුවන්.මම කැමතියි එම අදහසත් මේකෙ කමෙන්ට් එකක් විදිහට දානවනම්.

ඒ වගේම හෙටින් ආරම්භ වන 2015 නව වර්ෂය සියළු සිතුම් පතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා කියල ඔබ සියළු දෙනාටම ප්‍රර්ථනා කරනව. සියළු දෙනාටම ජය වේවා!!!


ෆොටෝ එක ගත්තෙ මෙතනින් :
http://static2.demotix.com/sites/default/files/imagecache/a_scale_large/400-9/photos/1288829939-the-protest--art-presentation-in-marseilles_496389.jpg

18 comments :

  1. උඹ කරන මෙහෙයට නිසි ඇගයුමක් ලැබෙන,මේ කරගන යන කාර්යය තවත් සාර්තකව කරගන යන්න පුළුවන් වෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....
    ජයම වේවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කටුස්සො :). ලැබුවා වූ මේ 2015 අවුරුද්ද ඔබටත් සියළු සිතුම් පැතුම් ඉටුවන, නව අදහස් ඇතිවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!! ජය වේවා!!!

      Delete
  2. උඹටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා !!!

    කිරි ඉතිරේවා නව වසරේ
    කිරි ඉතිරේවා නව වසරේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    කිරි ඉතිරේවා නව වසරේ
    කිරි ඉතිරේවා නව වසරේ

    දුක් දොම්නස නැති වුණා
    නව වසරක් එළඹුණා
    අවුරුදු දා ප්‍රීති වන්න
    මතුකරමින් මල්හිනා
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ

    කිරි ඉතිරේවා නව වසරේ....

    බත බුලතින් අඩුනොවී
    සුරසැප මිහිපිට මැවී
    උපන් බිමේ කිරි ඉතිරී
    ගොඩ මඩ සරු සාර වී
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ

    කිරි ඉතිරේවා නව වසරේ....


    ගායනය - එච්. ආර්. ජෝතිපාල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සින්දුවො. සින්දුවාටත් පවුලේ සියළු දෙනාටමත් ලැබුවාවූ මේ නව වසර වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  3. //තමන් වෙත ප්‍රහාරයක් එල්ල වුනු විට තරහ යන එක සාමාන්‍ය දෙයක් බව ඇත්ත නමුත්, මෙවැනි අවස්ථාවක එසේ කෝප වීමෙන් සිදු වන හානිය ඊට වඩා වැඩිය. //
    ඇත්ත. ඒකෙන් වුණේ මැර ප්‍රහාරය වෙනුවට ජගත් මනුවර්ණගේ ආවේගශීලී කතාව ඉස්මතු වීම පමණයි.

    සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අශාන්. දැන් ඉතින් ඔක්කොම වෙලා ඉවරයි.

      ඔබටත් සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  4. මනා...................

    මනාවට ගැලපෙන සුභම සුභ නව වසරක් වේවා.......................

    කුගැගීප

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුරේ සියළු දෙනාටම ලැබුවාවූ 2015 නව වසර වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!! ජය වේවා!!!

      Delete
  5. නිහඬ සටන තීරණය කරයි හැම දේම. හැබැයි , මේ සඳහා මීට වඩා හැම කෙනෙක්ම මහන්සි විය යුතුයි. කැපකිරීමෙන් තොර ජයග්‍රහණ නෑ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම,

      අළුත් අවුරුද්දෙ මගෙ බ්ලොගේ පළවෙනි කමෙන්ට් එක දැම්මට ස්තුතුයි :D
      ලැබුවා වූ මේ 2015 අවුරුද්ද සියලු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
    2. මනා ල මනෝ ල එනවා යනවා. අඩුම ගානෙ උඹ ඒ ගොඩට වැටෙන්නෙපා බං. අදහස් මොනවා වුනත් උඹට සුබ අලුත් අවුරුද්දක් වේවා කියා පතම්. මොකද, මොන මති මතාන්තර තිබ්බත් අපි උඹලා හැම එකම මිනිස් කුලකයේ.

      Delete
    3. අනිවාර්යයෙන්ම :)
      මම යනවනම් කියල තමා යන්නෙ :D. සුභ අළුත් අවුරුද්දක් වේවා විසිටර් තුමාටත්.

