Monday, March 30, 2015

නෙළුම් යාය සම්මාන උළෙලේ තේමා ගීතය හැදුණු හැටි.




නෙළුම් යාය සම්මාන උළෙල මාර්තු 26 පැවැත්වුන බව ඔයාල හැමදෙනාම වගේ දන්නව ඇතිනෙ. ඉතිං ඒකට මමත් සහභාගී වුනා. එතනදි මට බ්ලොග් ලියන කීප දෙනෙක්ම හම්බවෙන්න අවස්ථාවත් උදාවුණා. කොළඹ ගමයා ලියන අජිත් අයියා, මාතලන් අයියා, ඉවාන් අයියා, සුදීක අයිය, අටං අයියා, බස්සි, කල්‍යාණ මිත්‍ර, කටුස්සා, මනෝගේ ලෝකය ලියන මනෝජ් ෆර්නැන්ඩු, අපේ දිලිනි, සජ්ජා, ගන අඳුර ලියන මහේෂ්, හිත හීලෑ නෑ ලියන මලයා, ඊළඟට වෙනියා ඔය වගේ තව කීප දෙනෙක්ම හිටියා. ඉතිං ඒ උත්සවය ඉතාමත්ම හොඳට පැවැත්වුනා කීවොත් වැරැද්දක් නෑ. ඔය උළෙලට මට යන්න සෙට්වුනේ තව වැදගත් වැඩක් බාර දීල තිබ්බ නිසා. ඒ වෙන මොකක්වත් නෙමේ ඉතිං නෙළුම් යාය තේමා ගීතය ගායනය කරන්න :D. 

ඔය අවස්ථාව උදාවුනේ අහම්බෙන් කීවොත් හරි. මෙහෙමනෙ සීන් එක. අපේ අජිත් අයියා මේ සම්මාන ප්‍රධානය ගැන කියල ඒ සම්මාන ලබන අයගේ නම් ලිස්ට් එකක් එහෙම දාල තිබ්බ මතක ඇතිනෙ. ඉතිං ඔය ලිස්ට් එකේ දිලාගෙ ලෝකය ලියන අපේ දිලිනිටත් සම්මානයක් තියෙනව කියල තිබ්බා. 

මෙතන ඉඳන් කියන්නෙ මට හිතුන විදිහට හරිද :D. ඉතිං ඕක දැක්ක ගමන් දිලිනිට මාරෙට හැපි හිතෙන්න ඇති. මොකද ඉතිං සම්මානයක් හම්බෙනවා කියන්නෙ කාටත් සතුටු හිතෙන දෙයක්නෙ. ඒක මටත් එහෙමයි කියවන ඔයාලටත් එහෙමයි. ඉතිං ඒ කික් එකටම තව දවස් දෙක තුනකින් දිලිනි ලියනවා යායට පායනා කියල ලස්සන කවි සෙට් එකක්. (දැන් මම හිතපු විදිහ අවසානයි)

ඕකට ඉතිං වෙනද වගේම කට්ටිය කමෙන්ට් කරනවා. මාත් ඉතිං කමෙන්ට් එකක් දාල ආව වෙනද වගේම. ඔන්න පහුවදා මගෙ ජීමේල් එකට ලොග්වුනාම ඊමේල් එකක් තියෙනව දිලිනිගෙන් "මොකද කියන්නේ කියල". මාත් ඉතිං මොකද්ද දන්නෑ අහල තියෙන්නෙ කියල බලන්න ඕපන් කළා මේල් එක. ඒකෙ තියෙන්නෙ එයාගේ බ්ලොගේ කමෙන්ට්ස් ටිකක ප්‍රින්ට් ස්ක්‍රීන් එකක්. බැලින්නම් මෙන්න මම දාල ආව කමෙන්ට් එකේ අපේ අජිත් ධර්මා අයියා කමෙන්ට් එකක් දාලා.

"දිලා සහ මනා , මෙහෙම යෝජනාවක් තිබෙනව. අපි කැමතියි මේ කවි පන්තිය සින්දුවක් ලෙස මනා ලව්වා ගායනා කරන්න. මේක තමා නෙළුම් යායේ තෙමා ගීතය. මොකද කියන්නේ?"

ඊට යටින් දිලිනිත් ඒට කැමතියි කියල දාල තිබ්බා.  

ඉතිං මේක දැක්ක ගමන් මම ආයෙ දෙපාරක් හිතුවෙ නෑ කෙලින්ම ගියා අදාළ පෝස්ට් එකට. දැම්ම  මම වැඩේට කැමතියි කියල. ඉතිං ඊට පස්සෙ අපි තුන්දෙනා මේ සීන් එක ගැන තව දුරටත් ඊමේල් කීපයක් මගින් කතා කරගත්තා. මම එතැනදී දවසක් දෙකක් ඇතුලත සාම්පල් එකක් එවන්නත් පොරොන්දු වුණා. ඉතිං එහෙම කිව්වට මම මේකට මෙලඩි එකක් දාන්නත් ඕනනෙ. ඒකත් එදා රෑම ඉවර කරල කියන්න ඕන මෙලඩි එක ශේප් එකේ හදා ගත්තා. මම පහුවදාම මගෙ ෆෝන් කට්ටෙන් පොඩි රෙකොඩින් පාරක් දාල අදාළ බලධාරීන්ට යැව්වා. මෙන්න දවස් දෙකකට විතර පස්සෙ මට මේල් ඇවිත් තිබ්බා එයාල මොනවද ඒක ගැන හිතන්නෙ අනං මනං කියල. ඔන්න ඊට පස්සෙ මරු සීන් එක. මම ඒක හදල සතියකට දෙකකට  විතර පස්සෙ ඒ කියන්නෙ පෙබරවාරි මැද වගේ ඉඳං ආගිය අතක්  නෑ. සැරින් සැරේ ඉක්මනට ඇවිත් ගියාට කමෙන්ට් එකක් දාන්නවත් වුනේ නෑ. හැබැයි ඒ අතරේ මට මොකද වුනේ, ඇයි එනනෙ නැත්තෙ, බ්ලොග නවත්තලද අනං මනං අහල කීප දෙනෙක්ම ඊයවල් විදල තිබ්බ. ඔය අතර තුර මට අජිත් අයියත් ඊයක් දෙකක් එවල තිබ්බා. මුලින්ම වැඩේ සෙට් වෙලා තිබ්බේ වෙන දවසකටනෙ. මෙන්න එක ඊයක තියෙනවා වැඩේ කල් ගියා 26 වෙනිදට කියල. දැන් මාර සීන් එක. මට දැන් ෂුවර් එකක් නෑ එදාට එන්න පුළුවන් වෙයිද කියල. මට මොකක් හරි තව වැඩක් සෙට් වෙන්න වගේ සීන් එකක් තමා ඒ වෙද්දී තිබ්බෙ. මම ඕක කියල අජිත් අයියට ඊයක් විද්දා. මට එදාට එන එක සුවර් නැත කියල :D. මෙන්න දැන් අජිත් අයියා එවනව "මල්ලි එදාට ඔයා එන්නම ඔනෙ. එන්නෙ නැතුව ඉන්න එපා කියල". දැන් ඔය සිද්දියෙන් පස්සෙ මට බ්ලොග පැත්තෙ එන්නම වුනේ නෑ මර්තු 20 පහු වෙනකං. ඔන්න මාර්තු 24 වගේ මම ආව ආයෙත් බ්ලොග් පැත්තෙ. ඇවිත් බැලුවම තියෙනවා අජිත් අයිය ලංකාවට ඇවිත් කියල ෆෝන් නොම්මරයක් එහෙම දාල ඕන වුනොත් අමතන්න කියල. මම ඊට පහුවදා යැව්ව හරි අයියා හෙට (26) එහෙනම් සෙට් වෙමු කියල. මම හිතන්නෙ ඒ මේල් එක දැක්කම වෙන්න ඇති අජිත් අයියගෙ ඔළුවේ තිබ්බ තව බරක් නිදහස් වෙන්න ඇත්තෙ. මොකද දන්නවද මම 26 ගිහිං අපේ කමියල එක්ක කතා කරද්දී තමා දැන ගත්තෙ අජිත් අයියා මම එන එකක් නෑ කියල හිතිල ෆෝන් නොම්මරයක් හොයල තියෙන විත්තියක් මට කතා කරන්න :D. ඉතිං කොහොමින් කොහොම හරි තේමා ගීතෙත් ගායනා කළා. ඒක ලියපු දිලිනිව දැක්කෙත් හරියටම ස්ටේජ් එක උඩදි. සිංදුව ඉවර වෙනකං දිලිනිත් ස්ටේජ් එකේ හිටිය. ඒ හිටිය එක ගොඩක් හොඳයි මොකකටවත් නෙමේ එවෙලෙ මම ටිකක් බයේ හිටියෙ සිංදුව හරියට කියා ගන්න බැරි වෙයි වත්දෝ කියල :D. 

මේ තියෙන්නෙ ගීතය ගායනා කරන අවස්ථාවෙ ෆොටෝ එකක්.

