Friday, November 28, 2014

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 4




Guitar_lesson

සුභ දවසක් හැමදෙනාටම. මම අද කතා කරන්නෙත් අපි කලින් කතා කරපු ගිටාර් වාදනය හා සම්බන්ධවයිඅද මම ඔයාලට මේ පෝස්ට් එකෙන් අපි මෙතුවක් කල් කතා කරපු සහ ඉගෙන ගත්ත කරුණු වලින් අභ්‍යාසයක් කරන්න තමයි යන්නෙ. ඉතින් අද මුලින්ම මනාගෙ පින්තාරුව බලන කෙනෙක් ඉන්නවනම් මම කලින් කතා කරපු ගිටාර් වාදනය සම්බන්ධ ලිපි ටික කියවල එන්න කියල මතක් කරනව. වගේම මතක් කරන්න ඕනෙ කාරණය තමා මෙම අභ්‍යාසන් ටික මම පොඩි පොඩි වීඩියෝ කිහිපයක් හැටියට තමා ඉදිරිපත් කරන්නෙ. වීඩියෝස් හැම එකම පටන් ගන්න කලින් මම පුළුවන් තරම් හොඳට වෙන්නෙ මොකද්ද කියල තේරුම් කරල දෙන්න උත්සහ කරනව. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක්ට හොඳ ඉන්ටනෙට් පහසුකම් නෑ කියල මම දන්නව. ගොඩක් අය පොඩි ඩේටා කාඩ් එකක් දාගෙන එන්නෙ. ඉතින් මේ හැමදෙනාටම වැඩිය ඩේටා වැය නොකර බලන්න ඕනෙ නිසා මම මේ විඩියෝස් වල කොලිටි එක පුළුවන් තරම් අඩු කරල තමා මේ පොස්ට් එකට ඇතුලත් කලේ. ඉතින් එක නිසා මෙම වීඩියෝ එකේ සවුන්ඩ් කොලිටි එක ටිකක් අඩුයි.හැබැයි ඒක අපේ අභ්‍යාස පුරුදු වීමට හොඳටම ප්‍රමාණවත්. ඒවගේම අනිත් කාරණය තමයි මෙම විඩියෝස් වල තියෙන්නෙ දකුණත් කරුවන් වාදනය කරන ආකාරය පමණයි. මට මේ විඩියෝස් අනිත් පැත්ත හරවල එයාලටත් පුරුදු වෙන්න පුළුවන් විදිහට එඩිට් කරන්න උත්සහ කලත් මේ වෙනකන් ඒක කරගන්න බැරි උනා.ඊළඟ පෝස්ට් එකෙන් එකත් කොහොම හරි හදල ඉදිරිපත් කරන්නම්. එතකන් ඔයාල මේ විඩියෝස් ටික බලල වාදනය කරන්න උත්සහ කරන්න. හරි එහෙනම් අපි පාඩමට යමු.

අද මම කතා කරන සෑම අභ්‍යාසයක්ම වාදනය කරන්නෙ අපි කලින් ලිපි වලින් කතා කරපු ඕපන් කෝඩ්ස් (Open Chords) භාවිතා කරමින් බව මතකයේ තබා ගන්න. මම මේ ලිපිය පුරාවටම යොදා ගන්නේ C (C මේජර්), Am (A මයිනර්), F (F මේජර්), G (G මේජර්) යන කෝඩ්ස් හතර පමණයි. කෝඩ්ස් අල්ලන ආකාරය අමතක අය ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2 පෝසටුවේ කතා කරන ලද කෝඩ්ස් ටික නැවත බලල එන්න.

