Saturday, May 16, 2015

සංගීත ජීවිතයේ සොඳුරු මතක - 2


ඔන්න අද ඉතුරු කොටස කියන්න හදන්නෙ. මුල් කොටස කියෙව්වෙ නැතිනම් ඒකත් කියවල එන්න. සංගීත ජීවිතයේ සොඳුරු මතක - 1.

ඔන්න දැන් සිංදු හතරක් පහක් ගහගන්න පුළුවන් තත්වෙට බෑන්ඩ් එක හැදුන. ඉතිං අපිත් ෆ්ලෑෂ් බැක් වගේ කියල හිතාගෙන ප්ලේ කරනව.ඒත් අපිට තේරුම් ගියා ඒ උගන්නන කෙනාත් පොඩි දේවල් ටිකක් විතරක් දැනගෙන පොඩ්ඩ පොඩ්ඩ උගන්නන විත්තියක්. ඉතිං අපි හෙමින් සීරුවෙ එතැනින් සමු අරගෙන වෙනත් හොඳ තැනක් කරා සංක්‍රමණය උනා. 

අපි මේ තැනින් වෙන තැනකට යන්න ප්‍රධාන හේතුව උනේ ඒ උගන්වන පුද්ගලයා තුලින් අපිට අවශ්‍ය දෙය නොලැබෙන බව අපි හැමෝටම වැටහිලා තිබීම. අනිත් කාරණය තමා අපේ බෑන්ඩ් එකේ සාමාජිකයො දෙතුන් දෙනෙක් මාස දෙකක විතර මුදල් නොගෙවා සිටීම. නමුත් එම පුද්ගලයා ඒවා ගෙවීමට ඇති බව මතක් කරනවා මිසක් බැනීම හෝ ප්‍රැක්ටිස් එන්නට එපා කීම හෝ කලේ නැහැ. ඔහු ඉතා හොඳ මිත්‍රශීලී මනුස්සයෙක්. අපි එහෙම කලත් අදටත් දැක්කොත් මල්ලි කියල කතා කරන මනුස්සයෙක්.

හරි ඔන්න ඉතිං අපි ඊළඟට ගියා තව තැනකට එතන උගන්නන කෙනා ටිකක් හොඳයි. හැබැයි උගන්නන්නේ එයාට ඕන සිංදු. කවදාවත් අපිට ඕන ඒවා ලෙසියකට පුරුදු කලේ නෑ. පොරගෙ හෙන නීති. මෙතන අපි හොඳ ළමයි වගේ මාස තුනක් විතර ඉද්දි ඔන්න අපේ ඔක්ටපෑඩ් ප්ලේ කරන කෙනයි රිදම්, සහ බේස් ගහන දෙන්නයි බෑන්ඩ් එකට එන්න බෑ කියල නැවතුනා. ඒ කියන්නෙ ඒ වෙද්දී උන්ගේ සංගීත උණ බැහැල :D. ඉතිං දැන් අපි අනාතයෝ වගේ. ලීඩ් ගහන එකාටයි, මටයි ඩ්‍රමාටයි තාම උණ. කොයිතරම් උණක් තිබ්බද කිව්වොත් අපි තුන්දෙනා  තව මාස දෙකක් විතර ගියා ඒ පංතියට. ගියා විතරක් නෙමේ අපේ වේලාවෙන් පස්සෙ එන බෑන්ඩ් පුරුදු වෙන දිහා පවා බලං හිටියා. සමහරු සුපිරියට ප්ලේ කරනව තව සමහරු පට්ට පජාතයි(පුරුදු වෙන අයනේ ඉතිං). පස්සෙ අපි තුන්දෙනා තේරුම් ගත්ත මේ වැඩේ හරියන්නෙ නෑ කියල. ඊට පස්සෙ අපි බෑන්ඩ් පංති යාම නැවැත්තුව. එතකොට අපේ ලීඩ් කාරයාට කොහෙන් හරි පරණ(පරණ කියන්නෙ හොඳටම දිරලා තිබ්බෙ) බොක්ස් ගිටාර් එකක් හම්බවෙලා තිබ්බා. ඒක විසිකරන්න බැරි නිසා මෙයාට දෙන්න ඇති කියල මට අදටත් හිතෙනවා. බොක්ස් ගිටාර් එකක් හම්බුනාට මොකද අපේ ලීඩ් ගහන කෙනාට කෝඩ්ස් වාදනය කරන්න බෑ. ලීඩ් පාට් වාදනය කරන්න විතරයි දන්නෙ. ඇත්තටම වෙලා තියෙන්නෙ අර ගියපු තැන් දෙකේම උගන්නපු උන් සිංදුවට අදාළ ලීඩ් පාට්ස් ටික ගිටාර් එකේ එක තැනකින් වාදනය කරන හැටි විතරක් ගිරවුන්ට වගේ කියල දීල තිබ්බ එක. ඒ ඇරෙන්න කෝඩ්ස් ගැන මෙලෝ දෙයක් අපේ ලීඩ් කාරයා දැනන් හිටියෙ නෑ. මම ඊට පස්සෙ හොයල බැලුවම අපි අඳුරන ගොඩක් අයට වෙනත් තැන් වලිනුත් ලීඩ් ගිටාරය වාදනය කරන හැටි උගන්නල තියෙන්නෙ එහෙම. එයාල දන්න එකම දේ "ආ ඒ සිංදුව පටන් ගන්නෙ මෙතනිං" කියල අදාළ තැන පෙන්නන එක විතරයි.

