Tuesday, June 16, 2015

නිදහස?

නිදහස is that freedom

කොළඹින් වැලිමඩ බලා රාත්‍රී 10 ට පිටත් වන අර්ධ සුඛෝපබෝගී බස් රථයේ ක්‍රියාත්මක වෙමින් තිබූ රේඩියෝවේ හඬ බසය තුළ හීන් හඬින් ඇසෙයි.  නිමල් බස් රථයේ පිටුපස ආසනයේ වම් කොනකට වී තරමක කල්පනාවක ගිලී සිටියේය.බස් රථයේ ආසන සියල්ලකම වාගේ එකා දෙන්නා ඉඳගෙන සිටියි. අයෙකු කෙටි නින්දකට වැටී සිටියි. තවකෙකු ජංගම දුරකථනය කනේ ගසාගෙන මල් යායක තනිවී ඇත. තව කීප දෙනෙකු කෙටි ආහාරයක් ගනිමින් පසු වෙයි. මේ සියල්ල මැද්දේ නිමල් තමන්ගේ බර කල්පනාවෙන් එපිට මෙපිට පනිමින් බසය ගමන් ආරම්භ කරනතුරු වෙලාව බලමින් සිටියි. බසය තුළ සියුම් කසුකුසු කිහිපයකි. කතාබහ සියල්ල අපැහැදිළි නමුත් සිංහල සහ දමිළ ලෙස භාෂාවේ වෙනස පැහැදිලිව හඳුනා ගැනීමට ඔහුට හැකි විය. වැලිමඩ බලා පිටත්වන බසයක් බැවින් වතු ආශ්‍රිතව වාසය කරන දමිළ මිනිසුන් සහ ගැහැණුන් කිහිපදෙනෙක්ම බසයේ සිටින බව නිමල්ට පෙනුණි.

මේ කාලය අතරතුර බසයට ගොඩවූ වෙළෙන්දන් කිහිප දෙනෙකු විවිධාකාර දේවල් අලෙවි කිරීමේ කටයුතු වල යෙදී සිටියහ. බසය පිටත් වීමට තවත් විනාඩි දහයක් පමණ ඇත. බසයට ගොඩවූයේ තරුණ යුවළකි. දෙදෙනාටම එකට ඉඳගෙන යෑමට අසුනක් පිරික්සමින් බසයේ ඉදිරිපස සිට පිටුපස බලා වෙළෙන්දන් අතරින් තමා දෙසට එන තරුණ යුවල දෙස නිමල් තරමක උනන්දුවෙන් බලා සිටියේය. ඔවුන් දෙදෙනා පෙනුමෙන් වතු දමිළ බව නිමල්ට අවබෝධ විය. සෑම අසුනකම එක පුද්ගලයෙකු හෝ වාඩිවී සිටි බැවින් ඔවුන් දෙදෙනාට එකට ඉඳගැනීමට ආසනයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුන්ගේ මුහුණුවල ස්වභාවයෙන්ම නිමල්ට අවබෝධ විය. සෙමෙන් තමා අසුන් ගෙන සිටි අවසාන ආසනය වෙත පැමිණි යුවළ මදක් ආසනයේ දෙකොන පිරික්සන්නට විය. ආසනයේ එක් පැත්තකට වන්නට තරුණයන් තිදෙනෙක් අසුන්ගෙන සිටියි. අනෙක් පසින් ඉඳගෙන සිටින්නේ නිමල්ය. නිමල් මේ වන විට බසයෙන් ඉවත බලාගෙන සිටියි. තරුණ යුවළගේ බලාපොරොත්තු කඩවුණු ස්වභාවයකි. දමිළ තරුණිය තම පෙම්වතාට නිමල් දෙස බලමින් මොනවදෝ රහසින් මෙන් කොඳුරන හැටි නිමල්ට ඡායාවක් ලෙස පෙනෙයි.

