Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Tuesday, June 16, 2015

නිදහස?

නිදහස is that freedom

කොළඹින් වැලිමඩ බලා රාත්‍රී 10 ට පිටත් වන අර්ධ සුඛෝපබෝගී බස් රථයේ ක්‍රියාත්මක වෙමින් තිබූ රේඩියෝවේ හඬ බසය තුළ හීන් හඬින් ඇසෙයි.  නිමල් බස් රථයේ පිටුපස ආසනයේ වම් කොනකට වී තරමක කල්පනාවක ගිලී සිටියේය.බස් රථයේ ආසන සියල්ලකම වාගේ එකා දෙන්නා ඉඳගෙන සිටියි. අයෙකු කෙටි නින්දකට වැටී සිටියි. තවකෙකු ජංගම දුරකථනය කනේ ගසාගෙන මල් යායක තනිවී ඇත. තව කීප දෙනෙකු කෙටි ආහාරයක් ගනිමින් පසු වෙයි. මේ සියල්ල මැද්දේ නිමල් තමන්ගේ බර කල්පනාවෙන් එපිට මෙපිට පනිමින් බසය ගමන් ආරම්භ කරනතුරු වෙලාව බලමින් සිටියි. බසය තුළ සියුම් කසුකුසු කිහිපයකි. කතාබහ සියල්ල අපැහැදිළි නමුත් සිංහල සහ දමිළ ලෙස භාෂාවේ වෙනස පැහැදිලිව හඳුනා ගැනීමට ඔහුට හැකි විය. වැලිමඩ බලා පිටත්වන බසයක් බැවින් වතු ආශ්‍රිතව වාසය කරන දමිළ මිනිසුන් සහ ගැහැණුන් කිහිපදෙනෙක්ම බසයේ සිටින බව නිමල්ට පෙනුණි.

මේ කාලය අතරතුර බසයට ගොඩවූ වෙළෙන්දන් කිහිප දෙනෙකු විවිධාකාර දේවල් අලෙවි කිරීමේ කටයුතු වල යෙදී සිටියහ. බසය පිටත් වීමට තවත් විනාඩි දහයක් පමණ ඇත. බසයට ගොඩවූයේ තරුණ යුවළකි. දෙදෙනාටම එකට ඉඳගෙන යෑමට අසුනක් පිරික්සමින් බසයේ ඉදිරිපස සිට පිටුපස බලා වෙළෙන්දන් අතරින් තමා දෙසට එන තරුණ යුවල දෙස නිමල් තරමක උනන්දුවෙන් බලා සිටියේය. ඔවුන් දෙදෙනා පෙනුමෙන් වතු දමිළ බව නිමල්ට අවබෝධ විය. සෑම අසුනකම එක පුද්ගලයෙකු හෝ වාඩිවී සිටි බැවින් ඔවුන් දෙදෙනාට එකට ඉඳගැනීමට ආසනයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුන්ගේ මුහුණුවල ස්වභාවයෙන්ම නිමල්ට අවබෝධ විය. සෙමෙන් තමා අසුන් ගෙන සිටි අවසාන ආසනය වෙත පැමිණි යුවළ මදක් ආසනයේ දෙකොන පිරික්සන්නට විය. ආසනයේ එක් පැත්තකට වන්නට තරුණයන් තිදෙනෙක් අසුන්ගෙන සිටියි. අනෙක් පසින් ඉඳගෙන සිටින්නේ නිමල්ය. නිමල් මේ වන විට බසයෙන් ඉවත බලාගෙන සිටියි. තරුණ යුවළගේ බලාපොරොත්තු කඩවුණු ස්වභාවයකි. දමිළ තරුණිය තම පෙම්වතාට නිමල් දෙස බලමින් මොනවදෝ රහසින් මෙන් කොඳුරන හැටි නිමල්ට ඡායාවක් ලෙස පෙනෙයි.

"එයාට මෙහෙට වෙලා අපිට අයිනෙ ඉඳගන්න සීට් එක ඉල්ලගන්නකෝ" වැනි දෙයක් පවසන බව දමිළ බසින් තම පෙම්වතාට තොන්දොල් වෙමින් කතා කරන ආකාරයෙන් නිමල්ට දැනෙන්නට විය. නිමල් බසයේ ජනෙල් කවුළුවෙන් එපිට බලාගෙනම හිඳියි. තම පෙම්වතියගේ ඉල්ලීමට සවන් දුන්නත් එය ඉටුකිරීමට තරුණයා මැලි වන බවක් නිමල්ට වැටහිණි. තමන් සිංහල තරුණයෙකු වූ නිසා, සිංහලයන් යනු තමන්ගේ සතුරන් ලෙස සමහරවිට ඔහු තවමත් විශ්වාස කරනවාද, නැතිනම් සිංහලයන්ට ඇති බියමුසු හැඟීමක් නිසා එසේ කරනවාද යන්න නිමල්ගේ හිතේ දෙගිඩියාවකි. නිමල් හට කිසිවක් නොපැවසූ මේ පෙම්වතා අවසානයේදී තම පෙම්වතියට යමක් දමිළ බසින් පැවසීය.

"එයා සීට් එක දෙන එකක් නෑ. පේන්නැද්ද හිනාවක් නැතුව රවාගෙන අහක බලන් ඉන්න හැටි. වෙන කරන්න දෙයක් නෑ, අපි මේ සීට් එකේම මැදින් ඉඳන් යමු." වැනි දෙයක් පවසන්නට ඇතැයි එම කතා විලාසය අනුව නිමල්ට වැටහිණි. තම පෙම්වතාගේ ඇඟට බර වී ආදර වදන් තෙපුලමින් බසයේ ගමන් කිරීමේ අහිංසක බලාපොරොත්තුව පන්හිඳකින් ලියූ මුතු අකුරු පෙළකට දිය බිඳක් ඉසුනාක් මෙන් බොඳ වී යන්නට ඇතැයි නිමල්ගේ සිතට දැනෙන්නට විය. එයින් තම සිත තරමක් උණුවුවත් ඒ බවක් මුහුණේ එකඳු ඉරියව්වකින් වත් නොපෙන්වීමට නිමල් වග බලා ගත්තේය. තරුණිය තමන්ගේ ළඟිනුත්, තරුණයා අනිත් තරුණයන් තිදෙනාගේ පසිනුත් අසුන් ගත්තත්, තරුණිය ඇයගේ එක නූල් පටක්වත් තමන්ගේ ඇඟේ නොගෑවෙන සේ අසුන් ගෙන සිටින බව නිමල්ට දැනුණු නිසා නිමල් තරුණියගේ මුහුණ දෙස හැඟීමකින් තොරව බැල්මක් හෙළීය. ඇය නිමලුත් ඇයත් අතර මද හිඩැසක් තබා ගෙන තම පෙම්වතාට තුරුල් වී සිටියේ තමාව ගිලගැනීමට පැමිණි රාක්ෂයෙකුගෙන් බේරීමට මෙනි. නිමල්ගේ හිතට නැවතත් ඒ කුමක් නිසාද යන දෙගිඩියාව පැන නැගෙන්නට විය.

නියමිත වෙලාවට බසය පිටත් වුනි. තවමත් තරුණ යුවළ ඉඳගත් ආකාරයටම එකිනෙකාට වඩාත් සමීපව සිටියි. තමා හා තරුණිය අතර ඇති පරතරය එලෙසම තබා ගැනීමට නිමල් වග බලා ගත්තේය. බසය වේගයෙන් ඉදිරියට යයි. ඉඳ හිට හිටිවනම බ්‍රේක් පාරවල් ගසන විට බසයේ සිටින උන් තමාගේ ඉදිරි අසුන් සිප ගන්නට විය. අවසන් ආසනයේ මැදට වන්නට සිටි තරුණ යුවලට සිප ගැනීමට ඔවුන් ඉදිරියේ අසුනක් නොමැත. ඉදිරියට ව්සිවී බිම සිප ගැනීමට නම් කිසිම බාධාවක් නැත. සිප ගන්නට උවමනාම නම් සිටින්නේ තම ආදරණිය පෙම්වතා සහ පෙම්වතිය පමණි. මේ බව අවබෝධ කරගත් පෙම්වතා තමාගේ දකුණු පසින් ඇති ආසනයේ ඇති යකඩ බටය තදින් අල්ලාගෙන අනිත් අතින් තම පෙම්වතිය තදින් අල්ලා ගත්තේය. නිමල් තමාගේ ජංගම දුරකතනයෙන් ගීතයක් අසමින් කවුළුවට එපිටින් වේගයෙන් පසු කරන අන්දකාර දර්ශන දෙස බලාගෙන සිටියි.    