හරි ඒක අමතර කරුණු ටිකක් හොඳේ. එහෙම තමා ලංකාවේ කණ්ඩායම් සංගීත පුහුණු කරපු මුල් අවදියේ(මුල් අවදියේ කීවට මුල් නෙමේ මැද. මම ඔය කියන්නෙ දෙදාහේ ඉඳන් මුල් අවුරුදු ටික ගැන) ගොඩක් තැන් වල උගන්නල තියෙන්නෙ. අදටත් එහෙමද කියන්න මම දන්නෙ නැහැ. හරි මම අර කිව්වෙ අපේ ලීඩ් කාරයාට බොක්ස් ගිටාර් එකක් හම්බවෙලා තිබ්බා කියල. ඒක තිබ්බට පුළුවන් එකම දේ පොඩි පොඩි ලීඩ් පාට් වාදනය කිරීම විතරයි. ඔය ලීඩ් ගහපු ළමයාගෙ ගෙවල් තිබ්බෙ අපේ ඉස්කෝලෙ ළඟමයි. දැන් ඉතිං අපි පංති යන්නෙත් නැති නිසා මමත් එයා එක්ක ඉස්කෝලෙ ඇරුනට පස්සෙ එයාලගෙ ගෙදර යන්න පටන් ගත්තා. මම ඉස්සරලාම ලීඩ් පාට් එකක් පුරුදු උනේ අපේ ලීඩ් කාරයගෙ පරණ බොක්ස් ගිටාර් එකෙන් (ඒ අවස්ථාව මට හම්බුනේ නැතිනම් මම සමහරවිට අදටත් ගිටාර් වාදනය කරන එකක් නෑ). ඒත් අපි ගිටාර් කෝඩ්ස් දන්නෙ නැහැ. ඔහොම වාදනය කරනකොට අපිට තේරුණා ඒ පාට් එක ගිටාර් එකේ තව තැන් වලිනුත් වාදනය කරන්න පුළුවන් කියල. ඒ කියන්නෙ එකම ස්වර ටික ගිටාර් එකේ තැන් දෙක තුනක තියෙන විත්තිය අපිට තේරුණා ඒ කාලෙ. මට ඕගන් එකේ කෝඩ්ස් වාදනය කරල පුරුදු නිසා මම දන්නව කොහොම හරි ගිටාර් කෝඩ්ස් ටික දැන ගත්තොත් අපිට ඕන සිංදුවක් වාදනය කරගන්න පුළුවන් කියල. ඔහොම දවස් ගෙවිල යද්දී මට කොහෙන් හරි හම්බුණා ගිටාර් එක ටියුන්(සුසර) කරන ස්වර ටික. මම ඕක ගෙදර ඉඳන් කොලේක ලියාගෙන ඇන්දා ගිටාර් එකේ සම්පුර්ණ ෆ්රෙට් බෝඩ්(ස්වර පුවරුව) එකම ලොකු සී ආර් පොතක. මට ඒ වෙද්දී ස්වර ගැන අවබෝධය හොඳට තිබුන නිසා අර ඇඳපු ෆ්රෙට් බෝඩ් එකේ එක එක ෆ්රෙට්(අර ස්වර පුවරුවෙ තියෙන්නෙ කොටු. අන්න ඒ එක කොටුවක් තමා ෆ්රෙට් එකක් කියන්නෙ) එකට අදාළ ස්වර ටිකත් ලියා ගත්තා.  

දැන් මට ඕනේ ගිටාර් කෝඩ්ස් ඉගෙන ගන්නනෙ. මම ඒ වෙද්දීත් දන්නවා ගිටාර් එකේ කෝඩ් එකක් අල්ලන්න අඩුම ස්ට්‍රින්ග්ස්(තත්) තුනක් වත් ඕන විත්තිය.ඒ වගේම ඔය ස්වර අල්ලන්න පහසු වෙන්න ලඟින්ම පිහිටලා තියෙන්න ඕන විත්තියත් තේරුණා. දැන් කියන්නෙ පොඩි සංගීත පාඩමක් හොඳේ. කියන ඒවා දැනුනම ඇති තේරුම් ගන්න ඕනෙ නෑ :D. මම පටන් ගත්තෙ මේජර් කෝඩ් එකක් හොයන්න. මොකද මේජර් කෝඩ් එකක එක ස්වරයක් එහෙ මෙහෙ උන ගමන් ඒක මයිනර් කෝඩ් එකක් වෙන විත්තිය මම ඒ වෙද්දී දන්නව ඕගන් ගහන නිසා. එතකොට ආයෙ අමුතුවෙන් මයිනර් කෝඩ්ස් හොයන්න ඕනෙ නැහැ. එක ගලින් කුරුල්ලො දෙන්නෙක් ඇල්ලුවා වගේ තමා. ඔන්න දැන් මම අර පොතේ ඇඳ ගත්ත ෆ්රෙට් බෝඩ් එක දිහා බලාගෙන හොයනවා සී මේජර්(C කියන්නෙ "ස". "ස" ස්වරය මුලිකවුනු මේජර් කෝඩ් එක තමා සී මේජර්) එකට අදාළ ස්වර ටික. ඔන්න ඉස්සරලාම "ස" ස්වරේ හොයා ගන්නව. ඊට පස්සෙ ඒ අවටින්ම තියෙන ස්ට්‍රින්ග්ස් දෙක තුන බලද්දී මෙන්න තියෙනව ඉතුරු ස්වර දෙකත්. ඔය විදිහට සී මේජර් කෝඩ් එක මම හොයා ගත්තා(මම මේ අමූලික බොරුවක් එහෙම ගොතල පොර වෙන්න හිතාගෙන මේ කතාව දෙසා බානවා නෙමේ. මම මෙහෙමයි ගිටාර් කෝඩ්ස් ඉගෙන ගත්තෙ). දැන් කෙනෙක් හිතයි ඉතිං ඔච්චර නැහුනෙ මොකටද, ගිටාර් වල කෝඩ්ස් තියෙන පොතක් අරන් ඉගෙන ගත්තනම් ඉවරනේ කියල. ඇත්තටම මට ඒ කාලෙ එහෙම හිතුනෙම නෑ. වෙන මොකකටවත් නෙමේ මට ඒ කාලෙ ගිටාර් එකක් තිබ්බෙ නැති නිසා. ගිටාර් එකක් තිබ්බනම් මමත් ඒ පොතක් අරන් කෝඩ්ස් ඉගෙන ගනීවි. හැබැයි කවදාවත් මම ස්වර පිළිබඳව අවබෝධයෙන් ඒවා ඉගෙන ගන්න එකක් නෑ.  