"එයාට මෙහෙට වෙලා අපිට අයිනෙ ඉඳගන්න සීට් එක ඉල්ලගන්නකෝ" වැනි දෙයක් පවසන බව දමිළ බසින් තම පෙම්වතාට තොන්දොල් වෙමින් කතා කරන ආකාරයෙන් නිමල්ට දැනෙන්නට විය. නිමල් බසයේ ජනෙල් කවුළුවෙන් එපිට බලාගෙනම හිඳියි. තම පෙම්වතියගේ ඉල්ලීමට සවන් දුන්නත් එය ඉටුකිරීමට තරුණයා මැලි වන බවක් නිමල්ට වැටහිණි. තමන් සිංහල තරුණයෙකු වූ නිසා, සිංහලයන් යනු තමන්ගේ සතුරන් ලෙස සමහරවිට ඔහු තවමත් විශ්වාස කරනවාද, නැතිනම් සිංහලයන්ට ඇති බියමුසු හැඟීමක් නිසා එසේ කරනවාද යන්න නිමල්ගේ හිතේ දෙගිඩියාවකි. නිමල් හට කිසිවක් නොපැවසූ මේ පෙම්වතා අවසානයේදී තම පෙම්වතියට යමක් දමිළ බසින් පැවසීය.

"එයා සීට් එක දෙන එකක් නෑ. පේන්නැද්ද හිනාවක් නැතුව රවාගෙන අහක බලන් ඉන්න හැටි. වෙන කරන්න දෙයක් නෑ, අපි මේ සීට් එකේම මැදින් ඉඳන් යමු." වැනි දෙයක් පවසන්නට ඇතැයි එම කතා විලාසය අනුව නිමල්ට වැටහිණි. තම පෙම්වතාගේ ඇඟට බර වී ආදර වදන් තෙපුලමින් බසයේ ගමන් කිරීමේ අහිංසක බලාපොරොත්තුව පන්හිඳකින් ලියූ මුතු අකුරු පෙළකට දිය බිඳක් ඉසුනාක් මෙන් බොඳ වී යන්නට ඇතැයි නිමල්ගේ සිතට දැනෙන්නට විය. එයින් තම සිත තරමක් උණුවුවත් ඒ බවක් මුහුණේ එකඳු ඉරියව්වකින් වත් නොපෙන්වීමට නිමල් වග බලා ගත්තේය. තරුණිය තමන්ගේ ළඟිනුත්, තරුණයා අනිත් තරුණයන් තිදෙනාගේ පසිනුත් අසුන් ගත්තත්, තරුණිය ඇයගේ එක නූල් පටක්වත් තමන්ගේ ඇඟේ නොගෑවෙන සේ අසුන් ගෙන සිටින බව නිමල්ට දැනුණු නිසා නිමල් තරුණියගේ මුහුණ දෙස හැඟීමකින් තොරව බැල්මක් හෙළීය. ඇය නිමලුත් ඇයත් අතර මද හිඩැසක් තබා ගෙන තම පෙම්වතාට තුරුල් වී සිටියේ තමාව ගිලගැනීමට පැමිණි රාක්ෂයෙකුගෙන් බේරීමට මෙනි. නිමල්ගේ හිතට නැවතත් ඒ කුමක් නිසාද යන දෙගිඩියාව පැන නැගෙන්නට විය.

නියමිත වෙලාවට බසය පිටත් වුනි. තවමත් තරුණ යුවළ ඉඳගත් ආකාරයටම එකිනෙකාට වඩාත් සමීපව සිටියි. තමා හා තරුණිය අතර ඇති පරතරය එලෙසම තබා ගැනීමට නිමල් වග බලා ගත්තේය. බසය වේගයෙන් ඉදිරියට යයි. ඉඳ හිට හිටිවනම බ්‍රේක් පාරවල් ගසන විට බසයේ සිටින උන් තමාගේ ඉදිරි අසුන් සිප ගන්නට විය. අවසන් ආසනයේ මැදට වන්නට සිටි තරුණ යුවලට සිප ගැනීමට ඔවුන් ඉදිරියේ අසුනක් නොමැත. ඉදිරියට ව්සිවී බිම සිප ගැනීමට නම් කිසිම බාධාවක් නැත. සිප ගන්නට උවමනාම නම් සිටින්නේ තම ආදරණිය පෙම්වතා සහ පෙම්වතිය පමණි. මේ බව අවබෝධ කරගත් පෙම්වතා තමාගේ දකුණු පසින් ඇති ආසනයේ ඇති යකඩ බටය තදින් අල්ලාගෙන අනිත් අතින් තම පෙම්වතිය තදින් අල්ලා ගත්තේය. නිමල් තමාගේ ජංගම දුරකතනයෙන් ගීතයක් අසමින් කවුළුවට එපිටින් වේගයෙන් පසු කරන අන්දකාර දර්ශන දෙස බලාගෙන සිටියි.    

