මීට මාස කිහිපයකට කලින් මම පල කරපු සංගීත පෝස්ට් එකකට කටුසු හදවතේ කටුස්සා මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාල තිබ්බා.
" මනා,මේක ටිකක් පෞද්ගලික ප්‍රශ්නයක්...ඔය ගිටාර් එකවගේම තියන යට හරිය රබානක් වගේ පෙනුමක් තියන වාදන භාන්ඩය මොකද්ද මචෝ?උඹට මතකනම් "ආදරනීය රෝහණ "ෂෝ එකේ ඇන්තනී සුරේන්ද්‍ර වාදනය කරපු එක.ඒකේ ලීඩ් ගිටාර් එකක් තිබුනේ නෑ.සුරේන්ද්‍ර ඒකෙන් තමා ලීඩ් පාර්ට් ප්ලේ කලේ.අහල තියන විදිහටනම් ඒක වාදනය කරන්න ඉස්සර හිටපු හොඳම වැඩ්ඩා සුරේන්ද්‍රගේ තාත්තා.පුළුවන්නම් ඒකගැන පොඩ්ඩක් කියල දියන් "
ඉතිං මම එදා ඒකට පොඩි පැහැදිලි කිරීමක් කරලා රිප්ලයි එකක් දාල කටුස්සට පොරොන්දු උනා ඉක්මණටම ඒ ගැන ලිපියක් දාන්නම් කියලා. එදායින් පස්සෙ ඕක මට හෙමීට අමතක වෙලා ගිහිල්ල දැන් දවස් දෙක තුනකට කලින් සංගීතෙ සම්බන්ධ පෝස්ට් එකක් දාන්න බැරි උනා නේද කියල කල්පනා කරද්දී තමා ආයෙමත් සැරයක් මතක් උනේ.
ඇත්තටම එදා අපේ කටුස්සා ඒ අහපු සංගීත භාණ්ඩයේ නම "බැන්ජො (Banjo)" කියල තමා හඳුන්වන්නෙ. බැන්ජො එක කියපු ගමන් මගේ මතකයට එන්නෙ ඇන්තනී සුරේන්ද්‍ර මහතායි. ඉතිං ඔයාලත් ඇන්තනී සුරේන්ද්‍ර කියන දක්ෂ වාදකයා අඳුරනවනම් ඔහු සිටින සංගීත වැඩසටහන් වල රබානක් වගේ එහෙක අමුතු රටාවක් දාපු ගිටාර් එකක් වගේ ලස්සන භාණ්ඩයක් වාදනය කරනවා දැකල ඇති. දැන් ඇන්තනී සුරේන්ද්‍ර දන්නෙ නැති අයට ප්‍රශ්නයක්නෙ. ඒ අයට දැන ගන්න මම ඇන්තනී සුරේන්ද්‍ර මහත්තයගේ පින්තුර කිහිපයක් දාන්නම්කො.
![]() |
ඇන්තනී සුරේන්ද්‍ර මහතා |
ලංකාවෙ බැන්ජො වාදකයින් විදිහට මම දැකල තියෙන්නෙ ඇන්තනී සුරේන්ද්‍ර සහ බුද්ධික පෙරේරා කියන දෙපළ විතරයි. ඔවුන් දෙදෙනා බැන්ජො සහ අනිකුත් තත් භාණ්ඩ(ගිටාර්,මැන්ඩලීන් ආදී) වාදනය කිරීමටද එක සේ දක්ෂය.
![]() |
බුද්ධික පෙරේරා මහතා |
නමුත් බැන්ජො කියන නම ඇහුණු ගමන් අපේ මතකයට එක පාරටම එන්නේ ඇන්තනී සුරේන්ද්‍ර කියන වාදකයායි.