දිලා සහ මනා



ලස්සනට සින්දුව කිව්වද කියල මම තාමත් හරියටම දන්නෙ නැහැ හැබැයි. සිංදුව ඉවර වුනහම ලැබුණ අත්පුඩි සද්දෙන් මට හිතෙනව මම අවුලක් නැතිව වැඩේ ගොඩ දාල කියල :D. ඔන්න ඔහොමයි ඉතිං දිලිනිගෙ යායට පායනා කවි පද ටික නෙළුම් යාය තේමා ගීතය වුනේ. එදා සම්මාන උළෙලේදී කිව්ව එකේ වීඩියෝ එක හෝ ඕඩියෝ එකක් මට හොයා ගන්න බැරිවුන නිසා මම ආයෙත් මගෙ ෆෝන් කට්ටෙන් රෙකෝඩ් කරල එඩිට් පාරක් දාල ඔයාල හැමෝටම අහන්න පුළුවන් වෙන්න යූටියුබ් එකට අප්ලෝඩ් කළා. මේ තියේන්නෙ ඒ ගීතය. අහල බලන්නකො හොඳද කියල.



එහෙනම් මම ගියා. සියළු දෙනාටම ජය වේවා!!!

Saturday, March 14, 2015

බලාපොරොත්තු පොදි බැඳගෙන බලාගෙන ඉන්නවා

balaaporoththuwa

ක්‍රිකට් ලෝක කුසලානෙත් ගැට්ටටම ඇවිත් තියෙන වෙලාවේ මට හිතුන පාළුවට ගිහින් තිබ්බ මගේ බ්ලොග් එකේ මොකක් හරි දාන්න ඕනෙ කියල.  මම හිතල බැලුව මෙහෙම කාලෙකින් බ්ලොගක් දාද්දි මගෙ ආදරණිය රසික රසිකාවියන්ට දෙන්න පුළුවන් හොඳම දේ මොකද්ද කියල. ඕක ගැන හිතල හිතල අන්තිමේට මතක් උනා " අඩේ අප්පා මොකක්වත් නෑ නොවැ ලියන්න කියල".  ඔන්න ඔය සිතුවිල්ල ගැන මම ලත වේවි ඉන්දෙද්දී මට සෙට් උනා පට්ට මූවි ට්‍රේලර් එකක්. හෑ මොකා කිව්ව ට්‍රේලරයක්. නෑ නෑ එහෙම එකක් නෙවේ ආයුබෝවන්ඩ. මම කිවේ චිත්‍රපට පූර්ව දර්ශණ පටයක් ගැන. 

ඉතින් චිත්‍රපටියක් ගැන කීවාම කවුද කැමති නැත්තෙ මන් අහන්නෙ. ඒවගෙත් තියෙනවනේ එක එක වර්ග. බය හිතෙන එව්වා, ත්‍රාසජනක එව්වා, රොමැන්ටික් එව්වා, ඊළඟට කොමඩි, සයිෆයි (මොකක් සයිෆයි ???? ඒ කිව්වෙ සයන්ටිෆික් ෆික්ෂන් එහෙම නැති නම් විද්‍යා ප්‍රබන්ධ), ඊළඟට ඉතිහාස කතා ඔය වගේ තව තව ජාති තියෙනවනෙ. අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඇයි අර නිල් චිත්තරපටි :P.

කොහොම හරි ඔය ඔක්කොගෙන්ම මම කැමති ඉතිහාසය කියන කැටගරි එකට. ඒකෙදි ඇත්තම ඉතිහාස කතා වගේම ඉතිහාස කතාවට තව අතින් පයින් දාල හදපු ඒවත් තියෙනවනෙ ආයුබෝවන්ඩ. ඒවගෙනුත් ඓතිහාසික යුධ කතා වලට මම පට්ටම කැමතියි. ඔය Brave Heart, King Arthur, Troy, 300, Gladiator, Kingdom of Heaven, Robin hood, The Last Samurai වගේ ෆිල්ම් ඒවගෙන් කිහිපයක් විතරයි. ඉතින් අර මාර්ටින් ලූතර් කිං මහත්තය කිව ප්‍රසිද්ධ කතාවේ වගේ වාක්‍යයක් මටත් තිබ්බා. ඒ මහත්තය කිවේ I have a dream. මටත් මුලින්ම ඔය උඩින් කියල තිබුන ෆිලුම් බලද්දී තිබ්බේ ඔය කතාවම තමා :D. යකෝ අපේ රටේ කවද්ද අප්පා මේ වගේ ෆිල්ම් එකක් හදන්නෙ කියලා. ඉතින් ඔහොම ඉද්දි ඔය හීනෙ 2008 දි විතර හැබෑ වෙන්න පටන් ගත්ත. කාට කාටත් මතක ඇති නොවැ ජැක්සන් ඇන්තනි මහත්තයගෙ "අබා" චිත්‍රපටිය. එකෙ තරමක් දුරට සාර්ථකව කතාව වගේම තාක්ෂනය හොඳ මට්ටමින් කරල තිබුන. ඉතිං ඔන්න ඔතනින් අපේ රටේ චිත්‍රපට ක්ෂේත්‍රයේ එක හැරවුම් ලක්ෂයක් උදාවුණා කිවොත් මම හරි. එතන ඉඳන් ඉතිහාස කතා රැගත් චිත්‍රපට රැල්ලක් අපේ රටේ ඇති වුනා. මම ඒවගේ නම් කියන්න යන්නෙ නෑ ඔං. ඉතින් එහෙම බිහිවෙච්ච චිත්‍රපට අතරින් සමහර ඒවා ඉතා දියුණු මට්ටමේ තිබුන. 

ඔය ඔක්කොටම කලින් ඒ කාලෙදිම අපේ රටේ ප්‍රවීනතම සිනමා අධ්‍යක්ෂ වරයෙක් වන ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා එතුමා කරන්න හිතන් ඉන්න චිත්‍රපටියක තිර පිටපත (මට මතක විදිහට) ඉරිදා දිවයින පුවත්පතේ කොටස් වශයෙන් පළ කරන්න පටන් ගත්තා "මහරජ ගැමුණු" කියල. ඒ තිර පිටපත කියවන්න  පටන් ගත්ත කාලේ ඉඳන් මම ඇඟිලි ගැන ගැන හිටියේ ඊළඟ කොටස පළ වෙනකන්. ඒ තරමට ඒ කතාව රසවත්ව එතුමා ලියල තිබුනා. ඒ ලිපි කියවන හැමවෙලේම අපේ හිත් වල එම චිත්‍රපටිය මැවිලා පෙන්න පටන් ගත්තා මට තාමත් මතකයි. ඒ කාලේ එම චිත්‍රපටය කරගන්න බැරි උනේ මුදල් ප්‍රශ්නයක් හින්ද කියල තමා එතුමා පත්තරේ දාල තිබ්බේ ඒ කාලේදි. ඉතිං කොහොමින් කොහොම හරි මම හිතුවෙ ඔය ෆිල්ම් එක කවද හරි King Arthur වගේ ෆිල්ම් එකක් වේවි කියල. දැන් ඒ චිත්‍රපටය නිර්මාණය කරල හෝල් වල තිරගත වෙන බව කවුරුත් දන්නව ඇතිනෙ. මම නම් බැලුව. හොඳ කතාවක්, සංගීතයක් වගේම හොඳ කැමරාකරණයකින් ඒ ෆිල්ම් එක සමන්විත උනත් අර මම කලින් කිව එම චිත්‍රපට තිරපිටපතේ තිබ්බ යුද්ධමය දර්ශන එතරම් නොපෙන්නුවේ ඇයි කියන එක මට එවෙලෙ හිතුනත් එවැනි දර්ශණ රූගත කිරීමට අවශ්‍ය කරන තාක්ෂනය සහ වියදම අධික නිසා එම සිද්ධි ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් නොකර ඉන්නට අධ්‍යක්ෂතුමා තීරණය කළා වන්නට පුළුවන්. කොහොම හරි ඒ චිත්‍රපටය ඉතාමත්ම උසස් නිර්මාණයක් කියන එක මේ අවස්ථාවේදී කියන්නම ඕනේ.

ඉතින් ඔන්න ඔය යුධ දර්ශණ නැති එක ගැන කනස්සල්ලෙන් ඉද්දි මීට දවස් තුන හතරකට කලින් මේ ලිපිය පටන් ගද්දිම කීව සුපිරි චිත්‍රපට පූර්ව දර්ශණ පටය මට අහම්බෙන් බලන්න සෙට් උනා. මෙන්න බොලේ ඒකෙ අර හොලිවුඩ් ටයිප් එකේ සීන්ස් ගොඩක් තියෙනවා. මටනම් ඇත්තටම ඒක හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ පෙනුනෙ. තාක්ෂනය ඉතාමත්ම සුපිරියට යොදාගෙන තියෙන පාටක් තමා මටනම් පෙනුනේ. මේ චිත්‍ර පටියේ නම "ආලෝකෝ උදපාදී". වළගම්බා රජතුමා ගැන තමා මේ චිත්‍රපටය මගින් පෙනවන්නෙ. ඒ එක්කම ත්‍රිපිටකය ග්‍රන්තාරූඩ කරන එක ගැනත් කියවෙනවා. ඉක්මනටම තිරගත කරනතෙක් නොඉවසිලිමත්ව තමා ඉන්නෙ ඔං :D.කොහොම හරි මේ ෆිල්ම් එකත් ලංකා සිනමාවේ හැරවුම් ලක්ෂයක් වෙයි කියල මට හිතෙනව. පහලින් තියෙන්නෙ ඒ චිත්‍රපට පූර්ව දර්ශණ පටය. බලන්නකො කොහොමද කියල. 




ඉතිං ඔන්න මනා ආයෙත් බ්ලොග් එකට ඇවිත් යන්න පටන් ගත්තා :D. ඒ වගේම මට මාසෙකින් විතර කාගේවත් බ්ලොගක් පැත්තෙ ගිහින් කොමෙන්ටුවක් දාන්නත් බැරි උනා ඒකට සමාව ඉල්ලනවා මේ වෙලේ බ්ලොග් ලියන සියළුදෙනාගෙන්ම.