කාලය කෙමෙන් ගත වෙද්දී බසයේ රියදුරු එක වරම ගැසූ බ්‍රේක් පහර නිසා නිමල්ගේ දකුණු උරහිසට එකවරම බර ගතියක් දැනෙන්නට විය. නින්දේ සිටි පෙම්වතාගෙ අතින් ගිලිහුණු තරුණිය නිමල්ගේ උරයේ බරවී සිටී. නිමලුත් තරුණියත් අතර ආසනයේ තිබූ හිස් අවකාශය සොයා ගැනීමටවත් නොමැත. ඇය බර නින්දකට වැටී ඇති නිසා අවදි නොවන්නට හේතුව වන්නට ඇතැයි නිමල්ට සිතුනේ ඇය තමාගේ උරයට බර වී සිටි අසමමිතික ස්වභාවය නිසාය. පෙම්වතාද බර නින්දක පසුවෙයි. තරුණිය නින්දෙන් අවදිකර තමාගේ ඇඟෙන් ඉවත් වන ලෙස පැවසීමට අවශ්‍ය උවත් එසේ කිරීමට හිත නොදුන්නේ කිමදැයි නිමල්ට තේරුම් ගැනීමට නොහැකි විය. එසේ ටික වෙලාවක් සිටින විට තරුණියගේ උකුල මත තිබූ බෑගය ලිස්සා බිමට පතිත විය. නමුත් තරුණිය අවදි නොවිණි. නිමල් සෙමෙන් තමන්ගේ වම් අතින් ඇයගේ ඇඟට තට්ටුවක් දමා ඇයව නින්දෙන් අවදි කරනු ලැබීය. අවදි වුනු සැණින් නිමල්ගේ ඇඟෙන් මිදුණු ඈ "Sorry" යනුවෙන් දමිළ ඌරුවට පැවසුවේ ලැජ්ජාවෙන් හිනාවකින් මුහුණ සරසා ගන්නා අතරතුරදීය. බිම වැටුණු බෑගය නිමල් විසින් ඇයට රැගෙන දුන් අතර "Thank you" කියමින් එය ගන්නා විට ඇයගේ පෙම්වතාද නින්දෙන් අවදි වි සිටියේය. 

මේ වන විට බසය නිමල්ගේ බස් නැවතුම් පොළට තරමක් ආසන්න වෙමින් ඉදිරියට ඇදෙන්නට විය. රාත්‍රියට අර්ධ සුඛෝපබෝගී දුරගමන් සේවා යන බස් රථ සාමාන්‍ය බස් රථ වලට වඩා වැඩි වේගයකින් ධාවනය වන නිසා අඩු කාලයකින් අවශ්‍ය නගර කරා ළඟා වීමේ හැකියාවක් ඇත. දැන් වෙලාව රාත්‍රී 12 ට ආසන්න වෙමින් පවතී. බස් රථයේ ගමන් ගන්නා මගීන් කිහිප දෙනෙක් හැර අනෙක් සියළු දෙනාම තද නින්දේ පසු වූහ. රියදුරු විසින් බස්රථයේ ඇතුළත විදුළි පහන් නිවා දමා රාත්‍රී කාලයේ දල්වන මද එළියක් සහිත විදුලි පහන් දෙකක් පමණක් දැල්වූ හෙයින් රථය තුළ අඳුරු ස්වභාවයක් පැවතුනි. තරුණ යුවළත් නිමලුත් අවදියෙනි. නිමල් නැවතත් ගීත වලට සවන් දෙමින් කවුළුවෙන් පිටතට දෑස් යොමා සිටියි. තරුණ යුවළ මද අඳුරේ පෙම් සුව විඳීමට සැරසුනත් තමන් අසල සිටින සිංහල තරුණයා බලාවිදෝ යැයි සැකයෙන් එකිනෙකාගේ මුහුණ බලමින් පසු වන බව නිමල්හට තේරුම් ගිය අතර යුවළ ඒ සමග තමන් දිහාද කිහිප විටක් බලමින් පසුවන බව ඔහුට වැටහිණි. 