මුලින්ම අභ්‍යාසයට යන්න කලින් දැනගන්න ඕන කරුණු කිහිපයක් තියෙනව. විශේෂයෙන්ම මොකක් හරි නිර්මාණයක් කරද්දී/ වාදනය කරද්දී එකට අදාළ වන තාලයක් තියෙනව කියල ඔයාලට තේරුම් ගන්න පුළුවන් නෙ. අන්න විදිහට නිර්මාණයකට යොදා ගන්න පුළුවන් තාල කිහිපයක් සංගීතයේදී හමු වෙනවා. ඒවට බටහිර සංගීතයේදී කියන්නෙ Time Signatures (ටයිම් සිග්නේචර්ස්) කියල. මෙන්න මේ Time Signatures වලට අනුකුලව ගිටාරය වාදනය කරන ආකාරයත් වෙනස් වෙනව. කියන්නෙ පික් එකක් යොදාගෙන හරි එහෙම නැති නම් ඇඟිලි උපයෝගී කරගෙන ගිටාරය වාදනය කරන්න පුළුවන් ආකාරයන් වෙනස් වෙනවා. එහෙම වාදනය කරනවට කියන්නෙ Strumming (ස්ට්‍රමින්) කියලස්ට්‍රමින් ගැන අපි අපේ අභ්‍යාසයට යන්න කලින් පොඩ්ඩක් කතා කරනව මෙම ලිපියේ අවසන් හරියේදීමෙහෙම Time Signatures කිහිපයක් තිබුනත් මම ඔයාලට මුලිකව යොදාගන්න Time Signatures ගැන විතරයි මේ පොස්ටුවෙන් කියන්නෙ. ප්‍රධාන වශයෙන් Time Signatures හතරක් මම අද කතා කරනවා.

1) Two four (2/4)
2) Three four (3/4)
3) Four four (4/4)
4) Six eight (6/8)

ඔයාල ගොඩ දෙනෙක් මේව ගැන සමහරවිට දන්නව ඇති.

1) Two four (2/4)

මෙම Time Signature එකට අදාළව ගිටාරය වාදනය කරන ආකාරය පහත වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්. මෙම Time Signature එකට අදාළ ගීත නිදසුනක් ලෙස H.R.ජෝතිපාල මහතා ගායනා කරන ලද ආදර මල් පවනේ ගීතය ගෙනහැර දක්වන්න පුළුවන්.







2) Three four (3/4)

මෙම Time Signature එකට අදාළව ගිටාරය වාදනය කරන ආකාරය මෙම වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්. මෙම Time Signature එකට අදාළ ගීත නිදසුනක් ලෙස  ගුණදාස කපුගේ මහතා ගායනා කරන ලද දුක හාදු දෙන රැයේ ගීතය, රූකාන්ත ගුණතිලක මහතා ගායනය කරන ලද අනාත මාරුතේ ගීතය ගෙනහැර දක්වන්න පුළුවන්.






3) Four four (4/4)

මෙම Time Signature එකට අදාළව ගිටාරය වාදනය කරන ආකාරය මෙම වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්. මෙම Time Signature එකට අදාළ ගීත නිදසුනක් ලෙස  ක්ලැරන්ස් විජේවර්ධන මහතා ගායනා කරන ලද හිරුගේ ලොවේදී ගීතය, රූකාන්ත ගුණතිලක මහතා ගායනය කරන ලද දවසක් දා (රේණු රේණු මල් මිටේ රේණු), මේ දිගන්තයේ ගීත ගෙනහැර දක්වන්න පුළුවන්.





4) Six eight (6/8)


මෙම Time Signature එකට අදාළව ගිටාරය වාදනය කරන ආකාරය මෙම වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්. මෙම Time Signature එකට අදාළ ගීත නිදසුනක් ලෙස  ක්ලැරන්ස් විජේවර්ධන මහතා ගායනා කරන ලද සැන්දෑ වලාවන් පා උනාවේ ගීතය, H.R.ජෝතිපාල මහතා ගායනය කරන ලද උන්මාදිනියේ වෙන්වී යන පිටුපාලා , ඇයි දැන් එපා වෙලා  ගීත ගෙනහැර දක්වන්න පුළුවන්. ගොඩ දෙනෙක් මේ ආකාරය හඳුන් වන්නේ බිස්කට් කුඩු ලෙසය :D. තරමට මේ ආකාරය ජනප්‍රිය වී ඇත.







