ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කිව්වට අපේ රටේ මිනිස්සුන්ගෙ ඔය කියන තරම් වෙනසක් නෑ කියල තමා මට නම් පේන්නේ. ලංකාවේ මූලිකවම ඉන්නෙ වාසියට වැඩ කරන සහ වාසියට වැඩ නොකරන කියන මූලික වර්ග දෙකට අයත් මිනිස්සු විතරයි. මං අපේ මිනිස්සුන්ව පිට රටවල් වල ඉන්න මිනිස්සු එක්ක සංසන්දනය කරන්න යන්නෙ නෑ. ඒ කීවෙ සුද්දො එක්ක. එහෙම කිවේ මොකද මම රට ගිහින් නැති නිසා.
මම මුලින්ම කීව වර්ග දෙක යටතේ තවත් උප වර්ග කීපෙකට මේ මිනිස්සු වර්ග කරන්න පුළුවන්.
මුලින්ම ගනිමු වාසියට වැඩ කරන පිරිස. මේ පිරිස යටතේ තවත් උප වර්ග ගණනාවක් තියෙනවා. අපි බොහොම සුළු දේකින් පටන් ගමු. මේ දවස් වල ප්‍රසිද්ධ මාතෘකාවනෙ ඡන්දෙ. දැන් ඔය ඡන්දෙට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් සීයට අනූ නමයකටත් වඩා පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නේ වාසිය බලාගෙන. එකඟ නැතුව ඇති බහුතරයක් ;). ඒත් ඒක තමා ඇත්ත. දැන් කවුද ඔතනින් රට ගැන හිතල රටට වැඩ කරන්න ඉදිරිපත් වෙලා ඉන්නෙ. කවුරුත් නැති තරම් නේද? බහුතරයක් වෙච්ච වාසිය බලන් ඡන්දෙට ඉදිරිපත් වුනු අපේක්ෂකයන් බලන් ඉන්නෙ ඇමති කෙනෙක් උනාම "පර්මිට් එක අරං හොඳ වාහනයක් ගන්න, හොඳට සල්ලි හම්බ කරන්න, පවුලට කරන්න, අවුරුදු ගානකට විඳින්න බැරිවුන සැප විඳින්න, බෙදාගන්න බැරි උනු රට බෙදා හදාගන්න, තරහ පිරිමහගන්න " වගේ ඒවනේ. ඔය යටි අරමුණු මුදුන්පත් කරගන්න ඡන්දෙ ඉල්ලනකන් පෙන්නන්නෙ රට දියුණු කරන විවිධාකාරවු ප්‍රතිපත්ති මාලා, පපුවට වදින කතා, හීන පෙන්වන ඇඩ් වගේ ඒවා. ඡන්දෙ සම්බන්ධ කරගත්තම නම් වාසියට වැඩ නොකරන කියන පිරිසට කවුරුවත්ම හොයා ගන්න නැති තරම්.
තව උදාහරණයක් ගමුකො. වෙන මොකක්වත් නෙමේ ඡන්දෙ දෙන ජනතාව. මේ අයගෙත් උඩින් කීව වාසිය බලාගෙන සහ නොගෙන කියන වර්ග දෙක ඉන්නව. ඔය එක එක අපේක්‍ෂකයාගේ නමයි මුණයි ගහගත්ත කැප් ටී ෂර්ට් ඇඳන් කට්ටිය කැන්වසින් යන්නෙ, මීටින් වලට යන්නෙ මොකද? ඒ මිනිහා ඇමති කෙනෙක් වෙලා ඇවිල්ලා රට හරි විදිහට හදයි කියල හිතලද. නෑ . තමන්ගෙ මොකක් හරි වැඩකට උදව්වක් ගන්න. "රස්සාවක්, ව්‍යාපාරයක්, නීති විරොධී බලපත්‍ර" ඔය වගේ ඒවා ගන්න තමා බහුතරයක්. ඒ අතර රටට වැඩක් කරයි කියල හිතල ඕවට යන අයත් සිටින්නට පුළුවන්. ඔය කියපු ඒවා අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ රහස්.