මේ මාසේ 26 වෙනිදා නෙළුම් යාය සහෘදය මගින් පවත්වන සම්මාන උළෙලට තේමා ගීතය ගායනය කරන්න වස්තාවකුත් හම්බවුනා. ඒ වැඩේට පුළුවන් හැම කෙනෙක්ම සහභාගී වෙන්න කියල අරාධනා කරනවා. එහෙනම් සියළු දෙනාටම ජය වේවා!!!

Sunday, February 8, 2015

කපුගේ ශුරීන්ගේ අමරණිය ගීතයක් සමගින් ගිටාර් අභ්‍යාසය 1

Gunadasa Kapuge

සුභ දවසක් සියළු දෙනාටම. ඔන්න ගොඩ දවසකින් වෙනද වගේම අපේ සුපුරුදු ගිටාර් පාඩම් මාලාවට අදාළ ලිපියක් ලියන්න කල්පනා කළා. අපි මෙතෙක් කල් කතා කලේ කොහොමද ගිටාරයෙන් මේජර් සහ මයිනර් කෝඩ්ස් අල්ලන්නෙ කියල. එකම කෝඩ් එකක් ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකට අල්ලන අකාරය ඒ යටතේ මම ඔයාලට කියල දුන්නා. ඉතින් ඒ ක්‍රම දැන ගත්තට විතරක් මදි නොවැ ඒවා කොහොමද සිංදුවකට හරි වෙනත් නිර්මාණයකට හරි යොදා ගන්නෙ කියල දැන ගන්න ඕනනෙ. ඉතින් අද ඉඳන් කතා කරන්නෙ කොහොමද ඒ කෝඩ්ස් අල්ලන ආකාරයන් ප්‍රයෝගිකව යොදා ගන්නෙ කියල.

මෙතැනදී මට තව දෙයක් කියන්න ඕන කමක් තියෙනව. මම මේ අභ්‍යාස හැම එකක්ම බොක්ස් ගිටාරය භාවිතයෙන් පමණයි කරන්නෙ. සාමාන්‍යයෙන් අපි බොක්ස් ගිටාර් එකක් ආශ්‍රය කරගෙන නිර්මාණයක් කරද්දී භාවිතා කරන්නෙ ඕපන් කෝඩ්ස්. මම ඕපන් කෝඩ්ස් ගැන මුලින්ම ඔයාලට කියල දුන්න මතක ඇති. ඉතින් මම ඉදිරියේදී කරන සෑම අභයාසයකටම ඕපන් කෝඩ්ස් භාවිතා කරන්න තමයි තීරණය කලේ. ඒ අතර සමහර වෙලාවට ඊට අමතර ක්‍රමයන්ට අදාළ කෝඩ්ස් වාදනය කරන්නත් සිදුවේවි. නමුත් ඉලෙක්ට්‍රික් ගිටාර් වාදනය කරද්දී ඕපන් කෝඩ්ස් වලට වඩා අනිත් ක්‍රම දෙකට අදාල කෝඩ්ස් තමා භාවිතා කරන්නෙ. විශේෂයෙන්ම  කණ්ඩායම් සංගීතයේදී. ඒ වගේම ලීඩ් ගිටාර් වාදනයටත් කෝඩ් එක සහ ස්කෙල් එක ගන්න අනිත් ක්‍රම දෙක භාවිතා කරනව.අපි ලීඩ් ගිටාර් වාදනය ගැන ඉදිරියේදී ලිපි පෙලකින් කතා කරමු.

අද මම කල්පනා කලේ ගිටාර් අභ්‍යාසය විදිහට ජනප්‍රිය ගීතයක් ඔයාලට කියල දෙන්න. මේ ගීතය ගුණදාස කපුගේ ශුරීන් ගායනා කරන ලද දුක හාදු දෙන රැයේ ගීතයයි. මුල්ම ගීතය ලෙස එය තෝරාගන්න හේතුව උනේ එහි කෝඩ්ස් භාවිතයේදී තිබෙන සරල බව සහ නිදහස් බවයි. මෙම ගීතය නිර්මාණය වී තිබෙන්නේ Em (E මයිනර්) කෝඩ් එක මුල් කරගෙනයි. ඒ වගේම මෙම ගීතය 3/4 තාලයට අනුව නිර්මාණය වුවකි. මෙහිදී ගීතයේ ඉන්ට්‍රඩක්ෂන් එහෙම නැති නම් මුල් සංගීත ඛණ්ඩයේදී එක් විශේෂ කෝඩ් එකක් භාවිතා කරනු ලබනවා. එය Esus (E සස්) කෝඩ් එකයි. අපි ඒ කෝඩ් එකත්  ඉගෙන ගෙන යමු.

                                                                           Esus

Esus_ sus code_guitar code

ඊට අමතරව එම ගීතයේ verse එක එහෙම නැති නම් අන්තරා කොටස් වලදී D7 කෝඩ් එකකුත් යෙදෙනව.

                                                                 D7

D7_code_guitar code


තව දෙයක් කියන්න ඕනෙ. මම මේ ගීතයේ කෝඩ්ස් ටික උපුටා ගන්නෙ අපේ සහෝදර බ්ලොග් ලියන්නෙක් වන රොෂාන් විජේසේකරගෙ Sinhala Song Chords කියන බ්ලොග් අඩවියෙන්. පෞද්ගලිකව මම හිතන විදිහට  ඔහු එම අඩවිය තුලින් කරන සේවය මෙතෙක් නිසි ඇගයීමකට ලක් වෙලා නැහැ. ඉතින් මම හිතුව මම අභ්‍යාස විදිහට යොදාගන්නා ගීත වල කෝඩ්ස් ඔහුගෙ අඩවියෙන් උපුටා ගත්තොත් ඒක ඔහුට කරන ඇගයීමක් සහ දිරි ගැන්වීමක් කියල. මොකද ඔය සිංදුවකට කෝඩ්ස් යොදනවා කියන එක එතරම් පහසු කටයුත්තක් නොවෙයි. ඒකට ගීතයක් කිහිප සැරයක් අහල නිවැරදි හැඟීම මතුවෙන විදිහට කෝඩ්ස් යොදන්න ඕනෙ. මම එහෙම කියන්නෙ ලංකාවේ ප්‍රසිද්ධම සිංහල සිංදු කෝඩ් වෙබ් අඩවියකට ගීත කිහිපයක කෝඩ්ස් නිර්මාණය කරල දීල මටත් අත්දැකීම් තියෙන නිසයි (ඒක ලොකු කමකට කිව්ව නෙමෙයි ඈ :D ). පහතින් තියෙන්නෙ අද කතා කරන ගීතයේ කෝඩ්ස් ටික. මම තවත් පහසු වෙන්න ගී පද වලට උඩින් කෝඩ්ස් ටික ලිව්වා අභ්‍යාස පහසු කිරීමට.

Duka_hadu_dena_raye_gunadasa_kapuge

හරි අපි දැන් අභ්‍යාසය පටන් ගමු. මුලින්ම බලමු කොහොමද දුක හාදු දෙන රැයේ ගීතයේ Introduction එහෙම නැති නම් ගීතය හැඳින්වීමේ මුල් සංගීත ඛණ්ඩයට බොක්ස් ගිටාර් එක ආශ්‍රයෙන් කෝඩ්ස් වාදනය කරන්නෙ කියල.පහත තියෙන වීඩියෝ එක බලන්න. මම ඉතාමත්ම හෙමින් එම කොටස් වාදනය කරන්නෙ ඔයාලට ඉගෙන ගැනීමේ පහසුවට.


දැන් අපි බලමු ගීතයේ Chorus එහෙම නැති නම් ස්ථායි කොටස (ඔය කියන්නෙ මුල් පද ටිකට) කොහොමද වාදනය කරන්නෙ කියල.


දැන් බලමු  මේ ගීතයේ Verse එහෙම නැති නම් අන්තරා කොටස් කොහොමද වාදනය කරන්නෙ කියල. මේ ගීතයේ අන්තරා කොටස් දෙකක් තියෙනව. ඒ කොටස් දෙකම එකම තාලයකට තමා ගායනා කරන්නෙ (බොහොමයක් සිංහල ගීත වල වගේ). ඉතින් මම මෙහිදී වාදනය කරන්නෙ එක Verse  එකක් පමණයි.


පහළින් තියෙන්නෙ මේ කොටස් සියල්ලම එකතු වුනහම ගීතය වාදනය කෙරෙන ආකාරයයි.  එකත් අහල බලන්නකො. පුළුවන් නම් YouTube එකේ ලයික් එකකුත් දාලම යන්න :D. මෙම ගීතය ගායන කිරීමේදී මා අතින් සිදුවී ඇති අඩුපාඩු වලට සමාව අයදිනවා. 


හරි එහෙනම් අභ්‍යාසය අදට ඉවරයි. තවත් අභ්‍යාසයකින් ඉක්මනින් හමුවෙමු. සියළු දෙනාටම ජය වේවා!!!

ප.ලි:-
-> පසු කලෙක කපුගේ ශූරින් සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම සමග කරන ලද කැසට් පටයේදී මෙම ගීතය 6/8 තාලයට වාදනය කරන ලදී.
-> මෙම අභ්‍යාස වල අඩුපාඩු ඇත්නම් සමා වෙන්න ඕන.
-> කෝඩ්ස් උපුටා ගත්තේ  http://sinhalachordsfactory.blogspot.com/2014/12/duka-haadu-dena-gunadasa-kapuge.html

-> ඉහත තිබෙන කපුගේ මහතාගේ ෆොටෝ එක ගත්තෙ මෙතනින්.