ඉතිං සී මේජර් කෝඩ් එක හොයාගත්ත ගමන් එක ස්වරයක් සෙමි ටෝන් එකකින් අඩු කරපු ගමන් සී මයිනර් කෝඩ් එක කරගන්න පුළුවන්(සෙමි ටෝන් කතා මගේ බ්ලොග් එකේ මුලින්ම කියල තියෙනවා රූපත් එක්ක. ඕව නොතේරුණාට කමක් නෑ :D). ඔන්න දැන් මම සී මේජර් සහ මයිනර් කෝඩ් දෙක දන්නව. ඉතිරි කෝඩ්ස් ටිකත් ඔය ළඟ පාතින්ම තියෙන්න එපැයි කියල හිතාගෙන හොයද්දි මට හම්බවෙනවා D(රි), E(ග) ටිකත්. මෙන්න දැන් මේ කෝඩ්ස් ටික දිහා බලන් ඉද්දි මට පේනවා මේ කෝඩ්ස් ගිටාර් එකේ ස්වර පුවරුවේ විහිදෙන රටාවක්. ඔය විදිහට මම එදා හොයා ගත්තෙ ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 3 කියන පාඩමේ ඔයාලට කියල දුන්නු කෝඩ්ස් වර්ග ටික. මම මුලින්ම ඉගෙණ ගත්තෙ ඔය කෝඩ් වර්ගෙ.

හරි ඔන්න දැන් කෝඩ්ස් වර්ගයක් හොයා ගත්තා ගිටාර් එකේ. ඒකෙ ඇඟිලි තියන්නත් මට ලේසි විදිහක් හදාගත්තා (පස්සෙ කාලෙක හොයල බලද්දි ඒ ඇඟිලි තියපු හැටිත් නිවැරදියි). ඔන්න දැන් ඉතිං රටක් රාජ්ජයක් දිනුවා වගේ තමා. දැන් ඉතිං මේ ඉගෙන ගත්ත ගිටාර් කෝඩ් මම අපේ ලීඩ් කාරයටත් කියල දීල අපි දෙන්නම එකතු වෙලා ඒවා ගිටාර් එකෙන් වාදනය කරන හැටි ඉගෙන ගන්න පටන් ගත්තා. මොකද ඔය කාලෙදි මට ගිටාර් එකක් නැහැ. ඒක නිසා එහෙම තනියෙන් ඉගෙන ගන්න අපි දෙන්නට කාලයක් ගියා. එක ගිටාර් එකකින් දෙන්නෙක් ඉගෙන ගන්න උන නිසා. අනික මට ගිටාර් එක ගහන්න හම්බෙන්නෙ පැය එක හමාරක් දෙකක් විතර. ඒකත් සතියෙ දවස් තුනක් විතර තමා. අනිත් දවස් වලට මට පංති යන්න තිබ්බා ඕලෙවල් වලට සහ තවත් දේවල් තිබ්බා. ඒක නිසා ඉතිං ටිකක් කාලෙ ගියත් ගිටාර් ඉගෙන ගන්න තිබ්බ ආසාව සහ අරමුණ නම් වෙනස් උනේ නැහැ. ඉතිං ඔය කෝඩ් වර්ගය උදව් කරගෙන අපි ගොඩක් සිංදු වල ලීඩ් පාට්ස් ගිරව් වගේ නැතිව අවබෝධයෙන් හොඳට වාදනය කරන්න පුරුදු උනා. ඇත්තටම සංගීතයේ තියෙන එක කෝඩ් එකක් ගිටාර් එකක භාවිතා කරලා ක්‍රම කිහිපයකට වාදනය කරන්න පුළුවන්. ඔය කාලේදී අපිට ඔය වගක් තේරුනේ නැහැ. අපි හිතන් හිටියෙ දැන් හරි අපිටත් ගිටාර් ගහන්න පුළුවන් තමා කියල. ඔය හිතන් හිටපු දේවල් බොඳ උනේ අපි දෙන්න එකතු වෙලා රිදම් ගහන්න පටන් ගද්දි :D. 

