Tuesday, January 20, 2015

සපත්තු දෙක

sapaththu_deka_managepintharuwa

" යාළුවා!!!
 උඹ මේකෙන් යන දවසට මට උඹේ සපත්තු දෙක දීල පලයන්. මගෙ සපත්තු දෙක හොඳටම කැඩිල " 

මේ වචන ටික ඇහුනු ගමන් මගේ ඇඟේ ලේ රත් වෙන්නට වුණා. මට හිතට ආව තරහ පිට කරගන්නට ක්‍රමයක් නොමැතිව ඒවා මගෙ ඇස් වලින් පිට වුන බව තේරුම් ගියේ ඔහු මාදෙස බලමින් ඇසූ පැනය නිසාවෙනි.

" මොකෝ යාළුවා ඇස් රතු වෙලා. බොලාගෙන් සපත්තු දෙක ඉල්ලුව නිසා තරහ ආවද "

මීට අවුරුදු දෙහෙකට පෙර සිදුවූ එම සිදු වීම මතකයට එන විට මොහු දකින වාරයක් පාසා මාගේ කේන්තිය වැඩි වනවා මිසක් කිසිම විදිහකින් නිවීමක් සිදු නොවිණි. 

======================================================================

හරියටම මීට අවුරුදු දෙකකුත් මාස තුනකට පෙර එක් සවස් යාමයක මා මහන්සියෙන් කුලී වැඩ කරමින් හම්බකරගත් මුදල්ද රැගෙන මාගේ අඹු දරුවන් බැලීම සඳහා නිවෙස් කරා යෑමට අගනුවර ප්‍රධාන බස් නැවතුම් පොළට එමින් සිටියෙමි. හදිස්සියේම පැමිණි පුද්ගලයෙකු මාගේ ඇඟේ හැපී මා හා බහින් බස් වීමට පටන් ගත් අතර ටික වෙලාවකින් ගුටිබැට හුවමාරුවක් දක්වා එය වර්ධනය විය. දවස පුරා හෙම්බත්ව සිටි මා හට ඔහුගේ ගුටි බැට හමුවේ අසරණ වීමට වැඩි වෙලාවක් ගත නොවීය. මා ඔහුගේ ප්‍රහාරය හමුවේ බිම ඇද වැටුණු අතර ඒ සමගම ඔහු මාගේ මුදල් පසුම්බියත් රැගෙන පලා යන්නට විය. මා කොතෙකුත් ගුටි කෑ නමුදු එම පුද්ගලයාගේ මුණත් තහඩුව හොඳින් මතකයේ රඳවා ගන්නට සමත් විය. මා හට අහිමි වූයේ දරුවන් පෝෂණය කිරීමට ඇති මුදල් පමණක් නොවේ. සින්න වීමට යන ඉඩම් කෑල්ල සඳහා ගෙවීමට ඇති වාරික මුදලද ඒ සමගම නැති විය. ඉඩම සින්න වුවහොත් මාගේ අඹුදරුවන්ට යන කල කුමක්ද? 

ඉන් අනතුරුව මාගේ ජිවිතයට උදාවුයේ ඉතා අඳුරු යුගයකි. නැතිවුණු මුදල් වෙනුවට නැවතත් ඉතා ඉක්මනින් මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් කුලී වැඩ වලට අමතරව හොරකම් කිරීමට පවා සිදු වූයේ වෙන කවුරුත් නිසා නොව එදා මා හට පහරදුන් පුද්ගලයා නිසාවෙනි. මාගේ සිත ඔහු පිළිබඳව ඉතා තදබල ලෙස වෛරයෙන් පිරී පැවතුනි. නමුත් මාගේ අඹුදරුවන් සහ ඉඩම බේරා ගැනීම සඳහා එම දේවල් කිරීමට සිදු වීම විටෙක මාගේ සිත සන්සුන් වීමටද හේතු විය. එක් දිනක් හොරකම් කිරීමේ තැතක් වැරදි මා පොලීසියට කොටු වන්නේ ඉතා අවාසනාවන්ත ලෙසය. උසාවියේදී වැරදිකරු වන මා ඉන් අනතුරුව වසර දෙකක හිරදඬුවම් විඳීම සඳහා බන්ධනාගාර ගත කරනු ලැබිය. 