සමාජයේ පෙම්වතුන්ට නිදහසේ පෙම්සුව විඳීමට අවසරයක් නැත්තේ තමන් ජීවත් වන සමාජයේ මිනිසුන් ඒ දෙස බලන්නේ පුදුමයකින් සහ වැරදි ඇසකින් නිසා යැයි නිමල් කල්පනා කළ අතර එහිම එක අවස්ථාවකට තමන්ට එහා පැත්තේ සිටින දමිළ යුවලටද මුහුණදීමට සිදු වී ඇති බව ඔහු තේරුම් ගත්තේය. දමිළ සමාජයේ සහ සිංහල සමාජයේ පෙම්සුව විඳින පෙම්වතුන් දෙස බලන්නේ එකම කෝණයකින් යැයි වරෙක ඔහුට සිතුණත් දමිළ සමාජයේ ඒ සඳහා ඇති නිදහස ඊට වඩා ඇහිරී ඇති බව ඔහුට තේරුම් ගියේ ඔවුන්ගේ ආගමික විශ්වාස සහ උග්‍ර කුල භේදය නිසා බැවිනි. තවත් මෙම තරුණ යුවළට බාධාවක් නොවී මේ කෙටි කාලයට හෝ නිදහසේ ඔවුන්ගේ පෙම්සුව බුක්ති විඳීමට ඉඩදිය යුතු යැයි තීරණය කළ නිමල්, තමා අසුන්ගෙන සිටි තැනින් නැගිට බස් රථයේ ඉදිරිපස දොර වෙත පිය නගන්නට විය. ඒ සමගම තරුණ යුවළ නිමල් අසුන් ගෙන සිටි පිටු පස ආසනයේ වම් කොනට ඇදෙන්නට විය.

~~~ නිමී ~~~

38 comments :

  1. පොදු තැන්වල අනවශ්‍ය නිදහසවල් බුක්ති විඳින එකට මං එකඟ නැති උනත් මුළු කතාවම හොඳයි. ඒ වගේම මට මළම පනින එක කෑලක් තියෙනවා නොකියම බෑ..
    //රාත්‍රියට අර්ධ සුඛෝපබෝගී දුරගමන් සේවා යන බස් රථ සාමාන්‍ය බස් රථ වලට වඩා වැඩි වේගයකින් ධාවනය වන නිසා අඩු කාලයකින් අවශ්‍ය නගර කරා ළඟා වීමේ හැකියාවක් ඇත//
    වැලිමඩ බදුල්ල වගේ පැතිවලට යන බස් වලට ඕක අදාල නෑ. නොදකින් නියම 'කාලකන්නි'. සෙමි කියල බෝඩ් ගහගෙන යන්නෙ බූමිතෙල් කරත්ත වගේ. කරේ හිටං සෙනග. හාමුදුරුවරු, බඩ දරු අම්මල, ළමයි වඩාගෙන යන අම්මල ගන්නව රුපියල් විස්සේ තිහේ කෑලිවලට.. මුල් හරියේ සීට් වල ඉන්න පිරිමි නැගිටල දෙන්න එපැයි සීට්. ඊට පස්සේ උන් බහිනකොට කවුරුහරි වයසක උන්දැ කෙනෙක් හරි මූණ කඩං වැටිච්චි ගෑණු කෙනෙක් හරි ආයි වාඩි වෙනව. සමහර වෙලාවට කොළඹින් නැගල වාඩිවෙන එකා මහරගම හරියෙන් හිටගෙන අන්තිමට බණ්ඩාරවෙලට වගේ යනකම්ම හිටං යන්න වෙනවා. 1955ට කොච්චර කතා කරත් වැඩක් නෑ ඒකට වැයවෙන අපේ බිල අපරාදේ. අම්මප අන්තිමට බදුල්ලේ බස් එකේ ගිය වෙලේ තීරණය කරා පයින් ගියත් රෙද්දෙ සෙමි ලස්සරි වලනම් යන්නේ නෑ කියල.. සීට බුක් කරල යන සුපර් ලක්ෂරි බස් නම් ඔය කියනව වගේ වේගෙන් යනවා.. ඒව යන්නේ දවසට එක පැත්තකට රෑට විතරයිනේ.. ගාන තුන් ගුණයක් සාමන්‍ය ගාස්තුව වගේ. ඒත් වටිනව කාලෙත් එක්ක බැලුවම. පෝස්ට් එකට අදාලත් නැතුව හෙන විස්තරයක් ලියවුනා.. මනා බනියිද දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. // මුළු කතාවම හොඳයි.//
      ඇති යන්තං :D. මේවා පර්යේෂණාත්මක මට්ටමේ ලියවිලි. තාම අත්හදා බැලීම් කරන ගමන්. හොඳයි කියන්නෙ නිකං අවෝඩ් එකක් හම්බුනා වගේ :D.