      Delete
  6. ඔබට සුභ අලුත් අවුරුද්දක්. මේක වෙනම මානයකින් ලියුවක්. //මොකද මම අහල තියෙන විදිහට මාක්ස්වාදීන්ට ආගමක්,ජාතියක්,අම්මෙක් අප්පෙක් කියල එකක් නැහැ// මමත් මාක්ස්වාදියෙක්. හැබැයි ඉහත කි ඔක්කොම තිබෙනවා. ආගම , ජාතිය, ආදරණිය පියා පරලෝසැපත් ආදරණිය මව තවම ජිවතුන් අතර. :)

    ReplyDelete
    Replies
    1. මාගේ නොදැනුවත් කමින් ලියා ඇති එම වාක්‍යයට අජිත් අයියගේ හිත රිදුනනම් සමාව අයදිනව :). මම මාක්ස්වාදීන් පිළිබඳව අහල තියෙන්නෙ වැරදි දෙයක්ය කියල තේරුනේ මේ කමෙන්ට් එක දැක්කම. නැවත වාරයක් සමාව අයදිනව ඒකට. ඔබටත් සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනව :).

      Delete
  7. අපොයි හිත රිදුනේ නැහැ. ලංකාවේ මාක්ස්වාදීන් කියා කියා ගන්න අය අනිත් අයගේ මත නොඉවසන , ආදර සම්බන්ධතා , විවාහ, ඉගෙනීම මාක්ස්වාදී ගමනට හා පක්ෂයට බාධාවක් කියා හිතන , අම්ම තාත්ත හෝ අනිත් මිනිසුන්ට කරන ආදරය අනවශ්‍යය යයි හිතන පිරිසක් වගේනේ. එක පොල්පොට් වාදය මිසක් වන දෙයක් නෙමේ. මාක්ස්වාදය විද්‍යාත්මක දෙයක් හැටියට මම විශ්වාස කරන්නේ. අනික ධනවාදී රටක දියුණු වෙන්න වෙන්න සමාජවාදී හෙවත් මිනිසුන්ගේ පාලන ක්‍රමයකට යන බවට මගේ තේරුම් ගැනීමක් තිබෙනවා. එච්චරයි. තියන ක්‍රමය තුල ප්‍රශ්න විසඳීමක් හැටියට ඒක එන්න පුළුවන් කියල විතරයි මම හිතන්නේ. ඒ නිසා මම වෙන දේශපාලන අදහස් වලට ගරු කරනවා වගේම කියවනවා. මම වැරදි නම් ඒක මමම ඔප්පු කර ගන්න ඕනේ නිසා. කාලාම සුත්‍රයේ වගේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ කමෙන්ට් එක පොඩි උනාට එකෙන් මට අධ්‍යයනය කරන්න අළුත් මාතෘකා ටිකක් හම්බුනා. සැබෑ මාක්ස්වාදය සහ පොල්පොට් වාදය. මම පොල්පොට් වාදය ගැන ඇහුවෙ මේ දැන්. ඇත්තටම මගෙ බ්ලොග් එකේ දැනට හම්බුනු වැදගත්ම කමෙන්ට් එක කිවොත් මම නිවැරදියි. බොහොම ස්තුතියි අජිත් අයියට මේ කමෙන්ට් එක පළ කිරීම සම්බන්ධව :).

      Delete
    2. ස්තුතියි. පොල්පොට් හිතුවේ මාක්ස් කිව්වාය කියල මිනිස් වර්ගය ගෝත්‍රික වශයෙන් ජීවත්වූ අවධියේ තිබ්බ කොමියුන් ක්‍රමයට ගොස් නැවත පටන් ගත යුතුයි කියල. හරියට වඳුරට දැලි පිහිය හම්බ වුන වගේ. මාක්ස් එහෙම දෙයක් කිව්වේ නැහැ. මාක්ස්වාදය කියන්නේ ටූල් එකක් කියල හිතන්න. ඒකත් නිකම් පරිගණක tool එකක් වගේ භාවිතා කල යුතු දෙයක්. ඇමෙරිකාව ඒක හොඳට කරනවා.

      Delete
    3. එතකොට මේ අපේ රටේ ඉන්න මාක්ස්වාදීන් කියාගන්නා බොහෝ දෙනෙක් පොල්පොට් වාදියොද?. මේ දෙක පටලගෙන මාක්ස්ට වැඳගෙන පොල්පොට් අනුගමනය කරනව :D. එතකොට ඒක අළුත් වාදයක්. හපොයි දැන් නෙ තේරුම් ගියෙ.

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.