Tuesday, January 20, 2015

සපත්තු දෙක

sapaththu_deka_managepintharuwa

" යාළුවා!!!
 උඹ මේකෙන් යන දවසට මට උඹේ සපත්තු දෙක දීල පලයන්. මගෙ සපත්තු දෙක හොඳටම කැඩිල " 

මේ වචන ටික ඇහුනු ගමන් මගේ ඇඟේ ලේ රත් වෙන්නට වුණා. මට හිතට ආව තරහ පිට කරගන්නට ක්‍රමයක් නොමැතිව ඒවා මගෙ ඇස් වලින් පිට වුන බව තේරුම් ගියේ ඔහු මාදෙස බලමින් ඇසූ පැනය නිසාවෙනි.

" මොකෝ යාළුවා ඇස් රතු වෙලා. බොලාගෙන් සපත්තු දෙක ඉල්ලුව නිසා තරහ ආවද "

මීට අවුරුදු දෙහෙකට පෙර සිදුවූ එම සිදු වීම මතකයට එන විට මොහු දකින වාරයක් පාසා මාගේ කේන්තිය වැඩි වනවා මිසක් කිසිම විදිහකින් නිවීමක් සිදු නොවිණි. 

======================================================================

හරියටම මීට අවුරුදු දෙකකුත් මාස තුනකට පෙර එක් සවස් යාමයක මා මහන්සියෙන් කුලී වැඩ කරමින් හම්බකරගත් මුදල්ද රැගෙන මාගේ අඹු දරුවන් බැලීම සඳහා නිවෙස් කරා යෑමට අගනුවර ප්‍රධාන බස් නැවතුම් පොළට එමින් සිටියෙමි. හදිස්සියේම පැමිණි පුද්ගලයෙකු මාගේ ඇඟේ හැපී මා හා බහින් බස් වීමට පටන් ගත් අතර ටික වෙලාවකින් ගුටිබැට හුවමාරුවක් දක්වා එය වර්ධනය විය. දවස පුරා හෙම්බත්ව සිටි මා හට ඔහුගේ ගුටි බැට හමුවේ අසරණ වීමට වැඩි වෙලාවක් ගත නොවීය. මා ඔහුගේ ප්‍රහාරය හමුවේ බිම ඇද වැටුණු අතර ඒ සමගම ඔහු මාගේ මුදල් පසුම්බියත් රැගෙන පලා යන්නට විය. මා කොතෙකුත් ගුටි කෑ නමුදු එම පුද්ගලයාගේ මුණත් තහඩුව හොඳින් මතකයේ රඳවා ගන්නට සමත් විය. මා හට අහිමි වූයේ දරුවන් පෝෂණය කිරීමට ඇති මුදල් පමණක් නොවේ. සින්න වීමට යන ඉඩම් කෑල්ල සඳහා ගෙවීමට ඇති වාරික මුදලද ඒ සමගම නැති විය. ඉඩම සින්න වුවහොත් මාගේ අඹුදරුවන්ට යන කල කුමක්ද? 

ඉන් අනතුරුව මාගේ ජිවිතයට උදාවුයේ ඉතා අඳුරු යුගයකි. නැතිවුණු මුදල් වෙනුවට නැවතත් ඉතා ඉක්මනින් මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් කුලී වැඩ වලට අමතරව හොරකම් කිරීමට පවා සිදු වූයේ වෙන කවුරුත් නිසා නොව එදා මා හට පහරදුන් පුද්ගලයා නිසාවෙනි. මාගේ සිත ඔහු පිළිබඳව ඉතා තදබල ලෙස වෛරයෙන් පිරී පැවතුනි. නමුත් මාගේ අඹුදරුවන් සහ ඉඩම බේරා ගැනීම සඳහා එම දේවල් කිරීමට සිදු වීම විටෙක මාගේ සිත සන්සුන් වීමටද හේතු විය. එක් දිනක් හොරකම් කිරීමේ තැතක් වැරදි මා පොලීසියට කොටු වන්නේ ඉතා අවාසනාවන්ත ලෙසය. උසාවියේදී වැරදිකරු වන මා ඉන් අනතුරුව වසර දෙකක හිරදඬුවම් විඳීම සඳහා බන්ධනාගාර ගත කරනු ලැබිය. 

සිරගත ජීවිතය පිළිබඳව විවිධ කතා අසා ඇති නමුදු මා හිරගෙයක් වෙත යන්නේ ජිවිතයේ පළමු වතාවටය. එදා අමාරුවෙන් හෝ ජීවිතය ගැට ගසාගෙන නිදහස් ජිවිතයක් ගත කල මා හට අද ජම්පරයක් ඇඟලාගෙන හිරකරුවෙකු ලෙසින් ජිවිතය ගත කිරීමට සිදු වීම කෙතරම් ශෝකජනකද, අවාසනාවන්තද යන්න සිතුනු වාර ගණන අනන්තය. එය කෙතරම් දුෂ්කරද යන්න මාහට වැටහෙන්නට එතරම් කාලයක් ගත නොවීය. මා රඳවා තබා තිබුණු සිර කුටියේ තවත් පුද්ගලයෙකු රඳවා සිටි අතර ටික කලකින් ඔහු සමග මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට මා සමත් විය. ඔහුද මා මෙන්ම කිසියම් සොරකමක් නිසා සිරගත වුනු බව පැවසුවේ ඉතාමත්ම වේදනාවෙනි. ඉතා අඩුවෙන් කතා කල ඔහු නිතරම කල්පනා ලෝකයක සිටින බව මා හට අවබෝධ විය. නමුත් ඉඳහිට හෝ ඔහුගේ හඬ අවදි කරමින් මා හට පැවසුවේ ඉවසීමෙන් කල්පනාවෙන් මේ සිරගත ජීවිතය ගත කරනා ලෙසයි. එය වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කර පෙන්වීමට ඔහු සමත් විය. 

මා බන්ධනාගාර ගත වී මාස එකොළහක් ඇවෑමෙන් ඔහුට නිදහස හිමි වූයේ ඔහුගේ විනීත හැසිරීම නිසා බව මාහට දැන ගන්නට ලැබුණි. ඔහුගේ දඬුවම සම්පුර්ණ වීමට තවත් මාස තුනක් තිබියදී එසේ නිදහස හිමි වීම ඔහුගේ සිතට කෙතරම් සතුටක් ඇති වන්නට ඇත්දැයි මා හට සිතා ගැනීමට හැකි විය. ඔහු අවසන් වරට මා හට පැවසුවේ වෙනදා මෙන්ම ඉවසීමෙන් කල්පනාවෙන් මේ සිර මැදිරිය තුළ ගත කරනා ලෙසයි. ඔහු දැන් මගෙන් සමුගෙන ගොසින් අවසන්ය.

එම සිදු වීමෙන් දවස් දෙකකට පසුව මාගේ සිර කුටිය වෙත අළුත් සිරකරුවෙකු රැගෙන එන ලදී. සිර කුටියේ කොනකට වන්නට සිටි මාහට එය තුල ඇති මද අඳුර නිසා ඔහුගේ මුහුණ හරි හැටි බලා ගැනීමට නොහැකි විය. කුටියට ඇතුළු කල මොහොතේ සිට ටික වෙලාවක් යනතුරු ඉතා අසරණ ලෙසින් සිරකුටියේ කූරු දෙකක් තම දෑතින් තදින් අල්ලාගෙන බිම බලාගෙන සිටි  ඔහු සෙමින් මාදෙස බලන්නට විය. තරමක් හුරුපුරුදු මුහුණක් බව ඔහු දෙස බැලූවිට මට සිතුනු අතර ක්ෂණයකින් මාගේ සිත පැවසුවේ, 

"දෙයියනේ මේ අර එදා මට ගහල සල්ලි හොරකම් කරපු කාලකන්නියා නේද?" යන්නයි.

නමුත් මා ඔහුට කිසිම වෙනසක් නොපෙන්වූයේ පෙර දවසකදී මාගෙන් වෙන්ව ගිය සගයා පැවසූ ඔවදන සිහි වීමෙනි. මා මොහු දෙස එක එල්ලේ බලා සිටි අතර, ඔහු හට  මා හඳුනා ගැනීමට හැකිවුනිද යන සැකය මාගේ සිත තුළ පැවතුනි. නමුත් සිරගත වීම නිසා ඇතිවුණු කම්පනයෙන් ඉතා අසරණ ලෙස ඔහු මා සමග කතා කිරීමට මුල පිරීමෙන් එම සැකය මාගේ සිත තුළින් කෙමෙන් බැහැරව ගියේය. ඔහු පික්පොකට් ගැසීමට ගොස් පොලීසියට හසුවී මෙසේ බන්ධනාගාර ගතවූ බව පැවසූ නමුත් මා සිරබත් කෑමට හේතුව ඔහුට නොකීවේ ඉන් පසු මාගේ සිතේ ඇති වෙන කෝපයෙන් ඔහුට කුමක් කරාවිදැයි සිතුනු නිසාවෙනි. ඉන් අනතුරුව මා ඉතා නිහඬ චරිතයක් ලෙස හැසිරුණු නමුදු ඒ සෑම අවස්තාවකදීම මාගේ හිත ඔහු කෙරෙහි වෛරයෙන් පිරි පැවතුනි. 