සිරගත ජීවිතය පිළිබඳව විවිධ කතා අසා ඇති නමුදු මා හිරගෙයක් වෙත යන්නේ ජිවිතයේ පළමු වතාවටය. එදා අමාරුවෙන් හෝ ජීවිතය ගැට ගසාගෙන නිදහස් ජිවිතයක් ගත කල මා හට අද ජම්පරයක් ඇඟලාගෙන හිරකරුවෙකු ලෙසින් ජිවිතය ගත කිරීමට සිදු වීම කෙතරම් ශෝකජනකද, අවාසනාවන්තද යන්න සිතුනු වාර ගණන අනන්තය. එය කෙතරම් දුෂ්කරද යන්න මාහට වැටහෙන්නට එතරම් කාලයක් ගත නොවීය. මා රඳවා තබා තිබුණු සිර කුටියේ තවත් පුද්ගලයෙකු රඳවා සිටි අතර ටික කලකින් ඔහු සමග මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට මා සමත් විය. ඔහුද මා මෙන්ම කිසියම් සොරකමක් නිසා සිරගත වුනු බව පැවසුවේ ඉතාමත්ම වේදනාවෙනි. ඉතා අඩුවෙන් කතා කල ඔහු නිතරම කල්පනා ලෝකයක සිටින බව මා හට අවබෝධ විය. නමුත් ඉඳහිට හෝ ඔහුගේ හඬ අවදි කරමින් මා හට පැවසුවේ ඉවසීමෙන් කල්පනාවෙන් මේ සිරගත ජීවිතය ගත කරනා ලෙසයි. එය වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කර පෙන්වීමට ඔහු සමත් විය. 

මා බන්ධනාගාර ගත වී මාස එකොළහක් ඇවෑමෙන් ඔහුට නිදහස හිමි වූයේ ඔහුගේ විනීත හැසිරීම නිසා බව මාහට දැන ගන්නට ලැබුණි. ඔහුගේ දඬුවම සම්පුර්ණ වීමට තවත් මාස තුනක් තිබියදී එසේ නිදහස හිමි වීම ඔහුගේ සිතට කෙතරම් සතුටක් ඇති වන්නට ඇත්දැයි මා හට සිතා ගැනීමට හැකි විය. ඔහු අවසන් වරට මා හට පැවසුවේ වෙනදා මෙන්ම ඉවසීමෙන් කල්පනාවෙන් මේ සිර මැදිරිය තුළ ගත කරනා ලෙසයි. ඔහු දැන් මගෙන් සමුගෙන ගොසින් අවසන්ය.

එම සිදු වීමෙන් දවස් දෙකකට පසුව මාගේ සිර කුටිය වෙත අළුත් සිරකරුවෙකු රැගෙන එන ලදී. සිර කුටියේ කොනකට වන්නට සිටි මාහට එය තුල ඇති මද අඳුර නිසා ඔහුගේ මුහුණ හරි හැටි බලා ගැනීමට නොහැකි විය. කුටියට ඇතුළු කල මොහොතේ සිට ටික වෙලාවක් යනතුරු ඉතා අසරණ ලෙසින් සිරකුටියේ කූරු දෙකක් තම දෑතින් තදින් අල්ලාගෙන බිම බලාගෙන සිටි  ඔහු සෙමින් මාදෙස බලන්නට විය. තරමක් හුරුපුරුදු මුහුණක් බව ඔහු දෙස බැලූවිට මට සිතුනු අතර ක්ෂණයකින් මාගේ සිත පැවසුවේ, 

"දෙයියනේ මේ අර එදා මට ගහල සල්ලි හොරකම් කරපු කාලකන්නියා නේද?" යන්නයි.