අද ලියන්නෙ ඒ අපූරු වාදකයා වාදනය කරපු අපූරු සංගීත භාණ්ඩය ගැන තොරතුරු ටිකක්. ඒ සංගීත භාණ්ඩයේ නම "බැන්ජො". සාමාන්‍යයෙන් අපි කියන්නෙ බැන්ජො එක කියලා. සමහර තත් වාදන භාණ්ඩ තියෙනවා ඒවා නිර්මාණය කරලා තියෙන්නෙ බෙර සම්බන්ධ කරගෙන. බෙර කියන්නෙ සාමාන්‍යයෙන් රබාන වගේ හැඩය තියෙන රබානෙ ප්‍රමාණයම වගේ බෙර. මේ බැන්ජො එකත් ඒ විදිහට හදපු භාණ්ඩ වලට තමා අයිති වෙන්නෙ. මුලින්ම මේ භාණ්ඩ නිර්මාණය වෙලා තියෙන්නෙ අප්‍රිකානු රටවල් මුල් කරගෙන. ඊට පස්සෙ තමා මැද පෙරදිග හරහා යුරෝපයට සංක්‍රමණය වෙලා මුළු ලෝකෙටම ව්‍යාප්ත වෙන්නෙ. ඇත්තටම මේ භාණ්ඩය නිර්මාණය කරලා තියෙන්නෙ අප්‍රිකානු වහල් ජනතාව කියල තමා සඳහන් වෙන්නෙ. පස්සෙ ඒවා වහල් වෙළඳාම හරහා තමා අර කලින් කීව විදිහට ලෝකෙට ව්‍යාප්ත වෙන්නෙ. ඒ මුලින්ම හදපු භාණ්ඩය දැන් අපි දකින බැන්ජො එක වගේ දියුණු එකක් නෙමේ. ඒක ප්‍රථමික මට්ටමේ සංගීත භාණ්ඩයක් විදිහට තමා තිබිල තියෙන්නෙ. බැන්ජො කියන නම ලෝකෙට ප්‍රසිද්ධ වෙන්න කලින් මේ භාණ්ඩය "බැන්ජා","බැන්ජිල්","බැන්සා", "බැන්ෂෝ" වගේ නම් වලින් තමා හඳුන්වල තියෙන්නෙ.
බැන්ජො එකට මුලින්ම තිබිලා තියෙන්නෙ මෙන්න මේ වගේ පෙනුමක්.
![]() |
පැරණි බැන්ජො එකක් |
පස්සෙ එය ටිකෙන් ටික දියුණු වෙලා දැන් තියෙන තත්වයට පත් වෙලා තියෙනවා. දැන් දකින බැන්ජෝ එක හරි ලස්සනයි වගේම හොඳ නිමාවකින් යුක්තයි.
![]() |
වර්තමානයේ ඇති අලංකාර බැන්ජො එකක් |
බැන්ජො එක ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකින් යුක්තයි. ඇත්තටම මෙම භාණ්ඩයේ හඬ නිපදවෙන්නෙ තත් කම්පනය කරලා උනත් බොක්ස් ගිටාර් එකේ වගේ සිදුරක් සහිත ලී පෙට්ටියක් නෙමේ තියෙන්නෙ. බැන්ජො එකේ ලී පෙට්ටිය වෙනුවට තියෙන්නෙ රබානක් වගේ තියෙන බෙර වර්ගයක්. ඒ රබාන පිටිපස්සෙන් තියෙනවා අනුනාදකයක්. ඒ වගේම මේ රබානට මුලින්ම යොදාගෙන තියෙන්නෙ සත්තුන්ගෙ හම්. නමුත් වර්තමානයේ නම් සත්ව හම් වෙනුවට කෘතිමව නිපදවනු ලබන හම් යොදාගනු ලබනවා. ඉතිං ඔය රබාන නිසා මේ භාණ්ඩයෙන් හරි ලස්සණ හඬක් ඇති වෙනවා. බොක්ස් ගිටාර් එකකින් එන හඬට වඩා ගොඩක් වෙනස්. ඔය හඬ නිසා තමා මේ බැන්ජො කියන වාදන භාණ්ඩය විශේෂ වෙන්නෙ සහ ලෝකය පුරා ජනප්‍රිය වෙන්න ඇත්තෙ.