උදෑසන අවදි වූ වෙලේ සිට නින්දට යන තුරු මා දකින්නේ ඔහුගේ මුහුණ පමණක් වීම විටෙක මා හට මහත් වදයක් විය. එවන් අවස්ථාවක සිරකුටියෙහි ඇති යකඩ කූරු ඉතා තදින් අල්ලාගෙන තරහව පිට කිරීමට මා පුරුදු වී සිටියේ නිරායාසයෙනි. නමුත් කෙළවරක් නොමැති ඔහුගේ කතාව, එසේ නොමැතිනම් ඔහු කළ වැරදි වල පාපොච්චාරණය නිසා මා හට ඔහු කෙරේ ඇති වෛරය එන්න එන්නම වැඩි විය. සිර කුටියෙන් එළියට ගිය සෑම අවස්ථාවකදීම මා කෙසේ හෝ ඔහුගෙන් ඈත් වී සිටීමට කටයුතු කලේ එම කෙටි කාලයේදී හෝ සිත තුල ඇති කෝපය නිවා දමා ගැනීමට උත්සාහ කල නිසාවෙනි. මෙසේ කාලය ගෙවී යමින් මාගේ සිර දඬුවම් කාලසීමාවේ අවසන් භාගයටද පැමිණ තිබුණි. මා මෙයින් නිදහස් වී යාමට ඇත්තේ තවත් සති කිහිපයක් පමණි. මේ බව මාගේ පරම සතුරෙකු ලෙස මා විසින්ම හඳුන්වාගත් මාගේ කුටියේ සිටි පුද්ගලයාද දැන සිටි අතර එක් උදෑසනක මා හට මෙසේ ප්‍රකාශයක් කරන ලදී.

"යාළුවා!!! 
උඹ මේකෙන් යන දවසට මට උඹේ සපත්තු දෙක දීල පලයන්. මගෙ සපත්තු දෙක හොඳටම කැඩිල" 

මේ වචන ටික ඇහුනු ගමන් මගේ ඇඟේ ලේ රත් වෙන්නට වුණා. මට හිතට ආව තරහ පිට කරගන්නට ක්‍රමයක් නොමැතිව ඒවා මගෙ ඇස් වලින් පිට වුන බව තේරුම් ගියේ ඔහු මාදෙස බලමින් ඇසූ පැනය ඇසුණු විටය.

" මොකෝ යාළුවා ඇස් රතු වෙලා. බොලාගෙන් සපත්තු දෙක ඉල්ලුව නිසා තරහ ආවද " 

එදිනම බන්ධනාගාර නිලධාරීන් පැමිණ අවුරුද්දකට වඩා සිර දඬුවම් විඳින රැඳවියන් එළියට කැඳවනු ලැබූයේ බන්ධනාගාරයේ අළුතින් ක්‍රියාත්මක කෙරෙන භාවනාමය වැඩ සටහනක් සඳහා සහභාගී කරවීමටය. මෙම වැඩසටහන සඳහා මාද ඇතුළත්වූයේ ඒ වන විටත් මාගේ සිර දඬුවම වසරකට වඩා ගෙවා දමා තිබුණු බැවිනි. එම වැඩසටහන මෙහෙයවීම සඳහා වැඩමවා තිබුණේ බෞද්ධ හිමිනමකි. මා උපතින්ම බෞද්ධයෙකු වීම නිසා ඉතා කැමැත්තෙන් එම වැඩසටහන සඳහා සහභාගී වුනෙමි. මුලින්ම එම වැඩසටහන සඳහා සහභාගීවුනු සියළු දෙනාටම කෙටි ධර්ම දේශනයක් පැවැත්වුණු අතර එහි අන්තර්ගතය වූයේ සිතේ ඇති වෛරය, කෝපය පාලනය කිරීම මගින් ලබා ගත හැකි සැනසීම ගැනයි. කරුණාව මෛත්‍රීය සිත තුල ඇති කර ගැනීමෙන් තමන් හට ලඟා කරගත හැකි මානසික සැනසීම මගින් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරයද එහිදී වැඩි දුරටත් සඳහන් කරනු ලැබිණි. ඉන් අනතුරුව සියළු සත්වයන්හට මෙත් වඩන මෛත්‍රී භාවනාව කිරීම සඳහා අප සියළු දෙනාම යොමු කරනු ලැබිණි. මෙසේ පුරා පැයක් පමණ භාවනාවෙහි යෙදුනු රැඳවියන් සියළු දෙනාම ඉතා සන්සුන්ව සිටින ආකාරයක් දක්නට ලැබුණි.  ඒ ආකාරයට දින පහක් එම වැඩසටහන ක්‍රියාත්මක වුනු අතර එයට සහභාගී වීමට පටන් ගත් දිනයේ සිට  ඉහත කි පුද්ගලයා කෙරෙහි මාගේ සිතේ තිබූ වෛරය කෙමෙන් අඩුවී යන්නාක් මෙන් දැනෙන්නට විය. භාවනා වැඩසටහන නිම විය. 

ඉන් අනතුරුව එක රාත්‍රියක මාගේ අතීතයේ සිදුවුණු සියළු සිදුවීම් ඉතා උනන්දුවෙන් සිරකුටියේ ඇති මාගේ ස්ථානයට වී මෙනෙහි කළෙමි. මා මෙතෙක් කාලයක් ඔහු කෙරෙහි වෛරය සිතේ තබා ගෙන සිටීමෙන් මාගේ ජීවිතය වරද්දාගත් බව තේරුම් ගැනීමට මට වැඩි වෙලාවක් ගත නොවුනි. එදා සිදුවුණු ගුටිබැට සිද්දිය හේතුවෙන් මා වෛරය හිතේ තබාගෙන, ඒ සමගම ආශාවක්ද මුල් කරගෙන මුදල් පසුපස හඹා යාම නිසාවෙන් අද ගෙවන මේ සිර ජීවිතය උරුම වුනු බව මම තේරුම් ගත්තෙමි. තවත් එම සිදුවීම සිතේ තබා ගැනීමවත්, ඔහුට වෛර කිරිමෙන්වත් පලක් නැත. මම එම සිදුවීම අමතක කර දමා මේ සිර ජීවිතය අවසන් වී යන දවසට මාගේ සපත්තු යුවල ඔහු වෙත ලබා දීමට තීරණය කලෙමි. 

                                                                    

                                                                    ~~~නිමි~~~

           

Thursday, January 15, 2015

අපි නොදන්න රෙගේ (Reggae) සංගීතය

reggae_managepintharuwa

සුභ දවසක් සියළු දෙනාටම. හැමදාම වගේ අදත් ඔයාල හමුවට ගේන්නෙ සංගීතය හා සම්බන්ධ ලිපියක් වුනත් මේ කියන්න හදන්නෙ සංගීත පාඩමක් ගැන නම් නෙමේ. මම ගිටාරය සම්බන්ධ පාඩම් මාලාවක් කරගෙන එන නමුත් කිසිම අවස්ථාවක සංගීත ශයිලියක් ගැන කතා කරල නැහැ. ඉතින් මෙම ලිපියේ අරමුණ තමයි සංගීත ශයිලින් ගැන කතා කිරීමට පටන් ගැනීම. රොක්, ජෑස්, බ්ලූස්, රෙගේ වගේ විවිධාකාර වුනු සංගීත ශයිලින් ලෝකයේ තිබෙන බව මුල් ලිපියක මම සඳහන් කරල තියෙනව. ඉතින් මුල්ම සංගීත ශයිලිය විදිහට රෙගේ සංගීත ශයිලිය ගැන කතා කරන්න මම කල්පනා කලේ හේතු කිහිපයක් නිසා. එකක් තමා රෙගේ සංගීත ශයිලිය ඕනෑම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් වීම. ඒ වගේම  රෙගේ සංගීතයට අදාල ටෙම්පො එක ටිකක් ස්ලෝ (slow). ඉතින් ඉතාමත්ම පහසුවෙන් රෙගේ සංගීතයේදී වාදන භාණ්ඩයක් හැසිරවීමට පුළුවන්. අන්තිම හේතුව තමා පෞද්ගලිකව මනා රෙගේ සංගීතයට ගොඩක් ආදරය කරන කෙනෙක් වීම :D. 

රෙගේ සංගීතය කියන්නෙ මහා අතීතයක් තිබෙන ශයිලියක් නෙමෙයි. රෙගේ ශයිලිය ආරම්භ වෙන්නෙ එක්දහස් නවසිය හැටේ දශකයේ අග භාගයේදී. අපි කවුරුත් දන්න ජැමෙයිකාව මුල්කරගෙන තමා මේ සංගීත ශයිලිය බිහිවෙන්නෙ. ඇත්තෙන්ම කිවොත් මේ රෙගේ සංගීතය කියන්නෙ ඒ කාලයේදී ජැමෙයිකානු ජන සංගීත ශයිලියක්  වන මෙන්ටෝ සහ කැලිප්සෝ සංගීතය, ඇමරිකානු ජෑස් සහ බ්ලූස්, ස්කා(ska) (මෙයත් එක්දහස් නවසිය පනහෙ අග භාගයේදී ජැමෙයිකාවේ බිහිවුණු සංගීත ශයිලියකි) සංගීත ශයිලින් ආශ්‍රයෙන් බිහිවුනු අලුත්ම සංගීත ශයිලියකටයි. ඒ කියන්නෙ ඉහත සඳහන් කරපු සියළුම සංගීත ශයිලින් වල මූලික ලක්ෂණ ආශ්‍රයෙන් බිහි කරපු සංගීත ශයිලියක් තමා රෙගේ කියල හඳුන්වන්නෙ. රෙගේ සංගීතයේ තිබෙන විශේෂත්වය වන්නේ ඕෆ්බීට්(off beat)  රිදම් භාවිතා කිරීම. ඔන්න ඔය  ඕෆ්බීට්(off beat)  රිදම් එක තමා රෙගේ සංගීතය  මිනිස්සුන්ගෙ ආකර්ෂණයට නතු වෙන්න හේතුව. 