ඔය කාලෙදි මම ගොඩාක් හොඳටම සිංදු ඉයර් එකට ගහන නිසා මට පුළුවන් ඕන සිංදුවකට කෝඩ්ස් දාන්න(මේජර්, මයිනර් විතරක් නෙමේ ඊට අමතර කෝඩ්ස් වර්ග පවා යොදාගෙන. ඇයි අර මම මුල් ලිපියේ කියපු ඕගන් වාදන පුහුණුව පොතේ ඕවා ඔක්කොම තිබ්බනෙ. මම ඒවා ඔක්කොම වාදනය කරන්න පුරුදු වෙලා ඒ කෝඩ්ස් වල වෙනස කනට හොඳට පුරුදු කරන් තිබ්බෙ). ඉතිං මම සිංදු වලට කෝඩ්ස් මට දැනෙන විදිහට යොදනවා. ඒ වගේම ඒ කාලේ සිංදු කෝඩ්ස් සමහර පත්තර වල ගියා. ඒවත් එකතු කළා. ඔය විදිහට අලුත් සිංදු හොය හොයා කෝඩ්ස් දාගෙන හරි හොයාගෙන හරි ඔර්ගන් එකෙන් ප්ලේ කරද්දී මාර සනීපයක් දැනෙන්නෙ. ඇත්තටම ඒකත් එක අතකට පිස්සුවක් වගේ. මොනව උනත් මම ඒකට හෙන කැමතියි. ඔන්න දැන් අපි මොකක් හරි සිංදුවක් අරගෙන ඉස්සරවෙලාම ගිටාර් එකෙන් කෝඩ්ස් වාදනය කරන්නයි ලැහැත්තිය. දන්නවනෙ සින්දුවක කෝඩ්ස් තැනින් තැනට වෙනස් වෙනවා. ඉතිං ඒ වෙනසට අපිත් ගරු කරලා ගිටාර් එකේ අදාළ කෝඩ් එක මාරු කර කර අල්ලන්න ඕනෙ. එතකොට තමා ඔයාලට කවුරු හරි ගිටාර් එකක් ප්ලේ කරනවා දකිද්දි ඒ කෙනා හොඳට ප්ලේ කරනවා කියල දැනෙන්නෙ. ඔන්න දැන් සිංදුවේ මේන් කෝඩ් එක අල්ලං ඉන්නවා. ඊළඟ කෝඩ් එකට මාරු වෙන්න. මොන කෝඩ් මාරු කිරිලිද, ඊළඟ කෝඩ් එක තියෙන්නේ ගිටාර් එකේ ෆ්රෙට් ගානක් එහායින්. අනික එතෙන්ට ඇඟිලි ටික අරං ගියා කියමුකෝ. එතැනට යද්දි ඇඟිලි ටික කොහෙවත්.කීප පාරක් උතසහ කලත් වැඩේ හරි ගියේ නෑ. අපිට තේරුණා තව මොනවහරි කෝඩ්ස් අල්ලන ක්‍රම තියෙනවා කියල. අතඇරියේ නෑ. ආයෙත් හෙව්වා වෙන මොනවද කෝඩ්ස් අල්ලන්න තියෙන රටා කියල. ඒ පාර තව ක්‍රම දෙකකට කෝඩ්ස් අල්ලන්න අපි හොයා ගත්තා. ඒවගෙත් ඇඟිලි තියෙන හැටි අපිට ලේසි විදිහට හදා ගත්තා. ඔන්න දැන් අපි ගිටාර් කෝඩ්ස් වර්ග තුනක්ම දන්නව. ඔහොම අපි ආයෙත් සැරයක් කෝඩ්ස් මාරු කරන වැඩේ පුරුදු වෙන්න පටන් ගත්තා. මේ පාර සිංදුවේ කෝඩ්ස් ටික ළඟ ළඟ අල්ලන්න පුළුවන් විත්තිය දන්නව. ඒ උනාට දෙයියනේ ඕවා කොහොමද ඔක්කොම එක පාරට මතක තියාගන්නෙ. 

එකම කෝඩ් එකක් ක්‍රම කීපෙකට අල්ලන්න පුරුදු වෙන්න ඕනෙ. ඒ මදිවට තියෙන්නෙ එක එක තැන්වල. ඒ විදිහෙ කෝඩ්ස් මුලිකව වර්ග දෙකයි. එක වර්ගෙකින් කෝඩ්ස් දොළහයි. හැම වර්ගයක්ම අල්ලන්න ක්‍රම තුනයි. උදාහරණයක් විදිහට මේජර් කෝඩ්ස් දොළහ අල්ලන්න ආකාර තිස් හයක් තියෙනවා. ඒ වගේම මයිනර් කෝඩ්ස් වලටත් ක්‍රම තිස් හයක්. අපි සිංදුවක් ප්ලේ කරන්න යද්දි ඔය ඔක්කොම ක්‍රම අල්ලන විදිහ ගැන අවබෝධය වගේම මතකය තියෙන්න ඕනෙ. ඉතිං ඔය මතකය සහ අවබෝධය ගන්න කෝඩ්ස් ටික හොඳට වෙනම ප්‍රැක්ටිස් කරන්න තීරණය කළා. ඔන්න ඉතිං දැන් මැරීගෙන ප්‍රැක්ටිස්. ඕක කළා කියල අපිට හම්බෙන දේකුත් නෑ :D. ඒත් ඒ කාලෙ අපි ඒක කොහොම හරි ආසාවෙන් කළා. ඔන්න ප්‍රැක්ටිස් කිරිල්ල කොච්චරද කිව්වොත් ඇඟිලි තුඩු ගිටාර් එකේ ස්ට්‍රින්ග්ස් වලට කැපිලා කාණු වගේ තිබ්බෙ. පුදුම සනීපයක්. ආයෙ ගිටාර් එක අලන්න බෑ සතියක් විතර යනකං. ඇඟිලි තුඩු රිදෙනවා. ඒත් වැඩේ අතෑරියේ නෑ.  ඔහොම කාලෙ ගියා. ඒත් එක්කම අපි දෙන්නගෙ කැපවීම නිසාම අපිට කෝඩ්ස් ප්ලේ කරන්න පුළුවන් උනා ඕන ක්‍රමේකට. දැන් මගේ ඕගන් ගහන වැඩේ පැත්තක. ගිටාර් එක තමා දැන් අලුත්ම පිස්සුව. ඔහොම යද්දි දන්නෙම නැතුව අපේ ඕ ලෙවල් විභාගේ අත ළඟටම ආව. ඊට පස්සෙ ඔක්කොම පැත්තකින් තියල ඒකට ලැහැත්ති උනා. 