නමුත් මා ඔහුට කිසිම වෙනසක් නොපෙන්වූයේ පෙර දවසකදී මාගෙන් වෙන්ව ගිය සගයා පැවසූ ඔවදන සිහි වීමෙනි. මා මොහු දෙස එක එල්ලේ බලා සිටි අතර, ඔහු හට  මා හඳුනා ගැනීමට හැකිවුනිද යන සැකය මාගේ සිත තුළ පැවතුනි. නමුත් සිරගත වීම නිසා ඇතිවුණු කම්පනයෙන් ඉතා අසරණ ලෙස ඔහු මා සමග කතා කිරීමට මුල පිරීමෙන් එම සැකය මාගේ සිත තුළින් කෙමෙන් බැහැරව ගියේය. ඔහු පික්පොකට් ගැසීමට ගොස් පොලීසියට හසුවී මෙසේ බන්ධනාගාර ගතවූ බව පැවසූ නමුත් මා සිරබත් කෑමට හේතුව ඔහුට නොකීවේ ඉන් පසු මාගේ සිතේ ඇති වෙන කෝපයෙන් ඔහුට කුමක් කරාවිදැයි සිතුනු නිසාවෙනි. ඉන් අනතුරුව මා ඉතා නිහඬ චරිතයක් ලෙස හැසිරුණු නමුදු ඒ සෑම අවස්තාවකදීම මාගේ හිත ඔහු කෙරෙහි වෛරයෙන් පිරි පැවතුනි. 

උදෑසන අවදි වූ වෙලේ සිට නින්දට යන තුරු මා දකින්නේ ඔහුගේ මුහුණ පමණක් වීම විටෙක මා හට මහත් වදයක් විය. එවන් අවස්ථාවක සිරකුටියෙහි ඇති යකඩ කූරු ඉතා තදින් අල්ලාගෙන තරහව පිට කිරීමට මා පුරුදු වී සිටියේ නිරායාසයෙනි. නමුත් කෙළවරක් නොමැති ඔහුගේ කතාව, එසේ නොමැතිනම් ඔහු කළ වැරදි වල පාපොච්චාරණය නිසා මා හට ඔහු කෙරේ ඇති වෛරය එන්න එන්නම වැඩි විය. සිර කුටියෙන් එළියට ගිය සෑම අවස්ථාවකදීම මා කෙසේ හෝ ඔහුගෙන් ඈත් වී සිටීමට කටයුතු කලේ එම කෙටි කාලයේදී හෝ සිත තුල ඇති කෝපය නිවා දමා ගැනීමට උත්සාහ කල නිසාවෙනි. මෙසේ කාලය ගෙවී යමින් මාගේ සිර දඬුවම් කාලසීමාවේ අවසන් භාගයටද පැමිණ තිබුණි. මා මෙයින් නිදහස් වී යාමට ඇත්තේ තවත් සති කිහිපයක් පමණි. මේ බව මාගේ පරම සතුරෙකු ලෙස මා විසින්ම හඳුන්වාගත් මාගේ කුටියේ සිටි පුද්ගලයාද දැන සිටි අතර එක් උදෑසනක මා හට මෙසේ ප්‍රකාශයක් කරන ලදී.

"යාළුවා!!! 
උඹ මේකෙන් යන දවසට මට උඹේ සපත්තු දෙක දීල පලයන්. මගෙ සපත්තු දෙක හොඳටම කැඩිල" 

මේ වචන ටික ඇහුනු ගමන් මගේ ඇඟේ ලේ රත් වෙන්නට වුණා. මට හිතට ආව තරහ පිට කරගන්නට ක්‍රමයක් නොමැතිව ඒවා මගෙ ඇස් වලින් පිට වුන බව තේරුම් ගියේ ඔහු මාදෙස බලමින් ඇසූ පැනය ඇසුණු විටය.