අද වන විට මුළු ලෝකය පුරාම වගේ රෙගේ සංගීතය භාවිතා කරනව. එම සංගීත ශයිලියට අදාළ මුලික ලක්ෂණ වලට තව තව දේවල් එකතු වෙමින් ලෝකයේ අනිකුත් රටවලත් රෙගේ ශයිලිය භාවිතා කරනව. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ වැඩි හරියක් සංගීත කණ්ඩායම් රෙගේ කියල විවිධ ගීත ගායනය සහ වාදනය කරනව ඔයාල දැකල ඇති. නමුත් අපි ඒ දකින්නෙ ඔරිජිනල් රෙගේ සංගීතයමද? අපි ඒ ගැන පසුවට කතා කරමු. ආදරය, සමාජයීය ගැටළු, අවස්ථාවන් වගේ විවිදාකාර වුනු මාතෘකාවන් උදෙසා රෙගේ සංගීතය හා සම්බන්ධ ගී පද නිර්මාණය වී තිබෙනවා. රෙගේ සංගීතය සරළවුවත් ඉතා සංකීර්ණ සහ සංවේදී දේවල් ගැන ඉතාමත්ම මියුරු ලෙස නිර්මාණයන් බිහි කිරීමට සමත් වෙලා තිබෙනවා.  

රෙගේ සංගීතයේදී බේස් ගිටාරය සහ අකොස්ටික් ඩ්‍රම් සෙට් එකට හිමි වෙන්නෙ ඉතා උසස් ස්ථානයක්. බේස් ගිටාරය රෙගේ සංගීතයේ හදවත කීවත් නිවැරදියි. රෙගේ සංගීතයේදී බේස් ගිටාරයේ හඬ හරිම සැරට සහ බරට යොදාගන්නව. ඊට අමතරව රිදම් සහ ලීඩ් ගිටාර්, පියානෝව හෝ විදුලි ඕගනය තමා මුලිකව යොදා ගන්නා සංගීත භාණ්ඩ වෙන්නෙ. පසු කාලීනව තවත් භාණ්ඩ කිහිපයක් රෙගේ සංගීතයට එක් වීමත් සිද්ද වෙලා තියෙනව. මෙහිදී විශේෂයෙන්ම මට කියල දෙන්න ඕන කාරණය තමා ශ්‍රී ලංකාවේ තිබෙන සංගීත කණ්ඩායම් වලින් 90% ක් පමණ ප්‍රතිශතයක් භාවිතා කරන්නෙ ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එක. අපේ රටේ බොහොමයක් ජනතාව හිතන්නෙ ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එකක් සංගීත කණ්ඩායමක නැත්තම් ඒ සංගීත කණ්ඩායමෙන් වැඩක් නැහැ කියල. නමුත් ඔබ දැකල තියෙනවද ලෝකයේ ඉතාමත්ම ප්‍රසිද්ධ රොක්, රෙගේ ඕනම ශයිලියක බෑන්ඩ් එකක් ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එකක් පාවිච්චි කරනව? :D. ඇත්ත කතාව නම් ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එක ඕනෑම පුද්ගලයෙකුට වාදනය කිරීමට පුළුවන්. හේතුව අපි ඩ්‍රම් ස්ටික් එකකින් කොහොම තඩි බෑවත් නැගෙන්නේ එකම හඬක් නිසා. සැබෑ දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙකු දකින්නට අවශ්‍යනම් අකොස්ටික් ඩ්‍රම් සෙට් එකක් වාදනය කරන අකාරය හොයල බලන්න. ඒ සඳහා හොඳ හැකියාවක් සහ පාලනයක් තියෙන්න ඕන. මොකද අපි ඩ්‍රම් සෙට් එකට තඩි බාන ආකාරය අනුව හඬ වෙනස්ව ඇසෙන නිසා. අපි කතා කරන සියලූම ශයිලින් සඳහා භාවිතා කරන්නෙ අකොස්ටික් ඩ්‍රම් සෙට් පමණක් බව විශ්වාස කරන්න :D. නමුත් ශ්‍රී ලංකාවේදී එය තරමක් වෙනස් බව පමණක් මතක තබා ගන්න.

අපි දැන් රෙගේ සංගීත ශයිලිය ගැන මූලික තොරතුරු දැනගත්තා. මේ රෙගේ සංගීතය ජනප්‍රිය වෙන්නට හේතු වුනේ කුමක්ද? ඒ වෙන කිසිවක් නිසා නොවේ ඔබ අප කවුරුත් දන්නා සහ ආදරය කරන බොබ් මාලේ (Bob Marley) ජනප්‍රිය වීම. අවුරුදු තිස් හයක් (36) පමණක් ජිවත් වුවත් ඔහු තුල තිබු හැකියාව හා චින්තනය රෙගේ සංගීතය හරහා ඉදිරිපත් කිරීම තුළින් ජනතාවගේ ආදරය නොමදව දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබුනා. මම මෙම ලිපිය මගින් බොබ් මාලේ ගැන කතා කිරීමට යන්නෙ නැහැ. නමුත් එක දෙයක් කියන්න ඕන කමක් තියෙනව. රෙගේ, බොබ් මාලේ කියල කිව්ව ගමන් මිනිස්සුන්ට මතක් වන තව දෙයක් තියෙනව. ඒ තමයි "ගංජා".  සාමාන්‍යයෙන් රෙගේ සංගීතය කරන කෙනෙක් දිහා මිනිස්සු බලන්නෙ ඔහු ගංජත් පාවිච්චි කරනව ඇති යන සිතුවිල්ලෙන්. අපේ රටේ ගංජා මිටි ගණන් උරා බීම, කෙනෙකු මත් කරවන්නට සහ ලෙඩ කරවන්නට සමත් උනත්  ජැමෙයිකාවේ රස්ටෆාරියන් කෙනෙකුට ගංජා මිලි ග්‍රෑම් ගණනක් යනු හොඳ ඖෂධයක් බවට සමහරවිට ඔයාල නොදන්නව වෙන්න පුළුවන්.  කොහොම උනත් මගේ මතය නම් රෙගේ සංගීතය කරන්න ගංජා උරන්න ඕනේ නැහැ කියන එකයි.  රස්ටෆාරියන්ල සහ බොබ් මාලේ ගැන මම වෙනම ලිපියකින් ඔයාල වෙත තොරතුරු ඉදිරියේදී ගේන්නම්.

රෙගේ සංගීතයේදී යොදාගන්නා ගිටාරයන්(බේස්, රිදම් සහ ලීඩ්) ඉලෙක්ට්‍රික් වුවත් අපට උවමනානම් බොක්ස් ගිටාරයක් භාවිතයෙන් පවා රෙගේ සංගීතය වාදනය කිරීමට හැකියාව තිබෙන බවත් ඔයාල සිහියේ තබා ගන්න. මොකද මම ගිටාරය හා සම්බන්ධ අභ්‍යාස වලදී මෙම ශයිලින්ට අදාළ ගීතත් බොක්ස් ගිටාර් එකෙන් වාදනය කරන්න බලාපොරොත්තු වෙනව. ඒ වගේම රිදම් ගිටාරයේ ස්ට්‍රමින් පැටර්න්ස් ගත්තොත් හැම වෙලේම ඩවුන් ස්ට්‍රෝක්(Down Stroke) කියන පැටර්න් එක (ඉහළ සිට පහළට පික් එකක් භාවිතයෙන් කෝඩ්ස් වාදනය කිරීම) පමණයි භාවිතා කරන්නෙ. ඒක තමා මූලික රෙගේ සංගීතයේදී යොදා ගන්නෙ. නමුත් එම ශයිලිය ලෝකය පුරා ව්‍යාප්ත වන විට එම මූලික ලක්ෂණ වලට තව තව දේවල් එකතු වේවි පරිණාමය උනා. ඒ කියන්නෙ උදාහරණයක් විදිහට ලංකාවේ බොහොමයක් රෙගේ මියුසික් වලට රිදම් ගිටාර් වාදනය කරන උදවිය ඩවුන් ස්ට්‍රෝක් එක වෙනුවට භාවිතා කරන්නෙ අප් ස්ට්‍රෝක්(Up Stroke) එක (පහළ සිට ඉහළට පික් එකක් භාවිතයෙන් කෝඩ්ස් වාදනය කිරීම) දක්වන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේදී රෙගේ සංගීතය ආශ්‍රිත ගීතවල ටෙම්පො එක මූලික රෙගේ සංගීතයට වඩා වැඩියි. එතකොට අපි මේ ලංකාවේ අහන රෙගේ කියා ගන්නා සංගීතය ඇත්තටම රෙගේද කියලත් හිතෙනව. ඇත්තටම ඒක  ඔරිජිනල් රෙගේ නොවන රෙගේ සංගීතයක් කිවොත් මම නිවැරදියි :D. 


රෙගේ සංගීතය ගැන මේ විදිහට එක ලිපියකින් කෙටි කරල කිවත් තවත් බොහෝ කරුණු රාශියක් ඒ හා සම්බන්ධව තිබෙනව. ඒ දේවල් ගැන තව ලිපි කිහිපයකින් ඉදිරියේදී ඔයාලට දැනගන්නට පුළුවන් වේවි. රෙගේ සංගීතය පිලිබඳ උනන්දුවක් තියෙන අය පුළුවන් වෙලාවක යූ ටියුබ් එක පැත්තෙ ගිහින් ඔරිජිනල් රෙගේ මියුසික් ගැන හොයල අහල රස විඳින්න. මම කිසිම ලින්කුවක් මෙම ලිපියේදී දාන්නෙ නම් නැහැ ඔන්න. එහෙනම් මේ වගේ තවත් ලිපියකින් ඉදිරියේදී හමු වෙමු. සියළු දෙනාටම ජය වේවා!!!