ඔන්න දැන් ඕලෙවල් විභාගේ අන්තිම දවස. එදාට ඉතිං ඉස්කෝලෙ එක යුද්දයක්නෙ. නිල් ගහගෙන, ගෝල්ඩ් ඩස්ට් හලාගෙන හෙන වැඩ ගොඩයි. අපිත් ඉතිං නිල් නාගෙන සහ ගහගෙන ගියා යාලුවගෙ ගෙදර. ගිහිල්ල ඉතිං පොඩි සිංදුවක් එහෙම කියල ඉද්දි වෙලාවත් හෙමීට ගෙවුනා. අන්තිමේට මම ඒ යාලුවගෙ ගෙදරින් පිටත් වෙන්නෙ උගෙ ගිටාර් එකත් ඉල්ලගෙන :D. ඇත්තටම පොර මට ඒ වෙලාවෙ ගිටාර් එක ඉල්ලපු ගමන්ම දුන්නා. එක්කො ඌට එක එපා වෙලාද දන්නෙ නෑ ඊට මාස තුනකට විතර කලින් කෑව කට්ට මතක් වෙලා. කොහොම හරි මම හරිම සතුටින් වගේම පරිස්සමෙන් තමා ගිටාර් එක අරන් ගියෙ අපේ ගෙදර. ගෙදර ගියපු වෙලේ ඉඳන් මගේ වැඩේ ගිටාර් එක ගහන එක. ඕලෙවලුත් ඉවර නිසා කිසි ප්‍රශ්නයකුත් නෑ. ඔන්න ඔය කාලෙදි මම තීරණය කළා මොන ගේමක් හරි දීල කෝඩ්ස් මාරු කරන්න හොඳටම පුරුදු වෙනව කියල. මම ඒක බොහොම උනන්දුවෙන් කළා. මම හිතන්නෙ මම ගිටාර් ඉගෙන ගැනිල්ල තරම් හොඳට වෙන කිසි වැඩක් ආසාවෙන් කරල නැතුව ඇති. කොහොම හරි මගේ ජීවිතේ පැහැදිලිම වෙනසක් කලේ ඔය ගිටාර් එක. අදටත් මට ඒ ගිටාර් එක (දැන් නම් ඒක නැතුව ඇති) සහ ඒ යාළුවට තියෙන්නෙ ලොකු හිතවත්කමක්. මොකද ඒ දෙන්නා මට හම්බුනේ නැතිනම් මට සමහර විට තාම ගිටාර් ගහන්න බැරි වෙන්න පුළුවන්. ඉතිං මම කොහොම හරි ගිටාර් එක අරන් ගිහින් මාසයක් විතර යනකොට සිංදු වාදනය කිරීමට පුළුවන් තත්වෙට පුරුදු උනා. ඒ පුරුදු වීමේ ප්‍රතිපල තමා දැන් ඔයාල ඔය දකින්නෙ ගිටාර් අභ්‍යාස සහ අළුත් සිංදු විදිහට. ඉතිං ඔය සියළු සිද්දි වෙන අතරතුර අපේ බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ප්ලේ කරපු එක්කෙනත් ගෙදර ඩ්‍රම් සෙට් එකක් හදාගෙන පුරුදු උනා. ඕක ගැන මම කීවේ නැත්තෙ මම ඒකට දායක නොවුණු නිසා. අන්තිමේට ඒ ඩ්‍රම් සෙට් එකත් උස්සගෙන අපේ ගෙදර ගෙනල්ලා හයි කරල අපි ආයෙත් බෑන්ඩ් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. එතැනින් පස්සෙ මගෙ සංගීත ජීවිතේ අළුත්ම පිටුවක් පෙරළුනා කිව්වොත් හරි. මම ඒ ටික තව ලිපියකින් කියන්නම්. දැනට මේ ඇති.


ප.ලි:
ඔයාල කැමති මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පංතියකට යනවනම් ඒ උගන්නන දේ මත්තෙම රඳා පවතින්න පුරුදු වෙන්න එපා. ඊට අමතරව තව දේවල් හොයන්න, ඉගෙන ගන්න. පංති යාමට නොහැකි නම් හෝ කම්මැලි නම්, නමුත් තමුන් එය ඉගෙන ගැනීමට ආසයි නම් උත්සාහයෙන් තනියෙන් ඉගෙන ගන්න (ගොඩක් දේවල් වලට මේක ගැලපුනත් සමහර දේවල් වලට ගැලපෙයිද දන්නෙ නැහැ.). තමන්ගෙ උත්සාහය මගින් ජය ගත් මිනිස්සු මේ ලෝකෙ කොච්චරනම් ඉන්නවද. තමන්ට හොඳ අරමුණක් සහ ආශාවක් තියෙනවනම් ඒ අරමුණ ඉෂ්ට කරගැනීමට ඉවසීමෙන්, උත්සාහවන්තව, කැපවීමෙන් වැඩ කරන්න. කවද හරි බලාපොරොත්තු ඉටු වේවි ;).

හැම දෙනාටම ජය වේවා!!! 

32 comments :

  1. ලස්සනට ලියලා + එක හුස්මට කියෙව්ව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හංසමාලි :). එක හුස්මට කියෙව්වා කියන්නෙ මගෙ ලියවිල්ල මම හිතපු තරම්ම චාටර් නෑ වගේ :D.

      Delete
    2. හැම තැනම එකම පේලිය මේ ගෑණි දාගෙන යන්නෙ...මේවා උඹ හිතට ගන්න එපා...

      Delete
    3. @ඇනෝ
      අප්පටසිරි ඒකත් එහෙමද :D. තාම ආව විතරනෙ බ්ලොග් ලෝකෙට. අපි පොඩ්ඩක් කියල ඔය ගති නැති කරල දාමු :). තැන්කියු දැනුවත් කළාට.
      ජය වේවා!!!

      Delete
    4. එහෙම නැහැ. බොරු සණ්ඩු මොකටද? මම කවි ලියල තියෙනව කමෙන්ට් විදිහට නිසදැසුත්. එක හුස්මට කියෙව්වා කිව්ව නම් කියවන්න ඇති. අගෙයි නේ ඉතින් මේක? එහෙම නැහැ. බොරු සණ්ඩු මොකටද? මම කවි ලියල තියෙනව කමෙන්ට් විදිහට නිසදැසුත්. එක හුස්මට කියෙව්වා කිව්ව නම් කියවන්න ඇති. අගෙයි නේ ඉතින් මේක?

      Delete
  2. ප්‍රියන්ති පවසන දේමයි මාත් කියන්නෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සාරිකා :).
      ජය වේවා!!!