කාලය කෙමෙන් ගත වෙද්දී බසයේ රියදුරු එක වරම ගැසූ බ්‍රේක් පහර නිසා නිමල්ගේ දකුණු උරහිසට එකවරම බර ගතියක් දැනෙන්නට විය. නින්දේ සිටි පෙම්වතාගෙ අතින් ගිලිහුණු තරුණිය නිමල්ගේ උරයේ බරවී සිටී. නිමලුත් තරුණියත් අතර ආසනයේ තිබූ හිස් අවකාශය සොයා ගැනීමටවත් නොමැත. ඇය බර නින්දකට වැටී ඇති නිසා අවදි නොවන්නට හේතුව වන්නට ඇතැයි නිමල්ට සිතුනේ ඇය තමාගේ උරයට බර වී සිටි අසමමිතික ස්වභාවය නිසාය. පෙම්වතාද බර නින්දක පසුවෙයි. තරුණිය නින්දෙන් අවදිකර තමාගේ ඇඟෙන් ඉවත් වන ලෙස පැවසීමට අවශ්‍ය උවත් එසේ කිරීමට හිත නොදුන්නේ කිමදැයි නිමල්ට තේරුම් ගැනීමට නොහැකි විය. එසේ ටික වෙලාවක් සිටින විට තරුණියගේ උකුල මත තිබූ බෑගය ලිස්සා බිමට පතිත විය. නමුත් තරුණිය අවදි නොවිණි. නිමල් සෙමෙන් තමන්ගේ වම් අතින් ඇයගේ ඇඟට තට්ටුවක් දමා ඇයව නින්දෙන් අවදි කරනු ලැබීය. අවදි වුනු සැණින් නිමල්ගේ ඇඟෙන් මිදුණු ඈ "Sorry" යනුවෙන් දමිළ ඌරුවට පැවසුවේ ලැජ්ජාවෙන් හිනාවකින් මුහුණ සරසා ගන්නා අතරතුරදීය. බිම වැටුණු බෑගය නිමල් විසින් ඇයට රැගෙන දුන් අතර "Thank you" කියමින් එය ගන්නා විට ඇයගේ පෙම්වතාද නින්දෙන් අවදි වි සිටියේය. 

මේ වන විට බසය නිමල්ගේ බස් නැවතුම් පොළට තරමක් ආසන්න වෙමින් ඉදිරියට ඇදෙන්නට විය. රාත්‍රියට අර්ධ සුඛෝපබෝගී දුරගමන් සේවා යන බස් රථ සාමාන්‍ය බස් රථ වලට වඩා වැඩි වේගයකින් ධාවනය වන නිසා අඩු කාලයකින් අවශ්‍ය නගර කරා ළඟා වීමේ හැකියාවක් ඇත. දැන් වෙලාව රාත්‍රී 12 ට ආසන්න වෙමින් පවතී. බස් රථයේ ගමන් ගන්නා මගීන් කිහිප දෙනෙක් හැර අනෙක් සියළු දෙනාම තද නින්දේ පසු වූහ. රියදුරු විසින් බස්රථයේ ඇතුළත විදුළි පහන් නිවා දමා රාත්‍රී කාලයේ දල්වන මද එළියක් සහිත විදුලි පහන් දෙකක් පමණක් දැල්වූ හෙයින් රථය තුළ අඳුරු ස්වභාවයක් පැවතුනි. තරුණ යුවළත් නිමලුත් අවදියෙනි. නිමල් නැවතත් ගීත වලට සවන් දෙමින් කවුළුවෙන් පිටතට දෑස් යොමා සිටියි. තරුණ යුවළ මද අඳුරේ පෙම් සුව විඳීමට සැරසුනත් තමන් අසල සිටින සිංහල තරුණයා බලාවිදෝ යැයි සැකයෙන් එකිනෙකාගේ මුහුණ බලමින් පසු වන බව නිමල්හට තේරුම් ගිය අතර යුවළ ඒ සමග තමන් දිහාද කිහිප විටක් බලමින් පසුවන බව ඔහුට වැටහිණි. 