      පොදු ස්ථාන වල අනවශ්‍ය ලෙස නිදහස බුක්ති විඳින උන්ට මාත් කැමති නෑ කමි. නමුත් පොදු ස්ථානයක උනත් ජනතාව නොමැති අවස්ථාවක එවැනි දෙයක් සිදු වෙන්න පුළුවන් නේ? මම ඒකයි චරිත තුන අවදි කරවලා වටේ අය නිදි කෙරෙව්වෙ හැක් :D.

      අර්ධ සුඛෝපබෝගී කියලා වර්ග කරපු බස් අන්තිම බොරුවක්. එකම වෙනස සාමාන්‍ය ගාස්තුව වගේ එක හමාරක් වැඩියෙන් ගාස්තුව අය කිරීම පමණයි. අර කිව්වා වගේ කට කපලා සෙනග ගන්න එකයි, 20 30 කෑලි ගන්න එකයි, කොට කොට ගමන් කරන එකයි බහුතරයක් බස් වලට පොදුයි. නමුත් ඒ අතර කිහිපයක් බස් ඔය ක්‍රමයෙන් බැහැරව නියමිත වේගයෙන්, නියමිත හෝල්ට් වලට පමණක් මිනිස්සු අරගෙන බස් එකේ සෙනග හිර කරන්නෙ නැතුව ගමන් කරන අවස්ථා තියෙනවා. එවැනි බස් වලටම හුරු වුනු මගීන් පිරිසකුත් සිටිනවා.

      මට කමිට බනින්න කිසිම හේතුවක් නෑ :D. ඕනෑම කෙනෙක්ට ඕනෑම අදහසක් දෙසාබාන්න මේ බ්ලොග් එකේ නිදහස තියෙනවා ;)

      ජය වේවා!!!

      Delete
    2. //රාත්‍රියට අර්ධ සුඛෝපබෝගී දුරගමන් සේවා යන බස් රථ සාමාන්‍ය බස් රථ වලට වඩා වැඩි වේගයකින් ධාවනය වන නිසා අඩු කාලයකින් අවශ්‍ය නගර කරා ළඟා වීමේ හැකියාවක් ඇත//
      සෙද්ද තමයි ......
      අපි අඩුම කාලයකින් කොළඹ ඉඳලා ගිහින් තියෙන්න "අමාලි " බස් වල විතරයි නැද්ද කමියෝ ??????
      අඩු වියදමින් වගේම අඩු කාලයකින් ගෙදරට ගියා .ඒ බස් වලට මොනා උනාද මන්දා .අනික CTB බස් ටිකත් ඉක්මනින් යනවා ...කමියෝ උඹට මතකද 2000 /2001 වගේ කලෙක රෑ 12 ට වැලිමඩ යන CTB බස් එකට බෝම්බ තිබ්බා .....එදා ඒ බස් එකේ මමත් හිටියා .පුරුවේ කල පවකට මාව බේරුනා බන් ..

      Delete
    3. හරි හරි බං, ඉතිං මගෙ කතාවෙ තියෙන බස් එක හයියෙන් යනවා කියල හිතා ගනිල්ලකෝ :D.