      Delete
  3. මනා මේකේ පළවෙනි එක මං තාම කියවනවා.. උඹ දෙවෙනි එකත් දාලා.. අනුකම්පාවක් ඇත්තෙම නැද්ද අපි ගැන.. :(

    ReplyDelete
    Replies
    1. හැක හැක. බොට මේවා කියවන්න වෙලාවක් තියෙන එකයි පුදුමෙ :P. ඇයි යකඩෝ අරහෙ රිප්ලයි කොටලම ඇඟිලි රිදෙනව ඇති (ෆීලින් ජෙලස් ;) ). ඉඩ තියෙන වෙලාවක කියවහන්කො. මේවා ඉතිං ලියල තිබ්බට මොකෝ හොරු අරන් යනවයැ.
      ජය වේවා!!!

      Delete
  4. මනා.. නිවීහැනහිල්ලේ කියවල කොමෙන්ටුව දාන්නම්... දඩිබිඩියේ කියවන එව්ව නෙවෙයි මේවා...

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා :D. එහෙනං එහෙම කොරහන් ;).

      Delete
    2. මනා, උඹ නියම විදියටම ගිටාර් ඉගනගෙන තියනවා.. ස්වර ගැන නියමාකාරව අවබෝධයෙන්. උඹේ අර ටියුටෝරියල් ටික බලන්න ඕන මුල ඉඳන්.
      මට මුලින්ම ගිටාර් එකක් දකින්න අල්ලන්න හම්බුනේ උඩහ ගෙදර අයියගෙන්. ඌට කව්දෝ බොක්ස් එකක් දීල තිබ්බ වයරුත් නැති. ඌට මොන ගිටාර්ද. තාලෙකට උරුහම් බාන්න වත් බෑ. දෙන්න එකතුවෙලා ගෙනාව ස්ටීල් වයර් සෙට් එකක්. මෙලෝ හසරක් නොදන්න අපි ගැටගහල දැම්ම වයර් ගිටාර් එකට. ළඟ ගෙදරක සංගීතෙ කරපු එකෙක්ට කියල ටියුන් කරගෙන එහෙම ඔන්න අපිත් ගහනවා ගිටාර්. එකදවසක් රෑ ටෝං ගාල සද්දයක් ආව. ගිටාර් එක තිබ්බෙ අපේ ගෙදර. බැලින්නං ඒකෙ බ්‍රිජ් එක ගැලවිලා. එහෙම කියල අතාරිනවද අපි. ආයෙත් ඒක අලෝගෙන ගහනවා ගිටාර්. මෙලෝ දැනුමක් නැතුව. ක්ලරන්ස්ගේ මලට බඹරෙකු සේ සිංදුව සද්දෙ අල්ලගෙන එක තැනකින් ගහන්න පුරුදු උනා. ටික දවසක් යද්දි ගිටාර් එක ගහන්න එන්න එන්නම අමාරුයි. ඒ වෙනකොටත් ඇඟිලි කැපිල පදම් වෙලා තිබ්බේ. වයර් වල ඉඳන් ෆ්රෙට් වලට පට්ට දුරයි. බැලින්නං ආම් එක බෙන්ඩ් වෙලා. එකෙන් පස්සෙ ගිටාර් ගැහිල්ල නැවතුනා. පස්සෙ තමයි දන්නෙ. අපි ඒ ක්ලැසිකල් ගිටාර් එකකට ස්ටීල් වයර් දාගෙන ගහල තියෙන්නෙ. ඔව්ව දන්නෙ කව්ද ඒ කාලේ.
      ඕලෙවල් කරලා බටනලා ගහන්න පුරුදු වෙලා ඊට පස්සෙ ඔන්න ගිටාර් උණක් ආව. මගේ යාලුවෙක් ඉන්නවා බෑන්ඩ් එකක කීබෝඩ් ගහන. ඌ හෙන වැඩකරු. ඌට කිව්වා ගිටාර් එකක් ගන්න ඕන කියල. ඌට තෑගි හම්බුන අලුත්ම කොරියන් ගිටාර් එකක් බොහොම අඩු ගානකට මට දුන්න. මට හොඳට මතකයි ඒක දෙනකොට ඌ කිව්වා කතාව. බෑන්ඩ් ප්‍රැක්ටිස් කරන කට්ටිය ඉන්න තැනම මගෙන් ඌ ඇහුවෙ "සජ්ජ , උඹට කොන්ඩේ වවන්න අදහසක් එහෙම තියනවද?" මං කිව්ව නෑ කියල. "උඹට හිතෙනවද මේක එල්ලගෙන බයික් එකේ එහෙමෙහෙ යන්න? ( ඒ ගිටාර් එක එක්ක කොලිටි ගිටාර් කවර් එකකුත් ඌ මට දුන්න , එක පිටේ එල්ලන් යන්න පුළුවන් )" මම කිව්ව නෑ කියල. "එහෙනං උඹට ගිටාර් ගහන්න පුළුවන්" .. මේ කතාව ඌ අදත් මතක් කරනවා. බෑන්ඩ් කතන්දර නං කියලා වැඩක් නෑ. ඔව්ව වැඩිය කියවන්න ගියොත් උඹේ එකට වැඩිය මේක දිග වෙයි. උඹට වගේ ඉයර් එකට කෝඩ් අල්ලන්න ලීඩ් ගහන්න මට බෑ. කෝඩ් ටික දුන්නොත් යන්තම් සිංදුවක් වනාගන්න විතරයි මට පුළුවන්. සංගීතෙ සම්බන්දෙන් දිගටම ලියපං. ඒවා බොහොම රසවත් දේවල්. ජයවේවා...

      Delete
    3. ස්තුතියි සජ්ජො.