සමාජයේ පෙම්වතුන්ට නිදහසේ පෙම්සුව විඳීමට අවසරයක් නැත්තේ තමන් ජීවත් වන සමාජයේ මිනිසුන් ඒ දෙස බලන්නේ පුදුමයකින් සහ වැරදි ඇසකින් නිසා යැයි නිමල් කල්පනා කළ අතර එහිම එක අවස්ථාවකට තමන්ට එහා පැත්තේ සිටින දමිළ යුවලටද මුහුණදීමට සිදු වී ඇති බව ඔහු තේරුම් ගත්තේය. දමිළ සමාජයේ සහ සිංහල සමාජයේ පෙම්සුව විඳින පෙම්වතුන් දෙස බලන්නේ එකම කෝණයකින් යැයි වරෙක ඔහුට සිතුණත් දමිළ සමාජයේ ඒ සඳහා ඇති නිදහස ඊට වඩා ඇහිරී ඇති බව ඔහුට තේරුම් ගියේ ඔවුන්ගේ ආගමික විශ්වාස සහ උග්‍ර කුල භේදය නිසා බැවිනි. තවත් මෙම තරුණ යුවළට බාධාවක් නොවී මේ කෙටි කාලයට හෝ නිදහසේ ඔවුන්ගේ පෙම්සුව බුක්ති විඳීමට ඉඩදිය යුතු යැයි තීරණය කළ නිමල්, තමා අසුන්ගෙන සිටි තැනින් නැගිට බස් රථයේ ඉදිරිපස දොර වෙත පිය නගන්නට විය. ඒ සමගම තරුණ යුවළ නිමල් අසුන් ගෙන සිටි පිටු පස ආසනයේ වම් කොනට ඇදෙන්නට විය.

~~~ නිමී ~~~

Thursday, June 4, 2015

එන්න ෂර් ඇතුළට! මොනවද බෙලුවේ?


"එන්න ෂර් ඇතුළට! මොනවද බෙලුවේ?" 
"මට හොඳ බැක්පැක් එකක් ගන්න ඕනෙ. ඔයාල ළඟ තියෙනවද?"
"තියෙනවා ෂර්. ෂර්ට මොනවගේ එකක්ද ඕනෙ. ට්‍රැවල් කරන්නද? නැත්තං ඔෆිස් යන්නද?"
"මට ට්‍රැවල් කරන්නයි ඔෆිස් යන්නයි සේරටම හොඳ එකක් ඕනෙ. තව ලැප් එක අවුලක් නැතුව ගෙනියන්නත් පුළුවන් වෙන්න ඕනෙ"
"ඇවිත් බලන්නකො ෂර් මේ තියෙන්නෙ ෂර් කීව විදිහෙ එකක්. තව මේ සෙට් එකත් ඒ විදිහෙ ඒවා. තෝරලා බලන්නකො "
"ම්ම් මේක ටිකක් හරි නෑ වගේ නේද? පෙනුමත් හරි නෑ. හයියත් මදි වගේ. වෙන හොඳ ඒවා නැද්ද"
"තියෙනවා ෂර් මේ තියෙන්නෙ අපි ළඟ තියෙන ඔඳම බ්‍රෑන්ඩ් එකක්. "ස්විස්ගියර්". හැබැයි ෂර් මේක ටිකක් ගණන්. අඩු කරල දෙන්නම්."
"කෝ බලන්න." 
"ෂර් මේක හොඳ කොලිටි බෑග් එක.මේ බලන්නකො ෂර් ලැප් එක දාන්න තියෙන තැන. වැටුනත් මුකුත් වෙන්නෑ. තව මේ.. ඕඩියෝ අවුට් එකකුත් තියෙනවා. අනික සිපර් එහෙමත් බලන්නකො. කිසි දෙයක් වෙන්නෙ නෑ. අපි වොරන්ටි එකකුත් දෙනවා".
"හ්ම්ම්.. මේක නම් හොඳයි හිතට ඇල්ලුවා. කීයද ඔයාල මේකට දෙන ප්‍රයිස් එක?"
"ෂර් මේ බෑග් එක රුපියල් පන්දාස් දෙසීයක් වෙනවා. ඒත් අපි අඩු කරලා ෂර්ට නිසා ආරදාස් හත්සීයට දෙන්නම්"
"අපෝ හොඳටම වැඩියි. තව අඩු කරන්න. ඔයාල මේවා පොඩි ගානකටනේ ගෙන්නන්නෙ. අපිට බොරුවට ඊට පස්සෙ ලොකු ගානක් කියනවා. තව අඩු කරන්න"
"අනේ නෑ ෂර්.. එහෙනම් ආරදාස් තුන්සීයක් දෙන්න. ලාස්ට් ප්‍රයිස්"
"පිස්සුද. හාරදාස් දෙසීයක් දෙන්න අපි සල්ලි ගස් වලින් කඩනවා කියල හිතුවද?. අපෝ තව අඩු කරන්න."
"එහෙනම් ෂර් තුන්දාස් නවසීයක් දෙන්න. ලාස්ට් ප්‍රයිස් ආයෙ නම් අඩු කරන්න බෑ."
"අපෝ වැඩියි වැඩියි. මම තව ගොඩක් අඩුවෙන් බලන්නෙ."
"එහෙනම් ෂර් අපි ගණන් අඩු එකක් බලමු. මේ තියෙන්නෙ. ආ මේකත් ගණන් අඩුයි."
"බෑ බෑ. මට මේ බෑග් එක තමා හිතට අල්ලලා ගියෙ. මේක දෙන්න මට තව අඩු කරලා."
"අයියෝ ෂර්.. ඉන්න එහෙනම් බොස් ගෙන් අහල බලන්න............
ෂර් තුන්දාස් පන්සීයක් දෙන්න. ලාස්ට් ප්‍රයිස්."
"බෑ බෑ. හොඳටම වැඩියි. මම යනවා. ඔය ගානට මට ඔයිට වඩා හොඳ එකක් ගන්න පුළුවන්.මම යනවා. තැන්ක් යූ. "
.
.
"ෂර් ෂර් පොඩ්ඩක් ඉන්නකො. ෂර් කීයකටද බලන්නෙ?"
"මට උපරිම එක්දාස් නවසීයක් දෙන්න පුළුවන්. මොකද කියන්නෙ දෙනවද?"
"අපෝ ෂර් ඔඳටම පාඩුයි නෙ. අපිට මේකෙන් ලොකු ගානක් හම්බෙන්නෑ ෂර්."
"ඒකනේ එහෙනම් ඉතිං වෙන කාට හරි විකුණ ගන්න. මම යනවා."
"ෂර් නිසා මේකට එහෙනම් තුන්දාහක් දෙන්න. වැඩේ කරමු". 
"බෑ  බෑ මගේ ගාන එක්දාස් නවසීයයි"
"අයියෝ ෂර් එහෙනම් දෙදාස් අටසීයක් දෙන්න. ලාස්ට් ප්‍රයිස්. ඒත් පාඩුයි අපිට. කමක් නෑ දෙදාස් අටසීයක් දෙන්න.
"නෑ මගේ ගානට දෙනවනම් දෙන්න. නැත්තං තියාගන්න."  
"අයියෝ ෂර් ඔච්චර ලෝබ වෙන්න එපා අප්පා. අපිත් බිස්නස් එකක් තමා කරනවා."

"ඒක තමා ඉතිං වෙන කෙනෙක්ට විකුණ ගන්න කියල මම මේ යන්නෙ"  
"හරි ඒනං දෙදාස් පන්සීයක් දෙන්න. ආයෙ නම් ෂත පහක් අඩු කරන්න බෑ" 
ඉතිං ඔච්චර අඩු කරන්නෙ ඔයාලා ඕවා ලාබෙට ගේන නිසානෙ. ඔන්න ඔහෙ දෙදාහක් ගන්න එහෙනම්.
අපිට හරිම පාඩුයි ෂර් ඒ ගානට දීලා. කිසිම ලාබයක් නෑ. හරි කමක් නෑ එහෙනම් දෙදාහක් දෙන්න.    
"හරි එහෙනං මට බෑග් එක දෙන්න. හැබැයි වොරන්ටි එක්ක. දෙදාහයි එහෙනම්"
"හරි ෂර්. ඉන්න බිල දාල දෙන්නම්"      

**********************************
මෙම සිද්දිය සිදුවීමට ප්‍රථම තවත් සිදුවීම් දෙකකි.

ඔහු ව්‍යාපාරික ස්ථානයකට ඇතුල් වුවේය. ව්‍යාපාරික ස්ථානයේ සේවය කරන්නාවූ තරුණියක් ඔහු අසලට පැමිණියාය.
"මොනවද බලන්නෙ?"
"මට බැක්පැක් එකක් ඕනෙ ට්‍රැවල් කරන්න, ඔෆිස් යන්න, සේරටම හරියන විදිහෙ එකක්"
"මේ තියෙන්නෙ. මේවා තමා අපි ළඟ තියෙන්නෙ." 
තරුණිය පාසැල් බෑග් කිහිපයක් සහ සයිඩ් බෑග් කිහිපයක් පෙන්වයි.
"මේවා ඇරෙන්න වෙන නැද්ද හොඳ බෑග්?" 
"නෑ අපි ළඟ ඔය ටික විතරයි තියෙන්නෙ."
හොඳ සයිඩ් බෑග් එකක් ඒ අතර තිබුණු නිසා ඔහු නිකමට මෙන් මිළ අසන්නට විය.
"කීයද මේ බෑග් එක?"
තරුණිය මිල සඳහන් කර ඇති ස්ටිකරය දෙස බලා "හාරදාස් එකසීයයි" කීවාය.
"අපෝ හොඳටම වැඩියිනෙ. අඩු කරලා දෙන්න"
"මේවා කම්පැනි ප්‍රයිස්. අඩු කරන්න බෑ."
"ආ ඒකත් එහෙමද? එහෙනං තියාගන්න"

ඔහු එතැනින් පිට වී තවත් කඩයකට පිවිසියේය.

ඇතුලේ පාරිභෝහිකයන් දෙතුන් දෙනෙකු සහ සේවකයන් දෙදෙනෙකු සිටිනු පෙනුනි. කිසිවෙක්වත් ඔහු ළඟට පැමිණ අවශ්‍ය මොනවාදැයි විමසුවේ නැත. ඔහු බෑග් තිබෙන තැන හොයාගෙන ගොස් පිරික්සන්නට විය. ඒ අතරද තිබුනේ පාසැල් බෑග් සහ ලොකු ට්‍රැවලින් බෑග් පමණි. එක සේවකයෙකු ඔහු අවට කැරකෙමින් සිටින බව ඔහුට දැනෙන්නට විය. නමුත් කිසිවක් නොවිමසයි. සමහරවිට ඔහු බෑග් එකක් සාක්කුවේ දමා ගනීවි යැයි සැක කරමින් එසේ ළඟට වී සිටින්නට ඇත. ඔහුගේ අවශ්‍යතාවයට සරිලන බෑගයක් සොයා ගැනීමට නොහැකි වූ තැන අසල සිටි සේවකයාගෙන් විමසීමක් කිරීමට තීරණය කර මෙසේ ඇසීය.
"බැක්පැක් නැද්ද ට්‍රැවල් කරන්නයි. ඔෆිස් ගෙනියන්නයි සේරටම හරියන විදිහෙ? ලැප් එකත් දාන් යන්න පුළුවන් වෙන්න ඕනෙ"
"තියෙනවා" කියූ සේවකයා පාසැල් බෑග් කිහිපයක් ඔහුට පෙන්වන්නට විය. ඒවා කිසිසේත් නොගැළපෙන නිසා ඔහු "වෙන බෑග් නැද්ද?" යැයි ඇසුවේය.
"නෑ. ඔය ටික විතරයි තියෙන්නෙ"

අවශ්‍යතාවයට සරිලන බෑගයක් සොයා ගැනීමට නොමැති නිසා ඔහු එම ව්‍යාපාරික ස්ථානයෙන් පිට වී ඉදිරියට ගමන් කරන විට මුස්ලිම් කඩයක් ඉදිරියේ සිටි තරුණයෙකු
"එන්න ෂර් ඇතුළට! මොනවද බෙලුවේ?"
යැයි විමසන්නට විය.