" මොකෝ යාළුවා ඇස් රතු වෙලා. බොලාගෙන් සපත්තු දෙක ඉල්ලුව නිසා තරහ ආවද " 

එදිනම බන්ධනාගාර නිලධාරීන් පැමිණ අවුරුද්දකට වඩා සිර දඬුවම් විඳින රැඳවියන් එළියට කැඳවනු ලැබූයේ බන්ධනාගාරයේ අළුතින් ක්‍රියාත්මක කෙරෙන භාවනාමය වැඩ සටහනක් සඳහා සහභාගී කරවීමටය. මෙම වැඩසටහන සඳහා මාද ඇතුළත්වූයේ ඒ වන විටත් මාගේ සිර දඬුවම වසරකට වඩා ගෙවා දමා තිබුණු බැවිනි. එම වැඩසටහන මෙහෙයවීම සඳහා වැඩමවා තිබුණේ බෞද්ධ හිමිනමකි. මා උපතින්ම බෞද්ධයෙකු වීම නිසා ඉතා කැමැත්තෙන් එම වැඩසටහන සඳහා සහභාගී වුනෙමි. මුලින්ම එම වැඩසටහන සඳහා සහභාගීවුනු සියළු දෙනාටම කෙටි ධර්ම දේශනයක් පැවැත්වුණු අතර එහි අන්තර්ගතය වූයේ සිතේ ඇති වෛරය, කෝපය පාලනය කිරීම මගින් ලබා ගත හැකි සැනසීම ගැනයි. කරුණාව මෛත්‍රීය සිත තුල ඇති කර ගැනීමෙන් තමන් හට ලඟා කරගත හැකි මානසික සැනසීම මගින් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරයද එහිදී වැඩි දුරටත් සඳහන් කරනු ලැබිණි. ඉන් අනතුරුව සියළු සත්වයන්හට මෙත් වඩන මෛත්‍රී භාවනාව කිරීම සඳහා අප සියළු දෙනාම යොමු කරනු ලැබිණි. මෙසේ පුරා පැයක් පමණ භාවනාවෙහි යෙදුනු රැඳවියන් සියළු දෙනාම ඉතා සන්සුන්ව සිටින ආකාරයක් දක්නට ලැබුණි.  ඒ ආකාරයට දින පහක් එම වැඩසටහන ක්‍රියාත්මක වුනු අතර එයට සහභාගී වීමට පටන් ගත් දිනයේ සිට  ඉහත කි පුද්ගලයා කෙරෙහි මාගේ සිතේ තිබූ වෛරය කෙමෙන් අඩුවී යන්නාක් මෙන් දැනෙන්නට විය. භාවනා වැඩසටහන නිම විය. 

ඉන් අනතුරුව එක රාත්‍රියක මාගේ අතීතයේ සිදුවුණු සියළු සිදුවීම් ඉතා උනන්දුවෙන් සිරකුටියේ ඇති මාගේ ස්ථානයට වී මෙනෙහි කළෙමි. මා මෙතෙක් කාලයක් ඔහු කෙරෙහි වෛරය සිතේ තබා ගෙන සිටීමෙන් මාගේ ජීවිතය වරද්දාගත් බව තේරුම් ගැනීමට මට වැඩි වෙලාවක් ගත නොවුනි. එදා සිදුවුණු ගුටිබැට සිද්දිය හේතුවෙන් මා වෛරය හිතේ තබාගෙන, ඒ සමගම ආශාවක්ද මුල් කරගෙන මුදල් පසුපස හඹා යාම නිසාවෙන් අද ගෙවන මේ සිර ජීවිතය උරුම වුනු බව මම තේරුම් ගත්තෙමි. තවත් එම සිදුවීම සිතේ තබා ගැනීමවත්, ඔහුට වෛර කිරිමෙන්වත් පලක් නැත. මම එම සිදුවීම අමතක කර දමා මේ සිර ජීවිතය අවසන් වී යන දවසට මාගේ සපත්තු යුවල ඔහු වෙත ලබා දීමට තීරණය කලෙමි. 