      අඩේ උඹටත් මගෙ වගේ කතාවක් එහෙනම් තියෙන්නෙ. ඇත්තටම ඒ උණ ගැන නම් කියල වැඩක් නෑ. හැබැයි ඒ උණ නොතිබෙන්න අපිට අද මෙහෙමවත් ගිටාර් එකක් ප්ලේ කරගන්න බෑ. ක්ලැසිකල් ගිටාර් එකට ස්ටීල් වයර් දාල ගහල වෙච්ච වින්නැහිය මරු :D. දවසක ඔය සිද්දි ටිකකුත් ලියහන් උඹේ බ්ලොගේ. මිනිස්සු ඕව දැනගන්න ඕනේ(ගායකයෙක් වෙන එකෙයි වාදකයෙක් වෙන එකෙයි අමාරුකම එහෙම නැත්තන් වෙනස).
      අර බෑන්ඩ් එකේ යාළුවා නියම ප්‍රශ්න දෙකක් අහල තියෙන්නෙ. බහුතරයක් මිනිස්සු හිතන් ඉන්නෙ එහෙම කරන එකා තමා පට්ටම ඩයල් එක කියල :D.

      අනිවා මම මියුසික් ගැන දිගටම ලියනව. මොකද මම මේ බ්ලොග පටන් ගත්තෙ මියුසික් ගැන කියල දෙන්නමයි(මම දන්න මියුසික් ටික). අනික මිනිස්සු ටිකක් හරි මාව අඳුරගත්තෙත් මියුසික් නිසා. ඉතිං කොහොමෙයි ඒක ගැන නොලියා ඉන්නෙ :).
      ජය වේවා!!!

      Delete
  5. දිරාගිය ගිටාරය
    පුරාවට හිත දිව්වා
    ගලා ගිය හීන ගොඩ
    වෙලාගෙන උන්නා

    සංගීතෙට ස්වර හතයි
    අම්මාගේ බැණුම් ගොඩයි
    හරියට ගැහුවොත් ගොඩ තමයි
    බෑන්ඩ් එක අපේ වස්තුවයි

    ඉගෙන ගත්තු සිංදු සීමිතයි තමයි
    වෙඩින් එකයි මාසෙටම ඇතී
    නටන නංගිලා ඒවා දන්නැතී
    කලාවට හරී ආදරෙයි අපී

    ReplyDelete
    Replies
    1. අඩේ කිචී ලස්සන කවි ටිකක් මචං. මට උඹේ බ්ලොග පැත්තෙ එන්න බැරි උනා අර අටං අයියගෙ තර්ජනෙන් පස්සෙ :D. අද එනව හොඳේ.
      ජය වේවා!!!

      Delete
  6. මන්නාට කියන්න,මට අදටත් ඔය මියුසික් උන තියෙනවා, ගිටාර් ඉගන ගන්න හදුවෙ 1980 දශකෙ මුල් කාලෙ,මමයි යාලුවො සෙට් එකකුයි.මම වැඩෙට බස්සෙම ගිටාර් එකකුත් අරගෙනම.හිපියෙකුගෙන් නිකන් වගේ ඒක ලබුනෙ,ඉතින් ක්ලාස් ගියා,මාස ගානක් ගියත්,සී,ඩී,එෆ් වලින් එහාට කොහොමවත් බැ.මාත් එක්ක ගිය යාලුවො කැලිප්සෝ බෑන්ඩ් වල ප්ලේ කරත්දීත් මම අතනමයි.මට තේරුනා මගේ ඇගේ මියුසික් නෑ කියල,හැබැයි යාලුවො සමහරු හුගාක් දුරට ගියා,හැබැයි මට අර තේ පෙට්ටි බේස් එක නම් හොදට ගහතෑකි,හැබැයි ඉයර් එකට කෝඩ් වලට නොඉවෙයි.දැන් මෙහෙ ඉදන් බීට්ල්ස්,ශැඩොව්ස්.ක්ලිප් රිචඩ්ස් ලගෙ ඔරිජිනල් මුසික් මුසික් එකතු කරනවා,මතකෙ අලුත් උන නිසා දිගටම ලියවුනා.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. රංජන් අයියා මගෙ ගිටාර් පෝස්ට් එකකට හෝ දෙකකට කමෙන්ට් කරලා තිබ්බා වගේ මතකයි :). කොහොම උනත් ඔන්න ආයෙත් සාදරයෙන් පිළිගන්නවා හොඳේ.
      අම්මෝ 80 දී ඉගෙන ගන්න තැන් වැඩිය තියෙන්න නැතුව ඇති නේද. හැබැයි ඒ කාලෙ ඉතිං සුපිරිම කට්ටිය ඉන්න ඇත්තෙ ගන්නන්න. ගිටාර් නොගැහුවත් අයියා මියුසික් කරනවනෙ තාම. මට හිතෙන්නෙ නම් ඒක නිසා අයියාගෙ ඇඟේ මියුසික් තිබිල තියෙනව. නමුත් තෝරාගෙන තියෙන්නෙ වැරදි භාණ්ඩයක් :D. කොහොම හරි පැරණි මතක අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි. දිගටම ඇවිත් යන්න එන්න.
      ජය වේවා!!!

      Delete
    2. //හැබැයි ඒ කාලෙ ඉතිං සුපිරිම කට්ටිය ඉන්න ඇත්තෙ ගන්නන්න//
      ඔතන ගන්නන්න කියන එක උගන්නන්න වෙන්න ඕනෙ.

      Delete
  7. අපේ ගෙදරත් ගිටාර් එකක් තියනවා .. හැබැයි වයර් නෑ ......... එහෙම කියල අපි නිකං ඉන්නෙ නෑ ...ගිටාර් එකට ගහ ගහ සිංදු කියනවා .....

