Sunday, April 12, 2015

හැමදාටම අවුරුදු !!!

hamadatama_awurudu



" තමුන් දන්නවද මේ හොර වැඩ නිසා අපිට තමුන්ව පොලිසියට අල්ලලා දීල අවුරුදු ගානකට බලු කුඩුවේ දාන්න පුළුවන්. ඒක නිසා හොඳ හිතිං කියහන් උඹ මොකටද මේ අසේල මහත්තයගෙ ගෙදරට හොරෙන් පැන්නෙ? "

" අනේ බුදු සර්. මාව හිරේ දාන්න එපා. මගේ දරුවොන්ට කන්න දෙන්නෙ කවුද එතකොට. "

"තෝ අපිව අන්දන්නද හදන්නෙ. අනුකම්පාව දිනාගන්නද? ඈ බොල පාහරයො."

" අනේ නෑ මහත්තයො මම කියන්නෙ ඇත්තක්. මම ඕන තැනක දිවුරන්නම්. මට එහෙම කරන්න ඕන උනේ මයෙ දරුවො තුන්දෙනා මේ අවුරුද්දෙත් අල්ලපු ගෙවල්වල රතිඥ්ඥා දානව දැකල හූල්ල හූල්ල ඉන්නවා බලං ඉන්න බැරි කමට. මේ ඇත්තමයි මහත්තයො කියන්නෙ මට ඕනවුනේ උන් මේ අවුරුද්දටවත් හිනාවෙලා ඉන්නව දකින්න "

-------------------------------------------------------------------------------

ගමේ මිනිස්සු හැම දෙනාම "කළුවා" කියල හැඳින්වුවත් ඔහුගේ සැබෑ නම වූයේ නිහාල් යන්නයි. ගමේ මොන විදිහේ අවැඩක් වුනත් ඒ වැඩේට කළුවගේ නම පට බැඳෙන්නේ ඔහු විසින් කරන ලද අළුගුත්තේරු වැඩ නිසාවෙනි. දැන් මේ වනවිට සිදු වෙමින් තිබෙන්නේද එසේ කරන ලද අළුගුත්තේරු වැඩක් ගම්මුන්ගේ අතටම අහු වීමේ සිද්දියකි.

අසේල යනු මෙම ගමේ හොඳ වැදගත් පුද්ගලයෙකි. වෘතියෙන් කළමණාකරුවෙකු වූ ඔහු දෙදරු පියෙකි. පවුල් උරුමයෙන් ලැබුණු දේපොළ වලින් ලැබෙන අදායමෙන් සහ මහන්සියෙන් උපයාගත් දෙයින් ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ඔහු විසින් ගත කළේය.

-------------------------------------------------------------------------------

" එහෙම කියල එක එකාගෙ ගෙවල් හොරා කෑවම හරියනවද යකෝ. තොගෙ ළමයින්ට හොඳට අවුරුදු කන්න දෙන්න ඕනෙ නම් මහන්සියෙන් හම්බකරලා දීපිය. උඹේ පව් වලට මේ ගමේ අනිත් උන් පලි නෑනෙ "
වටවී සිටි ගම්මුන් කීප දෙනෙක් කළුවාගේ කම්මුල හරහා පහරවල් දෙක තුනක් ඇද බාමින් මොර දෙන්නට විය.

"අනේ මහත්තයෝ මාත් කැමතියි දාඩිය මහන්සියෙන් වැඩක් පලක් කරල කීයක් හරි හම්බ කොරන්න. ඒත් කවුද මහත්තයො මට වැඩක් පලක් දෙන්නෙ මාව ගෙදරකට වත් වද්දගන්න කැමති නැති කොට."
කළුවා වේදනාත්ම ස්වරයෙන් බිම බලාගෙනම කීවේය.

මෙතෙක් වෙලා මේ සියළුම සිද්දීන් දිහා නිහඬව බලාගෙන සිටි අසේල මහත්තයා කළුවා ළඟට පැමිණියේය.

" දැන් ඔය බැන්නා ඇති. මට පොඩ්ඩක් කළුවට කතා කරන්න දෙන්න. "

මෙතෙක් වෙලා කළුවා වට කොටගෙන සිටි ගම්මුන් පසෙකට වී අසේල මහත්තයා හට ඉඩ ලබා දුන්නෝය.
  