~~~නිමි~~~

Sunday, April 12, 2015

හැමදාටම අවුරුදු !!!

hamadatama_awurudu



" තමුන් දන්නවද මේ හොර වැඩ නිසා අපිට තමුන්ව පොලිසියට අල්ලලා දීල අවුරුදු ගානකට බලු කුඩුවේ දාන්න පුළුවන්. ඒක නිසා හොඳ හිතිං කියහන් උඹ මොකටද මේ අසේල මහත්තයගෙ ගෙදරට හොරෙන් පැන්නෙ? "

" අනේ බුදු සර්. මාව හිරේ දාන්න එපා. මගේ දරුවොන්ට කන්න දෙන්නෙ කවුද එතකොට. "

"තෝ අපිව අන්දන්නද හදන්නෙ. අනුකම්පාව දිනාගන්නද? ඈ බොල පාහරයො."

" අනේ නෑ මහත්තයො මම කියන්නෙ ඇත්තක්. මම ඕන තැනක දිවුරන්නම්. මට එහෙම කරන්න ඕන උනේ මයෙ දරුවො තුන්දෙනා මේ අවුරුද්දෙත් අල්ලපු ගෙවල්වල රතිඥ්ඥා දානව දැකල හූල්ල හූල්ල ඉන්නවා බලං ඉන්න බැරි කමට. මේ ඇත්තමයි මහත්තයො කියන්නෙ මට ඕනවුනේ උන් මේ අවුරුද්දටවත් හිනාවෙලා ඉන්නව දකින්න "

-------------------------------------------------------------------------------

ගමේ මිනිස්සු හැම දෙනාම "කළුවා" කියල හැඳින්වුවත් ඔහුගේ සැබෑ නම වූයේ නිහාල් යන්නයි. ගමේ මොන විදිහේ අවැඩක් වුනත් ඒ වැඩේට කළුවගේ නම පට බැඳෙන්නේ ඔහු විසින් කරන ලද අළුගුත්තේරු වැඩ නිසාවෙනි. දැන් මේ වනවිට සිදු වෙමින් තිබෙන්නේද එසේ කරන ලද අළුගුත්තේරු වැඩක් ගම්මුන්ගේ අතටම අහු වීමේ සිද්දියකි.

අසේල යනු මෙම ගමේ හොඳ වැදගත් පුද්ගලයෙකි. වෘතියෙන් කළමණාකරුවෙකු වූ ඔහු දෙදරු පියෙකි. පවුල් උරුමයෙන් ලැබුණු දේපොළ වලින් ලැබෙන අදායමෙන් සහ මහන්සියෙන් උපයාගත් දෙයින් ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ඔහු විසින් ගත කළේය.

-------------------------------------------------------------------------------

" එහෙම කියල එක එකාගෙ ගෙවල් හොරා කෑවම හරියනවද යකෝ. තොගෙ ළමයින්ට හොඳට අවුරුදු කන්න දෙන්න ඕනෙ නම් මහන්සියෙන් හම්බකරලා දීපිය. උඹේ පව් වලට මේ ගමේ අනිත් උන් පලි නෑනෙ "
වටවී සිටි ගම්මුන් කීප දෙනෙක් කළුවාගේ කම්මුල හරහා පහරවල් දෙක තුනක් ඇද බාමින් මොර දෙන්නට විය.

"අනේ මහත්තයෝ මාත් කැමතියි දාඩිය මහන්සියෙන් වැඩක් පලක් කරල කීයක් හරි හම්බ කොරන්න. ඒත් කවුද මහත්තයො මට වැඩක් පලක් දෙන්නෙ මාව ගෙදරකට වත් වද්දගන්න කැමති නැති කොට."
කළුවා වේදනාත්ම ස්වරයෙන් බිම බලාගෙනම කීවේය.

මෙතෙක් වෙලා මේ සියළුම සිද්දීන් දිහා නිහඬව බලාගෙන සිටි අසේල මහත්තයා කළුවා ළඟට පැමිණියේය.

" දැන් ඔය බැන්නා ඇති. මට පොඩ්ඩක් කළුවට කතා කරන්න දෙන්න. "

මෙතෙක් වෙලා කළුවා වට කොටගෙන සිටි ගම්මුන් පසෙකට වී අසේල මහත්තයා හට ඉඩ ලබා දුන්නෝය.
  
" කළුවො උඹ මොකද මේ වගේ වැඩ කරන්නෙ. දැන් බලහං උඹ කරන මේ ජරා වැඩ නිසා උඹේ ගෑනියි ළමයිනුයි කොහොමද පාරෙ බැහැල යන්නෙ?. අනික උන්ව මේ ගමේ එවුන්ව කොං කරල දාල තියෙන්නෙත් උඹේ ඔය එපා කරපු වැඩ නිසා. "

" මට සමාවෙන්න අසේල මහත්තයෝ. මම දුර දිග හිතුවෙ නැහැ. මම හිතුවෙ මගෙ ළමයි සතුටෙන් අවුරුදු කයි කියන එක විතරයි. "

" ඉතිං උඹ මොකද මගේ ගෙදට්ටම පැන්නේ? "

" මම එහෙම කලේ මහත්තයො මහත්තැලාගෙන් සල්ලි කීයක් හරි හොරකම් කරගත්තත් මහත්තයලට ඕක ඊළඟ මාසෙ වෙද්දී ආණ්ඩුවෙන් හරි හම්බෙන නිසා. ගමේ අනිත් එකෙක්ගෙ දෙයක් හොරකං කරගත්තනම් හෙම උන්ටත් මෙදා පාර අවුරුදු කන්න වෙන්නෙ නෑනෙ මහත්තයෝ. මට සමාවෙන්න. "

කළුවා හෙමීට තතනමින් පැවසූ එම වචන ටික ඇහුණු ගමේ හැම එකාම වගේ මුහුණෙන් මුහණ බලා ගත්තේ මූ කියන කතාවෙ ලොකු ගැඹුරක් තියෙනව නේදෝයි  පවසන්නාක් මෙනි. සැබවින්ම අනික් ගම්මුන් කිසිවෙක් ආණ්ඩුවේ රස්සාවක් කිරීමට තරම් වාසනාවක් ලද්දෝ නොවූහ.

අසේල මහත්තයා යනු සෑම දෙයක්ම නිවුණු මනසකින් විනිශ්චය කරන පුද්ගලයෙකි.