    ReplyDelete
    Replies
    1. @ඇනෝපිලිස්
      අඩේ අපරාදෙනෙ. ඕකට වයර් සෙට් එකක් දාගෙන ටිකක් පුරුදු වෙන්න ට්‍රයි එකක් දුන්නොත් මොකෝ. හැබැයි බොක්ස් එකෙන් ලස්සනට බෙර ගහන්නත් පුළුවන් තමා. නිකං අර බොක්ස් ඩ්‍රම්(තේකොල පෙට්ටිය වගේ එක උඩ ඉඳන් අතින් තට්ටු කරන එක) එක වගේ තමා. මාර ලස්සන ටෝන්ස් ගන්න පුළුවන්.

      Delete
    2. මාත් ගිටාර් ගහනවා ඔය ක්‍රමයට

      Delete
    3. @අටං අයියෙ
      පට්ටනෙ :D. හැක් හැක්.

      Delete
  8. අනේ මනෝ අදනං ගිටාර් කොඩ් වලට බර දීලා වැඩි හින්දා සමහර එව්වා තේරුනේම නෑ. මොකද ඔය ගිටාර් සෙල්ලමනං මට අල්ලල ගියේම නෑ. අන්තිමට දීපු අවවාදයනං සහතික ඇත්ත. සංගීතය නෙමේ ලයිෆ් ස්කිල්ස් ඕනි එකකට. මගෙ යාලුවො දෙන්නෙක් ඉන්නවා වෑන් එක සෙකන්ඩ් එකේ කිලෝ මීටර් 2-3 යන එකෙකුයි, වලක් දැක්ක ගමන් බයික් එකේ ක්ලච් එක අල්ලලා නිතරම කේබල් කඩාගන්න එකෙකුයි. කවදා හරි ලැබුණු වැරදි උපදේශයක් හරි වැරදියට තේරුම්ගැනීමක් දැන් ලයිෆ් ස්කිල්ම වෙලා.

    ReplyDelete
    Replies
    1. මම මේ කොටස ලියද්දිත් ඕක හිතුවා. කෝඩ්ස් ගැන ගොඩ දෙනෙක් නොදන්න නිසා මේක රසවත් වෙන එකක් නෑ කියලා. ඒත් මට මේ සිද්දිය නොලියා බැහැ. ඕක ඉගෙන ගත්ත විදිහ කියන්නෙ නැති උනොත් මගේ මේ කතාවෙ හිස්තැනක් වගේ. අනික මම මේක ලිව්වෙ ගිටාර් ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්නවනම් එයාලටත් ටිකක් ගැම්මක් එයි කියල හිතල :). කෝඩ්ස් ගැන ආයෙ කියන්න දේවල් නෑ. ආයෙ තියෙන්නෙ කතා විතරයි :D.
      අප්පා එහෙමත් එවුං ඉන්නව නේද. අපිට උනත් ඉතිං වැරදි උපදෙසක් ලැබුණොත් ඔය වගේ දේවල් කරන්න බැරි නෑ.
      ජය වේවා!!!

      Delete
  9. අපේ කොල්ලන්ට ඉගන්නුවෙ ක්‍රිස්ටොෆර් කියල කෙනෙක්, ගිටාර් එක එයාගෙ ජීවිතේ වගේ. ඔහු මුදල් බල්ලාගෙනම ඉගන්නුව කෙනෙක් නෙවෙයි.ඔහු අපේ ගමේ ස්ටේශන් එකට පත්වෙලා ඇවිත් තිබුනෙ පිට පලාතකින්.1972 විතර.පස්සෙ විවාහයක් වෙලා එහෙම පදින්චි උනා.උපදෙස්දුන් තව කෙනෙක් එවරාඩ් වනිගසේකර,ශානිකා වනිගසෙකරගෙ තාත්තා,මෙ දෙන්නටම ඒකාලෙ තිබුනු සියැක් වගේ බෑන්ඩ් එක්ක කනෙක්ශන් තිබුනා, අපෙ එවුන් දෙන්නෙක් පට්ට ගොතයි,නමුත් සින්ග් කරන කොට මොනම ගොතයක් වත්නෑ,(ආත්මා ලි..වගේ)(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. //මුදල් බල්ලාගෙනම ඉගන්නුව කෙනෙක් නෙවෙයි//
      අද කාලෙ නම් මොකක් කරන්න ගියත් සල්ලි තමා ඉස්සරවෙලාම දෙන්න ඕනෙ. ඒ වගේ මුදල ගැන නොහිතා ඒ වෙනුවෙන් කැප වෙන මිනිස්සු නැති තරම්.

      රංජන් අයියගෙ මතකයන් අපිත් එක්ක කියල අළුත් කර ගත්ත එක වටිනව. මොකද ඒකෙන් රංජන් අයියත් අතීතෙ මතක් කරල තෘප්තිමත් වෙනව ඒ වගේම අපි රංජන් අයිය කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියල දැන ගන්නව. ඔන්න දැන් මං තව දෙයක් දැන ගත්තා. මට හිතෙන විදිහට රංජන් අයියට වයස මගෙ වයස වගේ එක හමාරක් වත් වැඩි ඇති හි හි :D.
      ජය වේවා!!!

      Delete
  10. මරු ඉතිහාස කතාව මනා! අද තමයි කොටස් දෙකම කියෙව්වෙ.

    ReplyDelete
    Replies
    1. තැන්කු බස්සියො. ඔන්න ඔහොමළු උනේ ඉතිං :).
      ජය වේවා!!!

      Delete
  11. මම තවමත් ඉගෙන ගන්නවා. ............මනෝ ප්‍රසිද්ධ ගායකයෙක් වෙනකොට අපට මේ ව මතක් කර ගන්නවත් බැරිය.
    http://nelumyaya.com/?p=2469

    ReplyDelete
    Replies
    1. තැන්කියු අජිත් අයියෙ.

      //මනෝ ප්‍රසිද්ධ ගායකයෙක් වෙනකොට අපට මේ ව මතක් කර ගන්නවත් බැරිය.//
      හැක් හැක් :D. අප්පේ අජිත් අයියා හිතල තියෙන දුර :D.

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.