දැන් අපි බලමු මම මුලින් කතා කරන ලද ස්ට්‍රමින් කරන්නෙ කොහොමද කියල. මෙහිදී විවිධ ආකාරයෙන් ස්ට්‍රමින්  කරන්න පුළුවන්. මම මුලිකව යොදාගන්න පුළුවන් ස්ට්‍රමින් කිහිපයක් තමා මෙම පෝස්ටුවෙන් පෙන්වන්නෙ. විශේෂයෙන්ම පික් එකක් භාවිතා කරල වාදනය කරද්දී ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට වාදනය කල හැකිය. Upstroke (අප් ස්ට්‍රෝක්) සහ Down Stroke (ඩවුන් ස්ට්‍රෝක්) ලෙස එම ක්‍රම දෙක හඳුන්වනවා. පික් එක ගිටාරයේ පහල තතේ(String) සිට ඉහලට වාදනය කිරීම  Upstroke (අප් ස්ට්‍රෝක්) ලෙස හඳුන් වන අතර  ගිටාරයේ ඉහල තතේ(String) සිට පහලට වාදනය කිරීම Down Stroke (ඩවුන් ස්ට්‍රෝක්) ලෙස හඳුන්වනු ලබයි. මෙම ක්‍ර දෙක මගින් ඇතිවන හඬේහී පැහැදිලි වෙනසක් ඇත. මෙම ක්‍රම මුලිකව පුරුදු උනාට පසුව අපිට සංකීර්ණ ලෙස වාදනය කරන ආකාරයන් ඉගෙන ගැනීමට පුළුවන්. මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් අදාල සිග්නේචර් එකේ නමට අදාලව ඇතුලත් කරන්නම්.

1) Two four (2/4) ස්ට්‍රමින්





2) Three four (3/4) ස්ට්‍රමින්





3) Four four (4/4) ස්ට්‍රමින්





4) Six eight (6/8) ස්ට්‍රමින්





හරි මෙන්න අද අභ්‍යාස. ඔයාල කවුරුත් දන්න, ආදරය කරන ප්‍රියා සූරියසේන මහතා ගයනා කරන ලද බොහොම ලස්සන ගීතයක් තමා ඔයාලට පුරුදු කරන්නෙ. හැබැයි මම මේ වාදනය කරන කෝඩ්ස් මෙම ගීතයේ මුල් වාදනයට වඩා වෙනස්. මෙම ගීතයේ මුල් වාදනය (Original Song එක) A මේජර් කෝඩ් එක මුලික කරගෙන තමා නිර්මාණය කරල තියෙන්නෙ. නමුත් මම එම ගීතය C මේජර් කෝඩ් එක මුල් කරගෙන වාදනය කරන හැටි තමා අද කියල දෙන්නෙ. ඒකට හේතුවක් තියෙනව. ඒක මම ඉදිරි පාඩම් වලදී කියල දෙන්නම්. මෙම අභ්‍යාසයේදී මෙම ගීතයේ පෙර වාදනය (Music) නැතිව ගීතය පමණක් මුලික කරගෙන මෙම කෝඩ්ස් යොදා ගෙන ඇති බවත් මතකයේ තබා ගන්න. මෙය Six eight (6/8) ආකාරයට යන ගීතයකි. යොදා ගෙන ඇත්තේ කලින් වීඩියෝ ක්ලිප්ස් වල තිබුණු කෝඩ්ස් හතරම තමයි :).


                          |       C       |      Am      |        F        |        G         |


මෙම වීඩියෝව හොඳින් අධ්‍යනය කරල ඇඟිලි මාරු කරන අකාරය හොඳින් පුරුදු පුහුණු වෙන්න. මට මෙම ගීතයේ වචන අමතක නිසා "නා නා" කියල තමයි ගයනා කලේ :D. එව වැඩිය ගණන් ගන්න එපා.







එහෙනම් හොඳින් පුරුදු වෙන්න. මෙම ගීතය වාදනය කිරීමට පුරුදු වූ පමණින් මමත් දැන් ගිටාර් වාදකයෙක් තමා කියල හිතන්න නම් එපා. මොකද මෙම ලිපියෙන් කතා කරල තියෙන්නෙ ඉතාම සුළු දේවල් ටිකක් ප්‍රයෝගිකව පුහුණු වෙන ආකාරය පමණක් නිසා. තවත් ගොඩක් දේවල් ඉගෙන ගැනීමට තිබෙන බව අමතක කරන්න නම් එපා.  හැම දෙනාටම ජය වේවා!!!