" මොනවද තමුන්ගෙ ළමයි තුන් දෙනාගෙ  නම් "

" ලොකු එකා වසන්ත, මද්දුම එකී තිලකා, බාලයා සමන්ත " 

" උන් තුන්දෙනාම ඉස්කෝලෙ යනවද?  "

" ඔව් මහත්තයො. හැබැයි ලොකු එකාගෙ හිතේ නම් වැඩි කැමැත්තක් නෑ. අපේ මහ උන්දැගෙ කටේ බලේට තමා ඌ මෙච්චර කලක් ඉස්කෝලෙ ගියෙ. "

ටික වෙලාවක් කල්පනා කරමින් සිටි අසේල මහත්තයා "හ්ම්.. තමුන්ගෙ ළමයි ගැන හිතල මම අද තමුන්ව පොලිසියට අල්ලල දෙන්න යන්නෙ නෑ. ඒ වෙනුවට මම තමුසෙට වෙන දඬුවමක් දෙනවා "

" අනේ මහත්තයො මූට අනුකම්පා කොරන්ඩ එපා. මූ කන පතේ පහරන ජාතියෙ එකෙක්. මූව අපි පොලෝසියට අල්ලල දෙමු. " අසල සිටි අයෙක් කියවන්නට විය. 

" අනේ පිං සිද්ද වෙනව මහත්තයට. මට වෙන ඕනෑ දඬුවමක් දෙන්න පොලෝසියට නම් බාර දෙන්න එපා මහත්තයෝ. "

" හොඳයි. තමුන් හෙට ඉඳල අපේ වත්තෙ පිටියෙ තියෙන වැඩපල කරන්න පටන් ගන්න ඕනෙ. එතැනදී හොර බොරු වංචා තියෙන්න විදිහක් නෑ. "

" එහෙම උනොත් නං පුතෝ මේ අසේල මහත්තයාගෙන් ආයෙ නම් උඹට සමාවක් හම්බෙන එකක් නෑ. " තවත් එකෙක් පවසන්නට විය.

 " මම කියන විදිහට පිළිවෙලට වැඩ ටික කරහන්. එතකොට මේ අවුරුද්දෙ ඉඳන් හැමදාම උඹේ ළමයිනුත් අවුරුදු කයි. "  

කළුවාගේ මුහුණෙන් අහිංසක බයාදු හිනාවක් මෝදු වන්නට විය. 

                                                             
                                     ~~~ නිමි ~~~

Tuesday, January 20, 2015

සපත්තු දෙක

sapaththu_deka_managepintharuwa

" යාළුවා!!!
 උඹ මේකෙන් යන දවසට මට උඹේ සපත්තු දෙක දීල පලයන්. මගෙ සපත්තු දෙක හොඳටම කැඩිල " 

මේ වචන ටික ඇහුනු ගමන් මගේ ඇඟේ ලේ රත් වෙන්නට වුණා. මට හිතට ආව තරහ පිට කරගන්නට ක්‍රමයක් නොමැතිව ඒවා මගෙ ඇස් වලින් පිට වුන බව තේරුම් ගියේ ඔහු මාදෙස බලමින් ඇසූ පැනය නිසාවෙනි.

" මොකෝ යාළුවා ඇස් රතු වෙලා. බොලාගෙන් සපත්තු දෙක ඉල්ලුව නිසා තරහ ආවද "

මීට අවුරුදු දෙහෙකට පෙර සිදුවූ එම සිදු වීම මතකයට එන විට මොහු දකින වාරයක් පාසා මාගේ කේන්තිය වැඩි වනවා මිසක් කිසිම විදිහකින් නිවීමක් සිදු නොවිණි. 

======================================================================

හරියටම මීට අවුරුදු දෙකකුත් මාස තුනකට පෙර එක් සවස් යාමයක මා මහන්සියෙන් කුලී වැඩ කරමින් හම්බකරගත් මුදල්ද රැගෙන මාගේ අඹු දරුවන් බැලීම සඳහා නිවෙස් කරා යෑමට අගනුවර ප්‍රධාන බස් නැවතුම් පොළට එමින් සිටියෙමි. හදිස්සියේම පැමිණි පුද්ගලයෙකු මාගේ ඇඟේ හැපී මා හා බහින් බස් වීමට පටන් ගත් අතර ටික වෙලාවකින් ගුටිබැට හුවමාරුවක් දක්වා එය වර්ධනය විය. දවස පුරා හෙම්බත්ව සිටි මා හට ඔහුගේ ගුටි බැට හමුවේ අසරණ වීමට වැඩි වෙලාවක් ගත නොවීය. මා ඔහුගේ ප්‍රහාරය හමුවේ බිම ඇද වැටුණු අතර ඒ සමගම ඔහු මාගේ මුදල් පසුම්බියත් රැගෙන පලා යන්නට විය. මා කොතෙකුත් ගුටි කෑ නමුදු එම පුද්ගලයාගේ මුණත් තහඩුව හොඳින් මතකයේ රඳවා ගන්නට සමත් විය. මා හට අහිමි වූයේ දරුවන් පෝෂණය කිරීමට ඇති මුදල් පමණක් නොවේ. සින්න වීමට යන ඉඩම් කෑල්ල සඳහා ගෙවීමට ඇති වාරික මුදලද ඒ සමගම නැති විය. ඉඩම සින්න වුවහොත් මාගේ අඹුදරුවන්ට යන කල කුමක්ද? 

ඉන් අනතුරුව මාගේ ජිවිතයට උදාවුයේ ඉතා අඳුරු යුගයකි. නැතිවුණු මුදල් වෙනුවට නැවතත් ඉතා ඉක්මනින් මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් කුලී වැඩ වලට අමතරව හොරකම් කිරීමට පවා සිදු වූයේ වෙන කවුරුත් නිසා නොව එදා මා හට පහරදුන් පුද්ගලයා නිසාවෙනි. මාගේ සිත ඔහු පිළිබඳව ඉතා තදබල ලෙස වෛරයෙන් පිරී පැවතුනි. නමුත් මාගේ අඹුදරුවන් සහ ඉඩම බේරා ගැනීම සඳහා එම දේවල් කිරීමට සිදු වීම විටෙක මාගේ සිත සන්සුන් වීමටද හේතු විය. එක් දිනක් හොරකම් කිරීමේ තැතක් වැරදි මා පොලීසියට කොටු වන්නේ ඉතා අවාසනාවන්ත ලෙසය. උසාවියේදී වැරදිකරු වන මා ඉන් අනතුරුව වසර දෙකක හිරදඬුවම් විඳීම සඳහා බන්ධනාගාර ගත කරනු ලැබිය. 

සිරගත ජීවිතය පිළිබඳව විවිධ කතා අසා ඇති නමුදු මා හිරගෙයක් වෙත යන්නේ ජිවිතයේ පළමු වතාවටය. එදා අමාරුවෙන් හෝ ජීවිතය ගැට ගසාගෙන නිදහස් ජිවිතයක් ගත කල මා හට අද ජම්පරයක් ඇඟලාගෙන හිරකරුවෙකු ලෙසින් ජිවිතය ගත කිරීමට සිදු වීම කෙතරම් ශෝකජනකද, අවාසනාවන්තද යන්න සිතුනු වාර ගණන අනන්තය. එය කෙතරම් දුෂ්කරද යන්න මාහට වැටහෙන්නට එතරම් කාලයක් ගත නොවීය. මා රඳවා තබා තිබුණු සිර කුටියේ තවත් පුද්ගලයෙකු රඳවා සිටි අතර ටික කලකින් ඔහු සමග මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට මා සමත් විය. ඔහුද මා මෙන්ම කිසියම් සොරකමක් නිසා සිරගත වුනු බව පැවසුවේ ඉතාමත්ම වේදනාවෙනි. ඉතා අඩුවෙන් කතා කල ඔහු නිතරම කල්පනා ලෝකයක සිටින බව මා හට අවබෝධ විය. නමුත් ඉඳහිට හෝ ඔහුගේ හඬ අවදි කරමින් මා හට පැවසුවේ ඉවසීමෙන් කල්පනාවෙන් මේ සිරගත ජීවිතය ගත කරනා ලෙසයි. එය වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කර පෙන්වීමට ඔහු සමත් විය. 