ඒ වගේම සාමාන්‍යයෙන් බැන්ජො එකක තියෙන්නෙ තත් එහෙමත් නැත්නම් ස්ට්‍රින්ග්ස් හතරක්. නමුත් තත් පහ, හය , අට සහ දොළහ වශයෙන් තියෙන බැන්ජොත් තියෙනවා. ඒවා වාදකයාගේ අවශ්‍යතාව සහ කැමැත්ත අනුව තමා තෝරා ගැනීම සිදු කරන්නෙ. මෙම තත් සුසර කර ගන්නා ආකාර ඔය තත් ගාන අනුව එකිනෙකට වෙනස් වෙනවා. නමුත් ඒවා මම මේ ලිපියේ සඳහන් කරන්නෙ නැහැ. මේ භාණ්ඩයේ මූලික දේවල් පිළිබඳව විතරයි මේ ලිපියෙන් කතා කරන්නෙ.
![]() |
තත් පහේ බැන්ජො එකක් |
![]() |
තත් හයේ බැන්ජො එකක් |
තත් අටේ බැන්ජො එකක් |
![]() |
තත් දොළහේ බැන්ජො එකක් |
මේ පහළින් තියෙන්නෙ බැන්ජො එකක තියෙන කොටස්. මේ රූපයේ තියෙන්නෙ තත් පහක් තියෙන බැන්ජො එකක්.
![]() |
බැන්ජො එකක කොටස් |
අද වන විට බැන්ජො එක ලෝකය පුරාවටම ජනප්‍රිය වෙච්ච සංගීත භාණ්ඩයක්. ගිටාරය වෙනුවට බැන්ජො එක යොදාගනිමින් ලෝකයේ විවිධ සංගීත කණ්ඩායම් පවා බිහිවී තිබෙනවා. ඒ වගේම බැන්ජො භාණ්ඩය මුල් කරගෙන සංගීත ශයිලීන් පවා බිහිවී තිබෙනවා.
බැන්ජො එකක හඬ මොනවගේද, වාදනය කරන්නෙ කොයි ආකාරයටද යන්න දැන ගන්නත් එක්ක මම වීඩියෝස් දෙකක් එකතු කරනවා. පළවෙනි එක නිරෝෂා විරාජිනී මහත්මිය ගායනා කරන පුන් සඳ රෑට කියන ගීතය. ඒකෙ අපි කාටත් හුරු බැන්ජෝ වාදනයක් තියෙනවා. මේ දාල තියෙන්නෙ දෙරණ ටීවී එකේ ගිය ඩෙල් ස්ටුඩියෝ වැඩ සටහනේ කරපු සජීවී පටිගත කිරීමක්. මේකෙ බැන්ජෝ එක වාදනය කරන්නෙ බුද්ධික පෙරේරා මහතා (අපේ විචාරක මහත්තයා තමා මට මේ වීඩියෝ එක ගැන මතක් කලේ. මට මේ සිංදුව අමතක වෙලා තිබුණේ :) ). ඒ වගේම දෙවෙනි එක බටහිර එකක්. පුළුවන් නම් මේ වීඩියෝස් දෙක නරඹන්න. බලන්නකො බැන්ජො ඒකෙන් කොච්චර හොඳට වැඩ දාන්න පුළුවන්ද, කොයි තරම් අපූරුද ඒ වාදන භාණ්ඩය කියලා.
මේ භාණ්ඩය ලංකාවේ ජනතාවට දැකලා පුරුදු උනත් බහුතරයක් දෙනා නිවැරදි නාමය දන්නෙ නැහැ. බොහෝ දෙනෙක් බැන්ජො එක මැන්ඩලීනය සමග පටළවාගෙන සිටිනවා. ඉතිං මේ ලිපිය මගින් මේ වාදන භාණ්ඩය සම්බන්ධව මූලික තොරතුරු කතා කරන්න තමා උවමනා උනේ. ඉතිං මේ කියපු තොරතුරු යම් තරමකට ප්‍රමාණවත් කියල මට හිතෙනවා. මේ වාදන භාණ්ඩය ලංකාවෙ වාදනය කරපු තවත් ප්‍රවීණ වාදකයො සහ වෙනත් තොරතුරු ඔයාල දන්නවානම් ඒවත් සඳහන් කරලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඔන්න එහෙනං මං දැන් මේ ලිපිය ඉවර කරනවා.
ජය වේවා!!!