                                                                    

                                                                    ~~~නිමි~~~

           

28 comments :

  1. මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
    පායුග නැති ඔබ දකින තුරා
    කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
    නෙත් යුග නැති ඔබ දකින තුරා

    මාවත කටු අතු බොරළු මතක නැත
    දෙපා රැඳුණු විට බුමුතුරුණේ
    දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
    මැදුරේ දෙසවන් අගුළු වැටේ

    සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
    රස මසවුළු වල සුවඳ පිරේ
    ඒ රස සුවඳට දෑස අයාගෙන
    බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ

    ගායනය - නන්දා මාලනී
    ගී පද - සුනිල් ආරියරත්න

    ReplyDelete
    Replies
    1. ලස්සන අර්ථයක් තියෙන සිංදුවක්. ටැන්කු මතක් කලාට. ජය වේවා!!! ;)

      Delete
    2. ලොවේ දුක දැක දයාබර වී
      නෙතින් කඳුලක් නොහෙළුවේනම්
      ඔබේ නාමෙන්
      කුමට සත්සර රාව නන්වා
      ඉඳිමි ගොළු වී මන්....
      කපුගේ-

      Delete
    3. කටුස්සො මම කපුගේ මහත්තයගෙ ගීතයක් තමා ඉස්සර වෙලාම ගිටාර් ගීත අභ්‍යාසය විදිහට දාන්න හිතන් ඉන්නෙ.

      "පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ" ;)

      Delete
    4. අනෙ මම හුගක් ආස සින්දුවක් එක

      Delete
    5. ඒ සිංදුවට ගොඩ දෙනෙක් කැමතියිනෙ :D.

      Delete
  2. කොහොමත් මනා අපි අපේ සීමිත ජීවිත කාලය කා දමන්නේ මේ වගේ අනුවනකම් නිසාම තමයි..... හරියට කල්පනා කරලා බැලුවොත් ඒක තේරෙනවා... ඒත් අපි ඒක පිළිගන්න කැමති නැහැ.........

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. අපි ඒක පිළිගන්නෙ නැති තාක් කල් අපේ ජීවිත කාලයෙන් වැඩි හරියක් නිකරුනේ කා දමනව.

      Delete
  3. ඉස්තරම් මනා .... ජීවිතේ ගැන හිතන්න ඕන විදිහ ගැන පිව හිතන්න පොළඹවනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉවාන් සහෝ :). මට මේ කතා ලියන එක අළුත් අත්දැකීමක් :D. ඔයාල දකින වැරදි පෙන්වල දෙන්න කියලත් ඉල්ලා සිටිනව. ජය වේවා!!!

      Delete
  4. හොඳ කතාව මල්ලි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිරි ගැන්වීමට අජිත් අයියේ. ජය වේවා!!!

      Delete
  5. අනාගතේට කෙසේ වෙතත් අතීතෙටවත් යන්න පුළුවන්නම් හදාගන්න තැන් කොච්චරක්ද අපිට.ඒත් ඉතුරු වෙලා තියෙන්නේපාඩම් ඉගන ගන්න විතරයි ,
    කතාව සුපිරියි.
    උපදෙසක් දෙන්න තරම් පොරක්නම් නෙමෙයි.ඒත් කතාවේ දෙබස් වැඩි කරපන්.හැම දෙයක්ම විස්තර කරන්න යන්න එපා.දෙබස් වලින් චිත්‍රේ මවපන්.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. මුලින්ම කිව කතාවට :-
      ඒක නම් ඇත්ත. කොච්චර නම් දේවල් තියෙනවද හදාගන්න එහෙම අතීතෙට යන්න පුළුවන් නම්. ඒ පාඩම් වලින් වර්තමානෙදි වෙන්න පුළුවන් වැරදි හැකි තරම් අඩු කරන්න උත්සහ කරමු.