මා බන්ධනාගාර ගත වී මාස එකොළහක් ඇවෑමෙන් ඔහුට නිදහස හිමි වූයේ ඔහුගේ විනීත හැසිරීම නිසා බව මාහට දැන ගන්නට ලැබුණි. ඔහුගේ දඬුවම සම්පුර්ණ වීමට තවත් මාස තුනක් තිබියදී එසේ නිදහස හිමි වීම ඔහුගේ සිතට කෙතරම් සතුටක් ඇති වන්නට ඇත්දැයි මා හට සිතා ගැනීමට හැකි විය. ඔහු අවසන් වරට මා හට පැවසුවේ වෙනදා මෙන්ම ඉවසීමෙන් කල්පනාවෙන් මේ සිර මැදිරිය තුළ ගත කරනා ලෙසයි. ඔහු දැන් මගෙන් සමුගෙන ගොසින් අවසන්ය.

එම සිදු වීමෙන් දවස් දෙකකට පසුව මාගේ සිර කුටිය වෙත අළුත් සිරකරුවෙකු රැගෙන එන ලදී. සිර කුටියේ කොනකට වන්නට සිටි මාහට එය තුල ඇති මද අඳුර නිසා ඔහුගේ මුහුණ හරි හැටි බලා ගැනීමට නොහැකි විය. කුටියට ඇතුළු කල මොහොතේ සිට ටික වෙලාවක් යනතුරු ඉතා අසරණ ලෙසින් සිරකුටියේ කූරු දෙකක් තම දෑතින් තදින් අල්ලාගෙන බිම බලාගෙන සිටි  ඔහු සෙමින් මාදෙස බලන්නට විය. තරමක් හුරුපුරුදු මුහුණක් බව ඔහු දෙස බැලූවිට මට සිතුනු අතර ක්ෂණයකින් මාගේ සිත පැවසුවේ, 

"දෙයියනේ මේ අර එදා මට ගහල සල්ලි හොරකම් කරපු කාලකන්නියා නේද?" යන්නයි.

නමුත් මා ඔහුට කිසිම වෙනසක් නොපෙන්වූයේ පෙර දවසකදී මාගෙන් වෙන්ව ගිය සගයා පැවසූ ඔවදන සිහි වීමෙනි. මා මොහු දෙස එක එල්ලේ බලා සිටි අතර, ඔහු හට  මා හඳුනා ගැනීමට හැකිවුනිද යන සැකය මාගේ සිත තුළ පැවතුනි. නමුත් සිරගත වීම නිසා ඇතිවුණු කම්පනයෙන් ඉතා අසරණ ලෙස ඔහු මා සමග කතා කිරීමට මුල පිරීමෙන් එම සැකය මාගේ සිත තුළින් කෙමෙන් බැහැරව ගියේය. ඔහු පික්පොකට් ගැසීමට ගොස් පොලීසියට හසුවී මෙසේ බන්ධනාගාර ගතවූ බව පැවසූ නමුත් මා සිරබත් කෑමට හේතුව ඔහුට නොකීවේ ඉන් පසු මාගේ සිතේ ඇති වෙන කෝපයෙන් ඔහුට කුමක් කරාවිදැයි සිතුනු නිසාවෙනි. ඉන් අනතුරුව මා ඉතා නිහඬ චරිතයක් ලෙස හැසිරුණු නමුදු ඒ සෑම අවස්තාවකදීම මාගේ හිත ඔහු කෙරෙහි වෛරයෙන් පිරි පැවතුනි. 

උදෑසන අවදි වූ වෙලේ සිට නින්දට යන තුරු මා දකින්නේ ඔහුගේ මුහුණ පමණක් වීම විටෙක මා හට මහත් වදයක් විය. එවන් අවස්ථාවක සිරකුටියෙහි ඇති යකඩ කූරු ඉතා තදින් අල්ලාගෙන තරහව පිට කිරීමට මා පුරුදු වී සිටියේ නිරායාසයෙනි. නමුත් කෙළවරක් නොමැති ඔහුගේ කතාව, එසේ නොමැතිනම් ඔහු කළ වැරදි වල පාපොච්චාරණය නිසා මා හට ඔහු කෙරේ ඇති වෛරය එන්න එන්නම වැඩි විය. සිර කුටියෙන් එළියට ගිය සෑම අවස්ථාවකදීම මා කෙසේ හෝ ඔහුගෙන් ඈත් වී සිටීමට කටයුතු කලේ එම කෙටි කාලයේදී හෝ සිත තුල ඇති කෝපය නිවා දමා ගැනීමට උත්සාහ කල නිසාවෙනි. මෙසේ කාලය ගෙවී යමින් මාගේ සිර දඬුවම් කාලසීමාවේ අවසන් භාගයටද පැමිණ තිබුණි. මා මෙයින් නිදහස් වී යාමට ඇත්තේ තවත් සති කිහිපයක් පමණි. මේ බව මාගේ පරම සතුරෙකු ලෙස මා විසින්ම හඳුන්වාගත් මාගේ කුටියේ සිටි පුද්ගලයාද දැන සිටි අතර එක් උදෑසනක මා හට මෙසේ ප්‍රකාශයක් කරන ලදී.

"යාළුවා!!! 
උඹ මේකෙන් යන දවසට මට උඹේ සපත්තු දෙක දීල පලයන්. මගෙ සපත්තු දෙක හොඳටම කැඩිල" 

මේ වචන ටික ඇහුනු ගමන් මගේ ඇඟේ ලේ රත් වෙන්නට වුණා. මට හිතට ආව තරහ පිට කරගන්නට ක්‍රමයක් නොමැතිව ඒවා මගෙ ඇස් වලින් පිට වුන බව තේරුම් ගියේ ඔහු මාදෙස බලමින් ඇසූ පැනය ඇසුණු විටය.

" මොකෝ යාළුවා ඇස් රතු වෙලා. බොලාගෙන් සපත්තු දෙක ඉල්ලුව නිසා තරහ ආවද " 

එදිනම බන්ධනාගාර නිලධාරීන් පැමිණ අවුරුද්දකට වඩා සිර දඬුවම් විඳින රැඳවියන් එළියට කැඳවනු ලැබූයේ බන්ධනාගාරයේ අළුතින් ක්‍රියාත්මක කෙරෙන භාවනාමය වැඩ සටහනක් සඳහා සහභාගී කරවීමටය. මෙම වැඩසටහන සඳහා මාද ඇතුළත්වූයේ ඒ වන විටත් මාගේ සිර දඬුවම වසරකට වඩා ගෙවා දමා තිබුණු බැවිනි. එම වැඩසටහන මෙහෙයවීම සඳහා වැඩමවා තිබුණේ බෞද්ධ හිමිනමකි. මා උපතින්ම බෞද්ධයෙකු වීම නිසා ඉතා කැමැත්තෙන් එම වැඩසටහන සඳහා සහභාගී වුනෙමි. මුලින්ම එම වැඩසටහන සඳහා සහභාගීවුනු සියළු දෙනාටම කෙටි ධර්ම දේශනයක් පැවැත්වුණු අතර එහි අන්තර්ගතය වූයේ සිතේ ඇති වෛරය, කෝපය පාලනය කිරීම මගින් ලබා ගත හැකි සැනසීම ගැනයි. කරුණාව මෛත්‍රීය සිත තුල ඇති කර ගැනීමෙන් තමන් හට ලඟා කරගත හැකි මානසික සැනසීම මගින් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරයද එහිදී වැඩි දුරටත් සඳහන් කරනු ලැබිණි. ඉන් අනතුරුව සියළු සත්වයන්හට මෙත් වඩන මෛත්‍රී භාවනාව කිරීම සඳහා අප සියළු දෙනාම යොමු කරනු ලැබිණි. මෙසේ පුරා පැයක් පමණ භාවනාවෙහි යෙදුනු රැඳවියන් සියළු දෙනාම ඉතා සන්සුන්ව සිටින ආකාරයක් දක්නට ලැබුණි.  ඒ ආකාරයට දින පහක් එම වැඩසටහන ක්‍රියාත්මක වුනු අතර එයට සහභාගී වීමට පටන් ගත් දිනයේ සිට  ඉහත කි පුද්ගලයා කෙරෙහි මාගේ සිතේ තිබූ වෛරය කෙමෙන් අඩුවී යන්නාක් මෙන් දැනෙන්නට විය. භාවනා වැඩසටහන නිම විය. 