      සෙද්ද :P

      Delete
  2. බස් වල ආදරයෙ පල නෙලුවට කමක් නෑ ලෙලි දාන්න නාකයි..... හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. හරියට හරි. නැත්තම් ඕක කොටු වැටිච්ච සීන් එකක් වෙන්න පුළුවන්.
      X - Porter මේ පැත්තෙ මිට කලින් ආවෙ නෑ නේ? සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට.
      ජය වේවා!!!

      Delete
  3. මටත් පෙන්නන්ම බැරි වැඩක්..

    ඒත් උඹේ කතාව මල් මසුරන්...

    ReplyDelete
    Replies
    1. මාත් ඔය සීන් එකට කැමති නෑ අප්පා ඕක ලිව්වට :D
      කතාව මසුරන් කීවම නම් සෑහෙන්න සන්තෝසයි.
      ජය වේවා!!!

      Delete
    2. //මටත් පෙන්නන්ම බැරි වැඩක්..//
      මොකක්ද?

      Delete
    3. ආතල් ගන්නකොට උදැල්ල දාන එකනේ ඔය කියලා තියෙන්නේ ..නැද්ද හා

      Delete
    4. @Pra Jay
      හිකිස් :D. මටත් ඕක හිතුනා.

      Delete
    5. @සින්දු
      හ්ම් හ්ම්. ඒක වෙන්නත් පුළුවන් තමා :D

      Delete
  4. එල ද බ්‍රා එකට ලියලා..
    ඉල්ලුවා නම් සිට් එක අයින දෙන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. තැන්කියු මෙන්ඩා අයියෙ :).
      සාමාන්‍යයෙන් එහෙම අයින ඉල්ලුවොත් අපි සළකා බලනවනේ?
      ජය වේවා!!!

      Delete
  5. ලස්සනයි මනා වැඩේ නම් මනාවට පින්තාරු කරල. ඕකට නිමල් නැතුන් " මම" කියල ලියන් ගියා නම් මීටත් ලස්සන වෙයි. දෙමල සිංහල බේදයක් නැහැ ඉතින් සෙනෙහසට මනුස්ස කමට නෙ?
    (Y)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි හංසමාලි :).

      //ඕකට නිමල් නැතුන් " මම" කියල ලියන් ගියා නම් මීටත් ලස්සන වෙයි.//
      කට කට :P. කට පරිස්සමෙන්, අනිත් අය දකීවි :P

      සෙනෙහසට මනුස්ස කමට ජාති, ආගම් භේද නෑ මාත් විශ්වාස කරන විදිහට :)
      ජය වේවා!!!

      Delete
  6. පානදුර - කැටවත්ත බස් එකේ කතාව හොයල කියවමු කට්ටිය

    ReplyDelete
    Replies
    1. මොකද්ද කිචියො ඒ කතාව? හොයල බලන්න ඕනෙ ඒ ගැන.

      Delete
    2. ඒක මුණුපොතේ ෂෙයාර් උනා..

      Delete
    3. @දේශක යා
      එහෙමද? අඩේ මම දැක්කෙ නෑනෙ.

      Delete
  7. ස්කුල් බස් එකේ පෙම් මුල්ල මතක් උනා ....

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ පෙම්මුල්ලෙ ඉඳ ගත්තොත් ඉතින් අදාල බලධාරින්ගෙන් ගුටි කන්න තමා වෙන්නෙ :D

      Delete
  8. සෙනෙහසකට ජාති කුල මල බේද නැතී - ඒ දේ මේ අපි හැම දැනගත යුතුව ඇතී
    මනා ලිව් කතාවෙන් එය පැහැදිව ඇති - පෙම් ලෝකය සුන්දර බව නොරහසකි

    ReplyDelete
    Replies
    1. කවි ප්‍රතිචාරෙ නියමයි නොවැ දිලා නගා
      කියනා ජාති කවියෙන් මේ හැබෑ තමා
      ලිව්වොත් මොකද නංගිත් කවි කතා බතා
      පාළුයි බ්ලොගත් නුඹෙ සති තුන හතරකටා

      :D ජය වේවා!!!