ප.ලි : මෙම ලිපියට අදාල සමහර කරුණු සොයගත්තෙ විකිපීඩියා වලින්. 

Monday, January 12, 2015

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 7


managepintharuwa


සුභ දවසක් වේවා සියළු දෙනාටම. අලුත් අවුරුද්දේ මගේ දෙවන පෝස්ට් එක විදිහට ඔන්න මම මෙතෙක් සාකච්ඡා කරන් ආව ගිටාර් පාඩම් මාලාවට අදාල ලිපියක් තමා ගේන්නෙ. මෙතෙක් අපි කතා කලේ මේජර් මයිනර් කෝඩ්ස් අල්ලන මූලික ක්‍රම ගැනයි. එසේ මේජර් මයිනර් කෝඩ්ස් ඇල්ලිය හැකි මූලික ක්‍රම තුනක් තිබෙන බව මම කලින් ලිපි වල  පැවසුවා ඔබට මතක ඇති. අද කතා කරන්නේ අවසන් ක්‍රමය එසේ නොමැති නම් තුන් වන ක්‍රමය ගැනයි. මෙම ලිපිය අවසානයේදී ඔබට මේජර් මයිනර් කෝඩ්ස් මුලිකව ඇල්ලිය හැකි සියළුම ආකාර කියා දී අවසානයි. ඉතින් මෙම ලිපියෙන් පසුව ඉදිරියේදී මම සැලසුම් කරගෙන සිටින්නේ ගීත කිහිපයක් පුරුදු වීමට යොමු වීමටයි. එම ගීත ආශ්‍රයෙන්ම ස්ට්‍රමින්ග්ස් ගැනත් කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මේජර් මයිනර් කෝඩ්ස් වලට අමතරව ඇති කෝඩ්ස් ගැනත් එම ගීත පුහුණු වීමේ අභ්‍යාස වලදීම කතා කරන්න බලාපොරොත්තු වෙනව. මෙතෙක් කල් කතා කරපු සිද්දාන්ත කරුණු වැඩියි සහ ටිකක් එපා වෙන ගතියක් තියෙනව කියන එක මමත් දන්නව. නමුත් එම කරුණු නොමැතිව ගීත පුහුණු වීමට අපහසු වන නිසා තමයි මම මේ සිද්දාන්ත කරුණු ටික ගැන ළඟ ළඟ පොස්ට් කිහිපයකින්ම කතා කලේ. ඉතින් එම සිද්දාන්ත කරුණු අද පෝස්ට් එකෙන් අවසන් වෙනවා. ඉතින් මෙම ක්‍රමයත් අවධානය සහ උනන්දුව යොමු කරල ඉගෙන ගන්න. ඊළඟ පෝස්ට් එකේ ඉඳන් ඔයාල කැමති ප්‍රසිද්ධ ගීත කිසිම අපහසුවකින් තොරව පුහුණු වීමට එවිට හැකියාව ලැබෙයි.

අපි බලමු අද පුරුදු වෙන කෝඩ්ස් අල්ලන්නේ කොහොමද කියල. මෙම කෝඩ්ස් අල්ලන ක්‍රමය විකාශනය වෙන්නෙ ඕපන් කෝඩ්ස් වල D මේජර්/මයිනර් කෝඩ් එක ආශ්‍රය කරගෙනයි. අපි බලමු ෆ්රෙට් බෝඩ් එකේ එම කෝඩ්ස් වලට අදාළව ස්වර පිහිටල තියෙන්නෙ කොහොමද කියල.

guitar_fret_board

එම කෝඩ්ස් අල්ලද්දී ඇඟිලි තබා ගන්නෙ මේ විදිහට 

                                                             මේජර්     

guitar_major_code

guitar_major_code

                                                              මයිනර්

guitar_minor_code

guitar_minor_code
                        

                                                        මේජර් කෝඩ්ස් 

D_Major_E_Major

F_Major_G_Major

A_Major_B_Major

C_Major_D_Major

                                                       මයිනර් කෝඩ්ස් 


D_minor_E_Minor_code

F_Minor_G_minor_code

A_Minor_B_minor_code

C_Minor_D_Minor_code


ඉතින් මෙම කෝඩ්ස් ටික හොඳින් ඇල්ලීමට පුහුණු වෙන්න. මොකද ඊළඟ පෝස්ට් එකේ ඉඳන් අපි ගීත අභ්‍යාස කරද්දී ඔය කෝඩ්ස් අල්ලන ක්‍රම සියල්ලම භාවිතා කිරීමට සිදු වෙනවා. ඉතින් දැන් සියළුම මූලික ක්‍රම කියා දී අවසාන නිසා කිසිම අපහසුවකින් තොරව අපිට ගීත අභ්‍යාස සඳහා යොමු වීමට පුළුවන්.හොඳයි එහෙනම් ඉදිරියේදී නැවතත් පෝස්ට් එකකින් හමු වෙමු. සියළු දෙනාටම ජය වේවා!!!   

  

Saturday, January 3, 2015

ප්‍රමාදය

Pramadaya_managepintharuwa


අලුත් දවසක් උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි. සංඛ තම ජංගම දුරකතනයද අතැතිව මතක සයුරක අතරමං වී බලාගත්වන බලා සිටියි. ඔහුගේ සිත තවමත් අතීතයේ සිදුවූ සිද්දි දාමයක පැටලී ඇත.

ඉවෝන්, ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක සංඛ සමගම උපාධි පාඨමාලාවක් සඳහා ඉගෙන ගැනීමට පැමිණි තරුණියකි. බාලිකා පාසැලක අධ්‍යාපනය ලබා තිබූ ඇය පිරිමි ළමුන් සමග කතා කලේම නැති තරම්ය. තමා මෙන්ම හැසිරෙන තවත් ගැහැණු ළමුන් දෙදෙනෙකු ඇයගේ හොඳම මිතුරියන් ලෙස සිටි බවක් ඇයව අධ්‍යයනය කරන කෙනෙකුට දැකගත හැකිවිය. ඔවුන් තිදෙනා හුදෙකලාව අධ්‍යන කටයුතු කරගෙන ගියෝය. කාලය කෙමෙන් ගත වන විට සංඛ තමාගේ මිතුරන් සමග ඉතා සැහැල්ලුවෙන් විනෝදයෙන් ඔහුගේ විශ්ව විද්‍යාල ජීවිතය ගත කරමින් සිටයේය. වර්තමානයේ කුඩා ළමයෙකු හට පවා තිබෙන බුකියේ ගිණුමක් සංඛල ඉවෝන්ලා හටද තිබුණි. ගැහැණු ළමුන් සමග මුහුණට මුහුණ හමුවී කතා කිරීමේ බියක් සංඛ හටද පැවතුනේ ඔහුද පිරිමි පාසලක අධ්‍යාපනය ලබා තිබු හේතුව නිසාවෙනි. ප්‍රථම වසර මුල් සෙමෙස්ටරය තුලදීම බුකිය හරහා තමන් සමග අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් රැසක් සමග මිතුරු වී කතාබහ කිරීමට සංඛට හැකියාව ලැබුණි. එයින් බොහෝ දෙනෙකු සමග චැට් කිරීමටද සංඛ එම කාලයේ හුරුවූ අතර ඒ අතර ඉවෝන් සහ ඇයගේ මිතුරියන් දෙදෙනාද විය. මෙසේ චැට් කරන්නන් අතර බොරු සෝබන කරුවන් සහ විශේෂයෙන්ම සෝබන කාරියන් කවුරුන්ද යන වග ඉතාම කෙටිකලක් ඇතුලත හඳුනා ගැනීමට සංඛට හැකියාව ලැබුණි. නමුත් ඉවොන්ලා සෝබන වලින් තොරව පොළොවේ පය ගසා ජිවත් වන යුවතියන් තිදෙනෙක් බව සංඛට වැටහුනේ ඔවුන්ගේ කතා විලාශයේ ගැබ්ව තිබුණු අව්‍යාජත්වය හේතුවෙනි. එම හේතුව නිසාම සංඛ ඉවොන්ලා සමග චැට් කිරීමට හිත යොමු කළේය.

සංඛ: "හායි කොහොමද ඉතින් "   
ඉවෝන්: "හෙලෝ මම හොඳින්. ඔයාට කොහොමද?"
සංඛ: "වරදක් නැහැ ඉතින්, කොහෙද ඔයාල හම්බුනාට කතා කරන්නෙවත් නෑනෙ. තනියම ඉන්නව පැත්තකට වෙලා :P"
ඉවෝන්: "අපිට කතා කලොත් අපිත් කතා කරනව හරිද :P ඔයානෙ දැක්කෙ නැහැ වගේ අහක බලන් යන්නෙ :P "
සංඛ: " ඒ එහෙමද 3:D, එහෙනම් මම දකින්න නැතුව ඇති මයෙ හිතේ ;) "

එලෙස ආරම්භ වූ සංඛ සහ ඉවෝන් අතර වුනු බුකියේ කතා බහට ඇබ්බැහි වීමට වැඩි දවසක් ගත නොවිය. ඒ අතර තුර ඇයගේ මිතුරියන් දෙදෙනා සමගද චැට් කිරීමට සංඛ අමතක කලේ නැත. මෙලෙස දිනපතා බුකිය හරහා සිදුවන කතා බහ නිසා සංඛ සහ ඉවොන්ල අතර හොඳ මිතු දමක් ඇතිවී තිබුනද කිසි දිනක ඔවුන් මුණ ගැසී කතා කිරීමට සංඛ මැලි වුයේ ඔහුගේ ඇති ලැජ්ජාශීලි බව නිසා යයි ඉවෝන්ල හට අවබෝධ වී තිබුණි.