ඉන් අනතුරුව එක රාත්‍රියක මාගේ අතීතයේ සිදුවුණු සියළු සිදුවීම් ඉතා උනන්දුවෙන් සිරකුටියේ ඇති මාගේ ස්ථානයට වී මෙනෙහි කළෙමි. මා මෙතෙක් කාලයක් ඔහු කෙරෙහි වෛරය සිතේ තබා ගෙන සිටීමෙන් මාගේ ජීවිතය වරද්දාගත් බව තේරුම් ගැනීමට මට වැඩි වෙලාවක් ගත නොවුනි. එදා සිදුවුණු ගුටිබැට සිද්දිය හේතුවෙන් මා වෛරය හිතේ තබාගෙන, ඒ සමගම ආශාවක්ද මුල් කරගෙන මුදල් පසුපස හඹා යාම නිසාවෙන් අද ගෙවන මේ සිර ජීවිතය උරුම වුනු බව මම තේරුම් ගත්තෙමි. තවත් එම සිදුවීම සිතේ තබා ගැනීමවත්, ඔහුට වෛර කිරිමෙන්වත් පලක් නැත. මම එම සිදුවීම අමතක කර දමා මේ සිර ජීවිතය අවසන් වී යන දවසට මාගේ සපත්තු යුවල ඔහු වෙත ලබා දීමට තීරණය කලෙමි. 

                                                                    

                                                                    ~~~නිමි~~~

           

Saturday, January 3, 2015

ප්‍රමාදය

Pramadaya_managepintharuwa


අලුත් දවසක් උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි. සංඛ තම ජංගම දුරකතනයද අතැතිව මතක සයුරක අතරමං වී බලාගත්වන බලා සිටියි. ඔහුගේ සිත තවමත් අතීතයේ සිදුවූ සිද්දි දාමයක පැටලී ඇත.

ඉවෝන්, ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක සංඛ සමගම උපාධි පාඨමාලාවක් සඳහා ඉගෙන ගැනීමට පැමිණි තරුණියකි. බාලිකා පාසැලක අධ්‍යාපනය ලබා තිබූ ඇය පිරිමි ළමුන් සමග කතා කලේම නැති තරම්ය. තමා මෙන්ම හැසිරෙන තවත් ගැහැණු ළමුන් දෙදෙනෙකු ඇයගේ හොඳම මිතුරියන් ලෙස සිටි බවක් ඇයව අධ්‍යයනය කරන කෙනෙකුට දැකගත හැකිවිය. ඔවුන් තිදෙනා හුදෙකලාව අධ්‍යන කටයුතු කරගෙන ගියෝය. කාලය කෙමෙන් ගත වන විට සංඛ තමාගේ මිතුරන් සමග ඉතා සැහැල්ලුවෙන් විනෝදයෙන් ඔහුගේ විශ්ව විද්‍යාල ජීවිතය ගත කරමින් සිටයේය. වර්තමානයේ කුඩා ළමයෙකු හට පවා තිබෙන බුකියේ ගිණුමක් සංඛල ඉවෝන්ලා හටද තිබුණි. ගැහැණු ළමුන් සමග මුහුණට මුහුණ හමුවී කතා කිරීමේ බියක් සංඛ හටද පැවතුනේ ඔහුද පිරිමි පාසලක අධ්‍යාපනය ලබා තිබු හේතුව නිසාවෙනි. ප්‍රථම වසර මුල් සෙමෙස්ටරය තුලදීම බුකිය හරහා තමන් සමග අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් රැසක් සමග මිතුරු වී කතාබහ කිරීමට සංඛට හැකියාව ලැබුණි. එයින් බොහෝ දෙනෙකු සමග චැට් කිරීමටද සංඛ එම කාලයේ හුරුවූ අතර ඒ අතර ඉවෝන් සහ ඇයගේ මිතුරියන් දෙදෙනාද විය. මෙසේ චැට් කරන්නන් අතර බොරු සෝබන කරුවන් සහ විශේෂයෙන්ම සෝබන කාරියන් කවුරුන්ද යන වග ඉතාම කෙටිකලක් ඇතුලත හඳුනා ගැනීමට සංඛට හැකියාව ලැබුණි. නමුත් ඉවොන්ලා සෝබන වලින් තොරව පොළොවේ පය ගසා ජිවත් වන යුවතියන් තිදෙනෙක් බව සංඛට වැටහුනේ ඔවුන්ගේ කතා විලාශයේ ගැබ්ව තිබුණු අව්‍යාජත්වය හේතුවෙනි. එම හේතුව නිසාම සංඛ ඉවොන්ලා සමග චැට් කිරීමට හිත යොමු කළේය.

සංඛ: "හායි කොහොමද ඉතින් "   
ඉවෝන්: "හෙලෝ මම හොඳින්. ඔයාට කොහොමද?"
සංඛ: "වරදක් නැහැ ඉතින්, කොහෙද ඔයාල හම්බුනාට කතා කරන්නෙවත් නෑනෙ. තනියම ඉන්නව පැත්තකට වෙලා :P"
ඉවෝන්: "අපිට කතා කලොත් අපිත් කතා කරනව හරිද :P ඔයානෙ දැක්කෙ නැහැ වගේ අහක බලන් යන්නෙ :P "
සංඛ: " ඒ එහෙමද 3:D, එහෙනම් මම දකින්න නැතුව ඇති මයෙ හිතේ ;) "

එලෙස ආරම්භ වූ සංඛ සහ ඉවෝන් අතර වුනු බුකියේ කතා බහට ඇබ්බැහි වීමට වැඩි දවසක් ගත නොවිය. ඒ අතර තුර ඇයගේ මිතුරියන් දෙදෙනා සමගද චැට් කිරීමට සංඛ අමතක කලේ නැත. මෙලෙස දිනපතා බුකිය හරහා සිදුවන කතා බහ නිසා සංඛ සහ ඉවොන්ල අතර හොඳ මිතු දමක් ඇතිවී තිබුනද කිසි දිනක ඔවුන් මුණ ගැසී කතා කිරීමට සංඛ මැලි වුයේ ඔහුගේ ඇති ලැජ්ජාශීලි බව නිසා යයි ඉවෝන්ල හට අවබෝධ වී තිබුණි.