" කළුවො උඹ මොකද මේ වගේ වැඩ කරන්නෙ. දැන් බලහං උඹ කරන මේ ජරා වැඩ නිසා උඹේ ගෑනියි ළමයිනුයි කොහොමද පාරෙ බැහැල යන්නෙ?. අනික උන්ව මේ ගමේ එවුන්ව කොං කරල දාල තියෙන්නෙත් උඹේ ඔය එපා කරපු වැඩ නිසා. "

" මට සමාවෙන්න අසේල මහත්තයෝ. මම දුර දිග හිතුවෙ නැහැ. මම හිතුවෙ මගෙ ළමයි සතුටෙන් අවුරුදු කයි කියන එක විතරයි. "

" ඉතිං උඹ මොකද මගේ ගෙදට්ටම පැන්නේ? "

" මම එහෙම කලේ මහත්තයො මහත්තැලාගෙන් සල්ලි කීයක් හරි හොරකම් කරගත්තත් මහත්තයලට ඕක ඊළඟ මාසෙ වෙද්දී ආණ්ඩුවෙන් හරි හම්බෙන නිසා. ගමේ අනිත් එකෙක්ගෙ දෙයක් හොරකං කරගත්තනම් හෙම උන්ටත් මෙදා පාර අවුරුදු කන්න වෙන්නෙ නෑනෙ මහත්තයෝ. මට සමාවෙන්න. "

කළුවා හෙමීට තතනමින් පැවසූ එම වචන ටික ඇහුණු ගමේ හැම එකාම වගේ මුහුණෙන් මුහණ බලා ගත්තේ මූ කියන කතාවෙ ලොකු ගැඹුරක් තියෙනව නේදෝයි  පවසන්නාක් මෙනි. සැබවින්ම අනික් ගම්මුන් කිසිවෙක් ආණ්ඩුවේ රස්සාවක් කිරීමට තරම් වාසනාවක් ලද්දෝ නොවූහ.

අසේල මහත්තයා යනු සෑම දෙයක්ම නිවුණු මනසකින් විනිශ්චය කරන පුද්ගලයෙකි.

" මොනවද තමුන්ගෙ ළමයි තුන් දෙනාගෙ  නම් "

" ලොකු එකා වසන්ත, මද්දුම එකී තිලකා, බාලයා සමන්ත " 

" උන් තුන්දෙනාම ඉස්කෝලෙ යනවද?  "

" ඔව් මහත්තයො. හැබැයි ලොකු එකාගෙ හිතේ නම් වැඩි කැමැත්තක් නෑ. අපේ මහ උන්දැගෙ කටේ බලේට තමා ඌ මෙච්චර කලක් ඉස්කෝලෙ ගියෙ. "

ටික වෙලාවක් කල්පනා කරමින් සිටි අසේල මහත්තයා "හ්ම්.. තමුන්ගෙ ළමයි ගැන හිතල මම අද තමුන්ව පොලිසියට අල්ලල දෙන්න යන්නෙ නෑ. ඒ වෙනුවට මම තමුසෙට වෙන දඬුවමක් දෙනවා "

" අනේ මහත්තයො මූට අනුකම්පා කොරන්ඩ එපා. මූ කන පතේ පහරන ජාතියෙ එකෙක්. මූව අපි පොලෝසියට අල්ලල දෙමු. " අසල සිටි අයෙක් කියවන්නට විය. 

" අනේ පිං සිද්ද වෙනව මහත්තයට. මට වෙන ඕනෑ දඬුවමක් දෙන්න පොලෝසියට නම් බාර දෙන්න එපා මහත්තයෝ. "

" හොඳයි. තමුන් හෙට ඉඳල අපේ වත්තෙ පිටියෙ තියෙන වැඩපල කරන්න පටන් ගන්න ඕනෙ. එතැනදී හොර බොරු වංචා තියෙන්න විදිහක් නෑ. "

" එහෙම උනොත් නං පුතෝ මේ අසේල මහත්තයාගෙන් ආයෙ නම් උඹට සමාවක් හම්බෙන එකක් නෑ. " තවත් එකෙක් පවසන්නට විය.