Friday, November 21, 2014

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 3



Guitar_lessons_manage_pintharuwa







සුභ දවසක් සියළු දෙනාටම. අද කතා කරන්න යන්නෙ මම කලින් ලියන ලද  ගිටාරය හා සම්බන්ධ ලිපි මාලාවේ තුන්වෙනි ලිපියයි. මෙම ලිපි මාලාවේදී මනා විසින් තවමත් කතා කරමින් සිටින්නේ මේජර් සහ මයිනර් කෝඩ්ස් ගැන පමණයි. මෙම කෝඩ්ස් වර්ග දෙක අල්ලන ආකාරයන් ඉගෙන ගත් පසුව අනෙක් කෝඩ්ස් වර්ග ඇල්ලීමට ඉතාමත්ම පහසු බව ඔයාල මතකයේ තබා ගන්න. වමත් සහ දකුණත් යන ගිටාර් වාදකයින් දෙගොල්ලන්ටම කිසිම අපහසුවකින් තොරව කතා කරන කරුණු සියල්ලම ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙන ලෙස  මෙම ලිපියේ සිට ඉදිරියට ලියන්න මනා කල්පනා කලා. විශේෂයෙන් ඔබ වමත හුරු පුද්ගලයෙකුනම් මෙතනින් ගිහින් වමත් ගිටාර් වාදනය පිලිබඳ මුලික කරුණු බලල මේ ලිපිය කියවන්න.  ඔයාලට මතක ඇති ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2 පෝස්ටුවේදී මම කිවා ගිටාරයේ මේජර් සහ මයිනර්  කෝඩ්ස් ඇල්ලිය හැකි තවත් ක්‍රම තිබෙනවා කියල. ඉතින් අද ලිපියෙන් කතා කරන්න යන්නෙ ඒ ක්‍රම වලින් තවත් එක ක්‍රමයක් ගැන. අපි බලමු මොකද්ද ඒ ක්‍රමය කියල.

සංගීතයේ ස්වර පිළිබඳව ඔබට දැන් හොඳ දැනුමක් තියෙනවා කියල මනා විශ්වාස කරනවා. කුමක් හරි ගැටළුවක් තිබෙනවානම් එම ලිපිය නැවතත් මෙතනින් ගිහින් බලන්න. අපිට සංගීතයේ ස්වර දොළහ ඕනෑම ස්වරයකින් පටන්ගෙන ඉදිරියට ලියන්න පුළුවන් බව ඔබ මේ වන විට දන්නවා. උදාහරණයක් විදිහට පහත රුපය බැලුවම ඔයාලට මම කියන දෙය තේරුම් ගන්න පුළුවන් වෙයි. 



ඉහත රුපයේ කතා කරපු දෙය ටිකක් වැදගත් වෙනවා මෙම ලිපියෙදි ඉදිරියට කතා කරන ඒවා අවබෝධ කරගන්න. හරි, ඔයාලට මතක ඇතිනේ මම ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2 පාඩමේදි  කතා කලා A මේජර් සහ B මේජර් ඒ වගේම A මයිනර් සහ B  මයිනර් කෝඩ්ස් වර්ග දෙක අල්ලන හැටි ඕපන් කෝඩ්ස් යටතේදී. ඒ කෝඩ්ස් දෙක මම මෙම ලිපියෙදිත් නැවත පල කරනවා ඔන්න.

A_major_B_major_open_chords
              

A_major_B_major_open_chords


Am_Bm_open_chords


Am_Bm_open_chords



ඔය තියෙන්නෙ ගිටාර් කෝඩ්ස් අල්ලන මුලික ක්‍රමයක්. අපි අද කතා කරන්නෙ අන්න ඒ කෝඩ්ස් අල්ලන ක්‍රමය ගැන. අපි ඒ ගැන ගිටාරයේ ස්වර පුවරුවත් එක්කම දැන් කතා කරල හොඳින් අවබෝධයක් ලබා ගනිමු . පහත රුපයේ දැක්වෙන්නේ ගිටාරයේ ස්වර පුවරුවේ එක් එක් ෆ්රෙට් (Frets) වලට අදාලව ශුද්ධ ස්වර ටික යෙදිල තියෙන හැටි.