ඉවෝන්: "මොකද අපිත් එක්ක කතා කරන්න බය. ගැහැණු අපි හොඳයි නෙ ඒ අතින් :P. අඩු ගානේ හිනාවක් වත් දාන්නේ නෑ. ඔරවන් යනව නිකන් බකුස්ස වගේ :P "
සංඛ : "මට පොඩි බයක් වගේ එකක් තියෙනවනේ හලෝ :D. හැබැයි මම ඔයාල දැක්කම හිනා නොවී ඉන්නෙ නම් නැහැ :) "
ඉවෝන්: "කොයි වෙලේද අපිට හිනා වුනේ කියන්න බලන්න."
සංඛ: "ඇයි මම ඔයාව දැක්ක ගමන් හිතින් හිනාවුනානේ :)"
ඉවෝන්: "හිතෙන් හිනාවුනාම කොහොමද මැට්ටො අපිට පේන්නෙ හිනාවුනා කියල :P "

මෙසේ විවිදාකාර වූ දේවල් ඔවුන් කතා බහ කල අතර කෙමෙන් කෙමෙන් සංඛ සහ ඉවෝන් ගේ සිත් තුල ආදර හැඟුම් මෝදු වන්නට විය. එය දෙදෙනාගේම කතා බස් වලින් ඉඟි කෙරුනද එම ආද‍ර සිතුවිලි දෙදෙනාම හිතේ සඟවා ගත්තා මිස පිරිමියෙකු ලෙස සංඛ හටද ඒ බවක් ඉවොන්ට කීමට තරම් හිතේ හයියක් නොවීය. මේ වන විට බුකියට අමතරව ජංගම දුරකථන හරහාද මැසේජ් කෙටීමට දෙදෙනා ඇබ්බැහි වී සිටියහ. මෙසේ කාලය ගත වන විට සංඛ තමාට ආදරය ප්‍රකාශ කරනු ඇතැයි ඉවෝන් බලාපොරොත්තුවෙන් සිටියද ඒ බවක් සංඛ වෙතින් පෙන්නුම් නොකළේය. තමන් ගැහැණු ළමයෙකු බැවින් සංඛ හට ආදරය ප්‍රකාශ කිරීම කිසිසේත් නොකළ හැකි දෙයක් නිසා ඉවෝන් තමාගේ හිතේ තිබුණු හැඟීම තද කරගෙන සිටියාය. මේ අතරතුර බුකිය හරහා භාෂිත ඉවෝන් හට හමු වුයේ අහම්බයකිනි. ඔවුන් දෙදෙනා අතර හොඳ මිත්‍රත්වයක් ඇති වුනේ ඇයටද තේරුම්ගත නොහැකි ඉක්මනකටය. වෙනත් විශ්ව විද්‍යාලයක උපාධි පාඨමාලාවක් හදාරන ඔහු කිසිම පැකිලීමකින් තොරව තම අදහස් ප්‍රකාශ කිරීම නිසා ඉවොන්ගේ අවධානය ටිකෙන් ටික ඔහු කරා ඇදී යාමට හේතුවූ අතර සංඛ  හා ඇති බැඳීම කෙමින් කෙමෙන් ලිහිල් වන්නට විය. සංඛ තවමත් තමාගේ හිතේ ඇති ආදරය ප්‍රකාශ කිරීමට කල් යල් බලමින් සිටින්නේය. මෙසේ කාලය ගතවන විට භාෂිතගේ හිතේ ඉවෝන් කෙරෙහි ආදරයක් ඇති වන්නට පටන් ගත්තේ ඇයගේ ඇති ආකර්ෂණය නිසාවෙනි. වැඩි කාලයක් බලා නොසිට භාෂිත ඉවෝන් හට තමාගේ ආදරය ප්‍රකාශ කල අතර ඉවෝන්ටද එය අදහාගත නොහැකි විය. එම යෝජනාව ප්‍රතික්ෂේප කල ඇය තවමත් සංඛ වෙත බලාපොරොත්තු තබා සිටියාය. ඉවෝන් සංඛ හා ජංගම දුරකතනයෙන් මැසේජ් කිරීම නැවත්වුයේ සංඛ එවිට හෝ තමාව නැතිවේ යැයි යන බියෙන් ආදරය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂාවෙනි. නමුත් එයද සාර්ථක නොවන වෑයමක් බව දැනුණු ඉවෝන් හට සංඛ කෙරෙහි ඇතිවුයේ දුක මිශ්‍රවුනු තරහකි.  

මේ අතර භාෂිත නැවතත් ඉවොන්ට පෙරැත්ත කරමින් කියා සිටියේ තමා ඇය හට හදවතින්ම ආදරය කරනා බවකි. තටු කැඩුණු කුරුල්ලෙක් පියාඹන්නට හදනව වගේ සංඛ තමාහට ආදරය ප්‍රකාශ කරනතුරු බලා සිටීම පලක් නොවන බව වැටහුණු ඉවෝන් අවසානයේදී තම නොයිඳුල් හදවත භාෂිත වෙත පුද කිරීමට තීරණය කලාය. 
සංඛ හා ඉවෝන් අතර බුකියේ කතා බහ එතරම් ලෙන්ගතු එකක් නොවන බව සංඛ හට තේරුම් යන්නට පටන් ගත්තේ මේ අතර තුරේදීය. තමාගේ ආදරය ප්‍රකාශ කිරීමට කල් ගැනීමෙන් සිදුවන්නේ ඉවෝන් තමාට නැති වන බව තේරුම් ගත් සංඛ තම අදහස ඉවෝන් හට පැවසීමට තීරණය කළේය. කෙසේ හෝ තමාගේ ආදරය ඉවෝන් හමුවී ඇය වෙත පැවසීමට තීරණය කල සංඛ විශ්ව විද්‍යාලයේ දේශනයක් අවසන් වී සියලු සිසුන් තම නවාතැන් කරා යන වැසිබර සන්ද්‍යාවක තම ජංගම දුරකථනය ගෙන මැසේජ් එකක් යැව්වේය.

" ඉවෝන් මට ඔයාව විනාඩි පහකට හම්බවෙන්න ඕනෙ ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න :). ඔයාට එන්න පුළුවන් නේද අර ලොකු මාර ගහ ලඟට? මම එතන ඉන්නම් "

විනාඩි 4කින් පමණ "කීක් කීක්" යන හඬක් නංවමින් සංඛගේ දුරකතනයට පිළිතුරක් ලැබුණි.

"මට ඔය ගස් ගල් ගානෙ එන්න බෑ. කියන්න තියෙන දෙයක් මෙහෙම්මම කියල එවන්න"

තරමක් විමතියට පත්වූ සංඛ නැවත මෙසේ පිළිතුරක් යැව්වේය.

"එක ෆෝන් එකෙන් කියන්න බෑ. මට විනාඩි 5ක් දෙන්න. ප්ලීස් එන්නකො"
      
ඉවොන්ගෙන් පිළිතුරක් ලැබුණි.

"බෑ බෑ. මම එක පාරක් කීවනෙ. කියන දෙයක් මෙහෙම කියන්න."

තවත් කලබල වුනු සංඛ, තමාට ඉවෝන් මුණ ගැසීමට නොහැකි වන බව වැටහුණු නිසා තමාගේ අදහස මැසේජ් එකක් ලෙසින් ඇය වෙත යැවීමට තීරණය කළේය.

"අපි දෙන්න දැන් අඳුරගෙන ගොඩක් කල් උනත් මට මේක ඔයාට කියාගන්න බැරුව ගොඩ කාලයක් බලා හිටිය. එත් මේක අද මම ඔයාට කියනව. මම ඔයාට ගොඩක් ආදරය කරනව."   මැසේජ් එක සෙන්ඩ් කළේය. 

විනාඩි දහයක් පමණ ගත විය. රිප්ලයි එකක් ලැබුණි.

"සමාවෙන්න, මම ඔයා ගැන හිතුවෙ යාළුවෙක් විදිහට විතරයි. මට bf කෙනෙක් ඉන්නව.ආයේ මගෙ ගැන කවදාවත් හිතන්න එපා. බායි."

දුරකථන තිරය මත බලා සිටිද්දී සංඛට තම මුළු සර්වාංගයම පණ නැතිවීගෙන එන්නාක් මෙන් දැනෙන්නට විය. හදවතේ ගැස්මද වැඩි වී ඇති බවක් දැනේ.තමා හොඳටම පමා වුණු බව පමණක් ඔහුගේ මනස තුල දෝංකාර දෙන්නට විය. ඔහු කිසිම හැඟීමක් නැත්තෙකු ලෙස හීනයකින් ගමන් කරන්නාක් මෙන් තමාගේ නවාතැන බලා පය තබන්නට විය. එසේ යන අතරතුර සිදු වූ දේවල් පිළිබඳව හාංකවිස්සියක්වත් සංඛගේ සිහියට නැගුනේ නැත. නවාතැනට පැමිණි ඔහු දුරකතනයද අතැතිව උඩුබෙලි අතට ඇඳ මතට වැටී සිවිලිම දෙස බලාගත්තේය.