 " මම කියන විදිහට පිළිවෙලට වැඩ ටික කරහන්. එතකොට මේ අවුරුද්දෙ ඉඳන් හැමදාම උඹේ ළමයිනුත් අවුරුදු කයි. "  

කළුවාගේ මුහුණෙන් අහිංසක බයාදු හිනාවක් මෝදු වන්නට විය. 

                                                             
                                     ~~~ නිමි ~~~

21 comments :

  1. මනා................. ලස්සන කතාවක්... පොඩියි ලස්සනයි.....

    මෙහෙමයි මනා ... මිනිස්සුන්ට වැරදි හදාගන්නත් අවස්ථාවක් දෙන්න ඔ්නේ... දිගට ම දෙන අවස්ථාවන් මගහරිනවානම් තමා ඔහු හොරෙක් වෙන්නේ.... ඒත් වැරදි තේරෙන දවසට හැමෝම ඒක හදාගන්න කැමතියි.. ඒත් සමාජය ඔහුව සදාකාලික හොරෙක් හරි වංචාකාරයෙක් කරනවා.....................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු.

      //මෙහෙමයි මනා ... මිනිස්සුන්ට වැරදි හදාගන්නත් අවස්ථාවක් දෙන්න ඔ්නේ... දිගට ම දෙන අවස්ථාවන් මගහරිනවානම් තමා ඔහු හොරෙක් වෙන්නේ.... ඒත් වැරදි තේරෙන දවසට හැමෝම ඒක හදාගන්න කැමතියි.. ඒත් සමාජය ඔහුව සදාකාලික හොරෙක් හරි වංචාකාරයෙක් කරනවා.//

      සම්පුර්ණයෙන්ම එකඟයි. ඒ වගේ පුද්ගලයෙක් වැරදි වැඩක් කරන්න පෙළඹෙන්නෙත් ගොඩක් වෙලාවට ඔය කියන සමාජයෙන්ම වෙන අසාධාරණකම් නිසාම තමා.

      ජය වේවා!!!

      Delete
  2. කෙටි උනත් පපුවට වදිනවා.. මමත් සෙකන්ඩ් චාන්ස් එක ගැන තදින්ම විශ්වාස කරන පුද්ගලයෙක්... ඔව්ව ලියවෙන්නෙ උඹත් එහෙම නිසා වෙන්නැති.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ඇඟට දනුනනම් එච්චරයි. මගේ අභිප්‍රාය සාර්ථකයි. මාත් සෙකන්ඩ් චාන්ස් ගැන විශ්වාස කරනව සජ්ජා.
      ජය වේවා!!!

      Delete
  3. මෙහෙම මිනිස්සුත් තාම ඉන්න එක ළොකු දෙයක්..

    ටිකයි හොඳයි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මෙහෙම මිනිස්සු තව ඇති :).

      //ටිකයි හොඳයි///
      ස්තුතියි මාතෙ අයියෙ.
      ජය වේවා!!!

      Delete
  4. asela අපේ මල්ලිගේ නමත්, කියවද්දී එයාවත් මතක් වුණා. ලස්සනයි මල්ලි,, කුරුටු කිවුවා වගේ වැරදි හදාගන්න අවස්තාවක් ලැබෙනවා නම්..

    ReplyDelete
    Replies
    1. මල්ලි දැන් නම් බ්ලොග් එක නියමයි,,පාට අකුරු ඔක්කොම

      Delete
    2. ස්තුතියි ඔමා අක්කෙ :).
      ඇත්තටම අපිට වැරද්දක් හදාගන්න චාන්ස් එකක් ලැබෙනවනම් හොඳයි. මම නම් සාමාන්‍යයෙන් චාන්ස් එකක් දීල බලනව.

      //මල්ලි දැන් නම් බ්ලොග් එක නියමයි,,පාට අකුරු ඔක්කොම//
      හි හි. ඔයා එදා ඕක කෙලින්ම කීවෙ නැත්නම් තාමත් මේක අර ඔයා කීව ගොසරෑ පාටට තියෙනව :D. ගොඩක් ස්තුතියි අක්කෙ :). තවත් මොනව හරි අවුලක් දැක්කොත් කියන්න :).
      ජය වේවා!!!