      උපදෙසට:-
      දෙබස් නම් මදි තමා නේද :). බලමු ඊළඟ කෙටි කතාව ලියද්දි තව හොඳට ලියන්න උත්සහ කරන්නම්.

      බොහොම ස්තුතියි කටුස්සො. ජය වේවා!!!

      Delete
  6. සමාජයට යහපත් පනිවිඩයක් දීලා තියෙනවා.නියමයි මනා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිලා :). ජය වේවා!!!

      Delete
  7. සාමාන්‍ය සම්ප්‍රදායට ගිහින් පිකට් පොක්ට් කාරයව මරන්නෙ නැතුව ඒකාට මෛත්‍රී කරන බව දක්වා කථාව අවසන් කිරීම යහපත් අවසානයක් කියලා මට හිතෙනවා. මෛත්‍රී භාවනාව නවත්තලා තිබ්බලු නේද පහුගිය කාලෙ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරා අයියෙ. ඔව් නේද මෛත්‍රී කියන වචනෙ තියෙන මොකක්වත් අහන්න අකමැති පිරිසක් හිටියනෙ පහුගිය කාලෙ :D. තහනමකුත් තිබ්බද කොහෙද. මට මේ කතාවෙන් කියන්න ඕන උනේ හිරේට ගිය කෙනෙක්ටත් යහපත් ගතිගුණ තියෙනව කියන එක. ජය වේවා!!!

      Delete
  8. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15501-2015-01-25-19-14-15

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් අයියෙ ගිටාර් පාඩම් වලට අමතරව මගෙ කතාවකුත් නෙළුම් යායේ පල කලාට :). ජය වේවා!!!

      Delete
    2. මේ වගේ තැන් බලන්න වෙයි. //ඉන් අනතුරුව එක රාත්‍රියක මාගේ අතීතයේ සිදුවුණු සියළු දේවල් ඉතා උනන්දුවෙන් සිරකුටියේ ඇති මාගේ ස්ථානයට වී මෙනෙහි කළේය. // මෙනෙහි කෙළෙමි ..නේද?

      Delete
    3. බොහොම ස්තුතියි අජිත් අයියට ඒ වැරැද්ද පෙන්නුවට. මම දැන් ඒක නිවැරදි කළා. :)

      Delete
  9. මනා.. උඹ කතා ලියන බව දැනගත්තේ නිව්ස් වෙබ් එකේ තිබුන මේක කියවලා.. නැත්නං මං හිතන්නෙ තාම ගිටාර් ගහනවා කියලයි.. හැක්..

    ReplyDelete
    Replies
    1. නැවත වතාවක් අපේ දේශක තුමාව පින්තාරුවට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මම ඉතින් ගිටාර් පාඩම් වලට අමතරව කතා ටිකකුත් ලියන්න උත්සහ කරනව. ඔබතුමා ලියන කතා වගේ රහට නම් තාම ලියා ගන්න බෑ හැබැයි. හැක් හැක් :D. ඒ උනාට මම ආසයි කතා ලියන්න :). ඉතිං පුළුවන් වෙලාවක මේ පැත්තෙ ඇවිල්ල දකින අඩුපාඩුවක් පෙන්නල යන්න කියල බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනව. ජය වේවා!!!

      Delete
  10. අප්පට සිරි කිව්වලු බ්ලෝග නැගලම යනවා
    පහුගිය පොස්ට් ටික හිමිහිට කියවන්නම ඕන
    මාස තුනකින් විතර තමා මේ පැත්තේ ආවේ
    සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ජීවන අයිය දැක්ක කල්. බොහොම ස්තුතියි. රිප්ලයි කරන්න පරක්කු උනාට සමාවෙන්න ඕන අද ආවෙ දවස් ගානකින්. ජය වේවා!!!

      Delete
  11. හිතන්න යමක්
    ආදර්ශවත් කතාවක්
    නියමයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇනෝ. දිගටම පින්තාරුව පැත්තෙ එන්න. ජය වේවා!!!

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.