guitar_fret_board_managapintharuwa


මිට කලින් කතා කරපු පොස්ටුවේදීත් මම ඔයාලට මේක ගැන කීව. අද අපි ඉගෙන ගන්න යන ක්‍රමයට ඕනෙ වෙන ස්වර ටික තමයි මෙහි රතු පාටින් Highlight කරල තියෙන්නෙ. දැන් ඔයාල පොඩ්ඩක් අවධානයෙන් බැලුවොත් තේරුම් යාවි මෙහි උඩින්ම තියෙන (2 වෙනි ෆ්රෙට් එකේ) A (ධ) ස්වරය මුලික කරගෙන තමා මෙම ලිපිය ආරම්භයේදී කීව ඕපන් කෝඩ්ස් වල තියෙන A මේජර් කෝඩ් එක හැදිල තියෙන්නෙ. ඒ වගේම හතරවෙනි (4) ෆ්රෙට් එකේ තියෙන B (නි) ස්වරය මූලික කරගෙන තමයි B මේජර් කෝඩ් එක හැදිල තියෙන්නෙත්. ඉතින් ඔන්න ඔය ක්‍රමය භාවිතා කරලා මේජර් කෝඩ්ස් අල්ලන හැටි තමා ඔය කතා කලේ. ඒ ක්‍රමයට මයිනර් කෝඩ්ස් අල්ලන විදිහ අපි දැන් බලමු.

ඉහත ඡේදයේ සඳහන් කරපු විදිහටම තමා A මයිනර් සහ B මයිනර් කෝඩ්ස් හැදිලා තියෙන්නෙත්. දෙවෙනි (2) ෆ්රෙට් එකේ තිබෙන A (ධ) ස්වරය මුලික කරගෙන A මයිනර් කෝඩ් එකත්, හතරවෙනි (4) ෆ්රෙට් එකේ තියෙන B (නි) ස්වරය මුලික කරගෙන B මයිනර් කෝඩ් එකත් හැදිල තියෙනවා.  

ඉතින් තවත් ටිකක් ඔයාල හොඳින් කල්පනා කරල ඉහත රුපය බැලුවොතින් තේරුම් යාවි ඔය ස්වර පුවරුවේ රතු පාටින් තියෙන ඉතිරි (2 වෙනි ෆ්රෙට් එකේ A ස්වරයත්, 4 වෙනි ෆ්රෙට් එකේ B ස්වරයත් හැර) ස්වර ඔක්කොම ඔය ක්‍රමයට ඇල්ලුවොතින් පිලිවෙලින් C මේජර්, D මේජර්, E මේජර්, F මේජර්, G මේජර් සහ C මයිනර්, D මයිනර්, E මයිනර්, F මයිනර්, G මයිනර් යන කෝඩ්ස් ටික හදාගන්න පුළුවන් නේද කියල. ඔව් ඇත්තටම එහෙම තමා ඔය ක්‍රමය භාවිතා කරද්දි ඉතුරු කෝඩ්ස් ටික හදා ගන්නෙ. 

ඒ වගේම ඔයාල මෙහිදී සිහියේ තබා ගන්න ඕන අනිත් කරුණ තමා මෙම ස්වර පුවරුවේ තිබෙන ශාර්ප් (Sharp) හෝ ෆ්ලැට් (Flat) නෝට්ස් වලටත් ඔය කරුණ අදාළ බව.එම ශාර්ප් (Sharp) හෝ ෆ්ලැට් (Flat) නෝට්ස් ඉහත රුපයේ සඳහන් කරල නැත්තෙ එම රූපය සංකීර්ණ වන නිසයි. ස්වර පිලිබඳ අවබෝධයෙන් ඔයාලට ඒ ස්වර ටික ඔය රුපයේ යෙදෙන හැටි හිතාගන්න පුළුවන් නෙ.

හරි අපි දැන් දැන ගන්න ඕන වැදගත් තොරතුරු ටික කතා කරල ඉවරයි. දැන් බලමු මෙම ක්‍රමයේදී ඇඟිලි ස්වර පුවරුව මත තබා ගන්න පිළිවෙල. 

right_hand_guitar


left_hand_guitar


මෙම ක්‍රමය අනුගමනය කරල මේජර් සහ මයිනර් කෝඩ්ස් වාදනය කිරීමේදී ඉහත රුපයේ විදිහට ඇඟිලි තබා ගැනීමට අනිවාර්යයෙන්ම පුරුදු විය යුතුයි. අපි දැන් බලමු මෙම ක්‍රමයට අනුව මේජර් සහ මයිනර් කෝඩ්ස් තියෙන විදිහ. මෙහිදී මම ඔයාලට පෙන්වන්නෙ මුලික ස්වර හතට (C , D , E ,F ,G , A ,B ) අදාල කෝඩ්ස් ටික පමණයි. දැන් ඔයාලට තියෙන ස්වර සම්බන්ධ දැනුම භාවිතා කරල ෆ්ලැට්/ ෂාප් නෝට්ස් වලට අදාල කෝඩ්ස් ටික හදා ගැනීමේ හැකියාව  තියෙනවා. 