      Delete
  9. ප්‍රේමයට කිසිදු භේදයක් නැත.එනමුත් සිමාව දැන සිටීම යහපති.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මනෝ. හැම වෙලේම සීමාවක් ඇතුලෙ කරන දෙයක් කරන්න ඕනෙ.
      ජය වේවා!!!

      Delete
  10. ප්‍රේමවන්තයින්ට වෙන්වූ තැන් හිඟකම ලොකු අඩුවක්. ආදරයේ ඵල නෙලලා ලෙලි වීසි කරලා යන්නත් පුළුවන් තැන් නෙමේ. නිදහසේ ඉන්න හැකි තැන්. බස්වලනම් මචෝ, ඔය වැඩි සෙල්ලම් දානකොට කවුරුත් බලනවා. නොමිලේ නිලක් බලන්න ලැබුණා වගේ. එතකොට ඉතිං නෝන්ඩි හතයි!
    ලියවිල්ල එළ!

    ReplyDelete
    Replies
    1. හරියට හරි.

      //බස්වලනම් මචෝ, ඔය වැඩි සෙල්ලම් දානකොට කවුරුත් බලනවා. නොමිලේ නිලක් බලන්න ලැබුණා වගේ. එතකොට ඉතිං නෝන්ඩි හතයි!//
      ඔන්න ඕක නිසා තමා මම මේ සීන් එක රෑ 12 ට විතර කතාවට දැම්මෙ :D. එතකොට මිනිස්සු නිදි නෙ ;)

      ජය වේවා!!!

      Delete
  11. ආදරයට සීමා නෑ කිවුවත් සමහර සීමාවන් කඩන්න නරකයි..

    කතාව නියමයි මනා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ්.
      ඒක හරි කොච්චර ආදරේ කලත් සීමාවන් ඉක්මවා යන්න හොඳ නැහැ.
      ජය වේවා!!!

      Delete
  12. අපහසුතාවයට පත් නොකර ඕන දෙයක් බං...

    ReplyDelete
    Replies
    1. මාත් ඕක හිතනවා දේශකතුමා :D. අපිව අපහසුතාවයට පත් නොකර ඕන එකක්.
      ජය වේවා!!!

      Delete
  13. මේ දවස් වල ගිටාර් එක වෙලෙනවද කොහෙද? තවම මෙහෙම වෙනවද කියල මං කල්පනා කලේ. ඔය පොඩි කාමර කාමර කුලියට දෙනවා කියල තමා අහල තියෙන්නේ. අන්තිමේදී නිමල්ට මොලේ පැදිච්ච එක නම් හොඳයි.
    http://nelumyaya.com/?p=3162

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අයියෙ :D.
      අපෝ කාමර කුලියට දෙන තැන් නම් සෑහෙන්න තියෙනවා දැන් ලංකාව පුරාම වගේ. විශේෂයෙන් ටියුෂන් වලට ප්‍රසිද්ධ නගර වල ඔය වැඩේ ජයටම යනවා. ඒ වගේම ඒවාට සෑහෙන්න සෙනගත් යනවා.

      ගිටාර් පාඩම් ටික පොඩ්ඩක් මග නතර උනා :D. ආයෙ පටන් ගන්න ඕනෙ හෙමිට.
      ජය වේවා!!!

      Delete
  14. ඔහොම උන්ට මම නං ඉඩ දීලා තියෙනවා බං ඉස්සර දවසක..උනුත් බස් එකට නගින්නෙ දහසක් බාධක මැද වචනයක් දෙකක් කථා කරන්න තියෙන ආශාව පොදි බැදගෙන නොවැ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සිරා අයියෙ. සමහර විට නිදහසේ කතා කරගන්න තියෙන්නෙ ඒ අවස්ථාව විතරක් වෙන්නත් පුළුවන. අපි මොකටද නිකං වදයක් වෙන්නෙ.
      රිප්ලයි එක දාන්න පරක්කු උනා නෙව :).

      Delete
  15. සොඳුරු සිතක නිවුණු සිතුවිලි...
    බොහොම ලස්සනයි...
    හිත නිවෙනවා...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිස්ස අයියෙ.
      ජය වේවා!!!

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.