ඉවෝන්: "මොකද අපිත් එක්ක කතා කරන්න බය. ගැහැණු අපි හොඳයි නෙ ඒ අතින් :P. අඩු ගානේ හිනාවක් වත් දාන්නේ නෑ. ඔරවන් යනව නිකන් බකුස්ස වගේ :P "
සංඛ : "මට පොඩි බයක් වගේ එකක් තියෙනවනේ හලෝ :D. හැබැයි මම ඔයාල දැක්කම හිනා නොවී ඉන්නෙ නම් නැහැ :) "
ඉවෝන්: "කොයි වෙලේද අපිට හිනා වුනේ කියන්න බලන්න."
සංඛ: "ඇයි මම ඔයාව දැක්ක ගමන් හිතින් හිනාවුනානේ :)"
ඉවෝන්: "හිතෙන් හිනාවුනාම කොහොමද මැට්ටො අපිට පේන්නෙ හිනාවුනා කියල :P "

මෙසේ විවිදාකාර වූ දේවල් ඔවුන් කතා බහ කල අතර කෙමෙන් කෙමෙන් සංඛ සහ ඉවෝන් ගේ සිත් තුල ආදර හැඟුම් මෝදු වන්නට විය. එය දෙදෙනාගේම කතා බස් වලින් ඉඟි කෙරුනද එම ආද‍ර සිතුවිලි දෙදෙනාම හිතේ සඟවා ගත්තා මිස පිරිමියෙකු ලෙස සංඛ හටද ඒ බවක් ඉවොන්ට කීමට තරම් හිතේ හයියක් නොවීය. මේ වන විට බුකියට අමතරව ජංගම දුරකථන හරහාද මැසේජ් කෙටීමට දෙදෙනා ඇබ්බැහි වී සිටියහ. මෙසේ කාලය ගත වන විට සංඛ තමාට ආදරය ප්‍රකාශ කරනු ඇතැයි ඉවෝන් බලාපොරොත්තුවෙන් සිටියද ඒ බවක් සංඛ වෙතින් පෙන්නුම් නොකළේය. තමන් ගැහැණු ළමයෙකු බැවින් සංඛ හට ආදරය ප්‍රකාශ කිරීම කිසිසේත් නොකළ හැකි දෙයක් නිසා ඉවෝන් තමාගේ හිතේ තිබුණු හැඟීම තද කරගෙන සිටියාය. මේ අතරතුර බුකිය හරහා භාෂිත ඉවෝන් හට හමු වුයේ අහම්බයකිනි. ඔවුන් දෙදෙනා අතර හොඳ මිත්‍රත්වයක් ඇති වුනේ ඇයටද තේරුම්ගත නොහැකි ඉක්මනකටය. වෙනත් විශ්ව විද්‍යාලයක උපාධි පාඨමාලාවක් හදාරන ඔහු කිසිම පැකිලීමකින් තොරව තම අදහස් ප්‍රකාශ කිරීම නිසා ඉවොන්ගේ අවධානය ටිකෙන් ටික ඔහු කරා ඇදී යාමට හේතුවූ අතර සංඛ  හා ඇති බැඳීම කෙමින් කෙමෙන් ලිහිල් වන්නට විය. සංඛ තවමත් තමාගේ හිතේ ඇති ආදරය ප්‍රකාශ කිරීමට කල් යල් බලමින් සිටින්නේය. මෙසේ කාලය ගතවන විට භාෂිතගේ හිතේ ඉවෝන් කෙරෙහි ආදරයක් ඇති වන්නට පටන් ගත්තේ ඇයගේ ඇති ආකර්ෂණය නිසාවෙනි. වැඩි කාලයක් බලා නොසිට භාෂිත ඉවෝන් හට තමාගේ ආදරය ප්‍රකාශ කල අතර ඉවෝන්ටද එය අදහාගත නොහැකි විය. එම යෝජනාව ප්‍රතික්ෂේප කල ඇය තවමත් සංඛ වෙත බලාපොරොත්තු තබා සිටියාය. ඉවෝන් සංඛ හා ජංගම දුරකතනයෙන් මැසේජ් කිරීම නැවත්වුයේ සංඛ එවිට හෝ තමාව නැතිවේ යැයි යන බියෙන් ආදරය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂාවෙනි. නමුත් එයද සාර්ථක නොවන වෑයමක් බව දැනුණු ඉවෝන් හට සංඛ කෙරෙහි ඇතිවුයේ දුක මිශ්‍රවුනු තරහකි.  

මේ අතර භාෂිත නැවතත් ඉවොන්ට පෙරැත්ත කරමින් කියා සිටියේ තමා ඇය හට හදවතින්ම ආදරය කරනා බවකි. තටු කැඩුණු කුරුල්ලෙක් පියාඹන්නට හදනව වගේ සංඛ තමාහට ආදරය ප්‍රකාශ කරනතුරු බලා සිටීම පලක් නොවන බව වැටහුණු ඉවෝන් අවසානයේදී තම නොයිඳුල් හදවත භාෂිත වෙත පුද කිරීමට තීරණය කලාය. 
සංඛ හා ඉවෝන් අතර බුකියේ කතා බහ එතරම් ලෙන්ගතු එකක් නොවන බව සංඛ හට තේරුම් යන්නට පටන් ගත්තේ මේ අතර තුරේදීය. තමාගේ ආදරය ප්‍රකාශ කිරීමට කල් ගැනීමෙන් සිදුවන්නේ ඉවෝන් තමාට නැති වන බව තේරුම් ගත් සංඛ තම අදහස ඉවෝන් හට පැවසීමට තීරණය කළේය. කෙසේ හෝ තමාගේ ආදරය ඉවෝන් හමුවී ඇය වෙත පැවසීමට තීරණය කල සංඛ විශ්ව විද්‍යාලයේ දේශනයක් අවසන් වී සියලු සිසුන් තම නවාතැන් කරා යන වැසිබර සන්ද්‍යාවක තම ජංගම දුරකථනය ගෙන මැසේජ් එකක් යැව්වේය.

" ඉවෝන් මට ඔයාව විනාඩි පහකට හම්බවෙන්න ඕනෙ ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න :). ඔයාට එන්න පුළුවන් නේද අර ලොකු මාර ගහ ලඟට? මම එතන ඉන්නම් "

විනාඩි 4කින් පමණ "කීක් කීක්" යන හඬක් නංවමින් සංඛගේ දුරකතනයට පිළිතුරක් ලැබුණි.

"මට ඔය ගස් ගල් ගානෙ එන්න බෑ. කියන්න තියෙන දෙයක් මෙහෙම්මම කියල එවන්න"

තරමක් විමතියට පත්වූ සංඛ නැවත මෙසේ පිළිතුරක් යැව්වේය.

"එක ෆෝන් එකෙන් කියන්න බෑ. මට විනාඩි 5ක් දෙන්න. ප්ලීස් එන්නකො"
      
ඉවොන්ගෙන් පිළිතුරක් ලැබුණි.

"බෑ බෑ. මම එක පාරක් කීවනෙ. කියන දෙයක් මෙහෙම කියන්න."

තවත් කලබල වුනු සංඛ, තමාට ඉවෝන් මුණ ගැසීමට නොහැකි වන බව වැටහුණු නිසා තමාගේ අදහස මැසේජ් එකක් ලෙසින් ඇය වෙත යැවීමට තීරණය කළේය.

"අපි දෙන්න දැන් අඳුරගෙන ගොඩක් කල් උනත් මට මේක ඔයාට කියාගන්න බැරුව ගොඩ කාලයක් බලා හිටිය. එත් මේක අද මම ඔයාට කියනව. මම ඔයාට ගොඩක් ආදරය කරනව."   මැසේජ් එක සෙන්ඩ් කළේය. 

විනාඩි දහයක් පමණ ගත විය. රිප්ලයි එකක් ලැබුණි.

"සමාවෙන්න, මම ඔයා ගැන හිතුවෙ යාළුවෙක් විදිහට විතරයි. මට bf කෙනෙක් ඉන්නව.ආයේ මගෙ ගැන කවදාවත් හිතන්න එපා. බායි."

දුරකථන තිරය මත බලා සිටිද්දී සංඛට තම මුළු සර්වාංගයම පණ නැතිවීගෙන එන්නාක් මෙන් දැනෙන්නට විය. හදවතේ ගැස්මද වැඩි වී ඇති බවක් දැනේ.තමා හොඳටම පමා වුණු බව පමණක් ඔහුගේ මනස තුල දෝංකාර දෙන්නට විය. ඔහු කිසිම හැඟීමක් නැත්තෙකු ලෙස හීනයකින් ගමන් කරන්නාක් මෙන් තමාගේ නවාතැන බලා පය තබන්නට විය. එසේ යන අතරතුර සිදු වූ දේවල් පිළිබඳව හාංකවිස්සියක්වත් සංඛගේ සිහියට නැගුනේ නැත. නවාතැනට පැමිණි ඔහු දුරකතනයද අතැතිව උඩුබෙලි අතට ඇඳ මතට වැටී සිවිලිම දෙස බලාගත්තේය.