      Delete
  5. මෙහෙම මිනිස්සු අද සමාජයේ ඉන්නේ හුඟක් අඩුවෙන්.. කතාව ලස්සනයි..

    අදයි ඉස්සෙල්ලම මේ පැත්තට ආවේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්ව සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට :).
      ඒක ඇත්ත. මේ වගේ මිනිස්සු හොයාගන්න නැහැ. බොහොම ස්තුතියි. දිගටම එන්න මේ පැත්තෙ
      ජය වේවා!!!

      Delete
  6. ඉතාම කෙටි කතාවක්. නමුත් ගැඹුරු කතාවක්.
    (තව පොඩ්ඩක් ලිපි, අදහස් වල ෆොන්ට් සයිස් එක අඩු කළොත් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද? :) )

    ReplyDelete
    Replies
    1. මාධව ව සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට. බොහොම ස්තුතියි.
      සයිස් එක ටිකක් වැඩියි වගේ නේද. මම ටිකක් අඩු කරල දාන්නම්. ජය වේවා!!!

      Delete
  7. අවස්ථාවක් ලබාදීම කියන්නෙ මේ ලෝකෙ කීප දෙනෙක් විතරක් කරන වැඩක්.ඒක තමුන් රිස්ක් එකක් ගැනිල්ලක්.නමුත් ඒ රිස්ක් එක ගත්ත නිසා මේ ලෝකෙ තවත් ගොඩාක් ලස්සන කරන්න පුලුවන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ගස් ලබුස්ව පින්තාරුවට.
      ඔව් ඒක අවදානම් වැඩක් තමයි. සමහර විට අවස්ථාව දෙන කෙනාටම විඳවන්න වෙනව. ඒත් ඒකෙ අනිත් පැත්ත උනොතින් අර කිවා වගේ ලෝකෙ ලස්සන කරන්න පුළුවන්.
      ජය වේවා!!!

      Delete
  8. කෙටි උනාට කථාව ලස්සනයි...මම ඔය පපුවෙ තෙතමනය තියෙන මිනිස්සුන්ට මනාපයි ...

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනෙ රිප්ලයි කරන්න ලේට් උනාට. බොහොම ස්තුතියි සිරා අයියෙ :). මට පොඩ්ඩක් වෙනස් දෙයක් ලියන්න ඕනෙ උනා. ඒ වෙනස දැනුනානම් සතුටුයි.
      ජය වේවා!!!

      Delete
  9. පට්ට ස්ටෝරිය බන්.....

    ReplyDelete
  10. මනාගේ සිංදුවක් වගේ.. ටිකයි හොඳයි.. හැදෙන්න අවස්තාවක් දෙන එක හොඳයි හැබැයි ලඟින්ම නිරීක්ශණය කරන්න ඕනි. අත්දැකීමෙන් දන්නව හොරකමට පුරුදු වෙච්චි එකාට අවසර කල් රහස් තැන ලැබුණද ආයි හොරකම් කරනව කියන එක.
    අර අසේල මහත්තය ගැන විස්තරේ වෙනම නොලියා කතාවෙන්ම දැනෙන්න ඇරියනම් වඩාත් සාර්ථකයි කියල හිතෙනව.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. // හැදෙන්න අවස්තාවක් දෙන එක හොඳයි හැබැයි ලඟින්ම නිරීක්ශණය කරන්න ඕනි. අත්දැකීමෙන් දන්නව හොරකමට පුරුදු වෙච්චි එකාට අවසර කල් රහස් තැන ලැබුණද ආයි හොරකම් කරනව කියන එක//

      සහතික ඇත්ත. බහුතරය එහෙමයි. මට මේ කතාව ඒ විදිහට ලියන්න හිතුනා. ඒත් අවුරුදු කටේ හින්දා මේ තියෙන විදිහට නැවැත්තුව :D.

      උපදෙස් ටික පිළිපැදල ඊළඟ කතාව මීට වඩා හොඳට ලියන්න උත්සහ කරනව අනිවා.
      ජය වේවා!!!

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.