ඒ විතරක් නෙමේ. තව ඕන තරම් උදාහරණ තියෙනවා. සමහර මිනිස්සු කෙනෙක්ට උදව් කරන්නෙ ප්‍රති උපකාරයක් බලාගෙන. සමහර ප්‍රේමවන්තයෝ ප්‍රේම කරන්නෙ සල්ලි වලට, සමහරු දෙයක් කරන්නෙ මුදල් බලාගෙන විතරමයි, සමහරු රට ගිහිං සල්ලි හම්බ කරන්නෙ තමන්ගෙ දියුණුවට.
ඇත්තටම රට ගිහිං හම්බ කරන එක වාසියට වැඩ කරන පිරිස කියන එකට දාන්න බෑ. ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. තමන්ගෙ උගත් කමට සරිලන රැකියාවක් නොමැති වීම, රැකියාවක් තිබුණත් තෘප්තිමත් විය හැකි වැටුපක් නොලැබීම, ඊට අමතරව ලංකාවෙ වැඩක් කරන්න තරම් සුදුසුකම් නැති උනත් පිටරටකට ගිහිං ඉහල වැටුපක් ලබා ගැනීමට හැකි රැකියාවල් තිබීම. ලංකාවේ ජීවන වියදම ඉහළ මට්ටමක තිබීම වැනි කරුණු රට යන්න හේතු වෙන්න පුළුවන්.
එතකොට වාසිය බලාගෙන වැඩ නොකරන මිනිස්සු මේ රටේ නැද්ද? කවුද දන්නෙ ;). එහෙම මිනිස්සු හිටියා, ඉන්නවා සහ ඉදිරියටත් ඉඳීවි. ඒත් ඒ මිනිස්සුන්ට අපේ සමාජයේ පවතින්න දෙන්නෙ නෑ. ඒ කියන්නෙ ඒ මිනිහට කරන්න පුළුවන් ඔක්කොම එපා කරපු වැඩ ටික කරලා ඒ මිනිහවත් අනිත් පැත්තට ඇදල ගන්නව. ඒකට මුල් වෙන්නේ අනිත් පැත්තෙ එහෙම නැත්තම් වාසියට වැඩ කරන පැත්තෙ උන්ම තමා. හරියට අර කුපාඩි වැඩ කරන කොල්ලො කෙල්ලො ඉන්න ගමක ඒ මුකුත් නොකර හොඳට ඉන්න එකාව කුපාඩි සෙට් එකට ඇදල ගන්නවා වගේ. ඇදල ගන්න බැරි උනොත් ඒකාට ඒ ගමේ වසන්න දෙන්නෙ නෑ. මේ රටේ වාසියට වැඩ නොකර ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන්න ඕනෙ නම් ඒ මිනිහට හොඳ ආර්ථික මට්ටමක් තියෙන්න ඕනෙ. ඒ විතරක් මදි, ඒ මිනිහට හොඳ මිනිස්සු පිරිසකුත් ඉන්නම ඕනෙ. ඕක කොයි තැනටත් අදාළයි. ඒ කියන්නෙ අපි රැකියාවක නිරත වෙන කාර්යාලයකට පවා. ඒත් පවතින්න බැරි උණොත් ඒ මනුස්සයත් ස්වයන්ක්‍රීයවම වාසිය බලාගෙන වැඩ කරන්නෙක් බවට පත් වෙනවා.
හත්තිලව්වයි. ඒ කියන්නෙ අපේ රටේ ඉන්න බහුතරයක් වුනු වාසිය බලාගෙන වැඩ කරන මිනිස්සු, වාසිය බලාගෙන වැඩ නොකර ජීවත් වෙලා ඉඳලා, එහෙම සමාජයේ පවතින්න බැරුව ස්වයන්ක්‍රීයව පරිවර්තනය උනු අයද?