දකුණත් කරුවන් සඳහා මේජර් කෝඩ්ස් | වමත් කරුවන් සඳහා මේජර් කෝඩ්ස් 



C_D_Major_chord

E_major_chord

F_G_major_chord


A_B_Major_chord



 දකුණත් කරුවන් සඳහා මයිනර් කෝඩ්ස්        |       වමත් කරුවන් සඳහා මයිනර් කෝඩ්ස් 



Cm_Dm_chord

Em_Fm_chord

Gm_Am_chord

Bm_chord

                                              

ඉහත තිබෙන සියළුම කෝඩ්ස් දිහා බැලුවම සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන්, අපි කොහොමද බොක්ස් ගිටාර් එකකින් මේ දාල තියෙන කෝඩ්ස් ඔක්කොම අල්ලන්න පුරුදු වෙන්නෙ කියල. එහෙම හිතෙන එක හරිම සාධාරණයි. මොකද දන්නවද ඔය තියෙන ක්‍රමයට අනුව G මේජර්/මයිනර් කෝඩ් එකෙන් එහාට වාදනය කිරීමට ගොඩක් බොක්ස් ගිටාර් වලින් කරන්න බැරි දෙයක් (එහෙම පුළුවන් බොක්ස් ගිටාරුත් තියෙන බව මතක තබා ගන්න). ෆ්රෙට්ස් අංක කර තිබෙන ආකාරය දෙස බැලුවහම ඔයාලට මම කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි.නමුත් ඉලෙක්ට්‍රික් ගිටාර් එකකින් ඉතාමත්ම පහසුවෙන් ඔය සියළුම කෝඩ්ස් වාදනය කිරීමේ හැකියාව තියෙනවා කියලත් මතක තියාගන්න. 
තින් ගිටාරය වාදනය කිරීමේදී මතුවෙන ඔන්න ඔය වගේ ගැටළු නිසා තමයි එකම කෝඩ් එකක් වාදනය කිරීම සඳහා ක්‍රම කිහිපයක් හදල තියෙන්නෙ සහ එහෙම හදාගන්න පුළුවන් විදිහට ගිටාර් එකේ තත් (Strings) සුසර (Tune) කිරීම සඳහා ස්වර තෝරල තියෙන්නෙ.එහෙම නැතුව කෙනෙක් එක ක්‍රමයක් පමණක් පුරුදු වූ පමණින් ඔහුට/ඇයට ගීතයක් හෝ සංගීත නිර්මාණයක් වාදනය කිරීම ඉතාම අපහසුයි. ඉතින් අපි තව ක්‍රම කිහිපයක් ඉදිරියටත් ඉගෙන ගෙන අභ්‍යාස කිහිපයකට යමු. එහෙම නැතුව ක්ෂණික නුඩ්ල්ස් වගේ ඉක්මනට මේ ක්‍රම ඉගෙන ගන්න ගියෝතින් ඔයාලට ගිටාරය දිහා බලන්නවත් හිතෙන එකක් නෑ, එහෙම  නැතිනම් ගිටාරය වාදනය කරන්න ඉගෙන ගත්තත් කිසි කමකට නැති මෙලෝ රහක් නැති වාදකයෙක් වීමේ ඉඩකඩ බොහොම වැඩියි :D. 

ඉතින් මනා  එහෙම කට්ටිය බිහි වෙනව දකින්න ආස නැති කෙනෙක්. කෙනෙක්ගෙ හිතට දැනෙන විදිහට වාදනයක් ඉදිරිපත් කරන්න සිංහලෙන්ම කියනවනම් හොඳ රහට වාදනය කරන්න පුළුවන් දක්ෂ දැනුමෙන් සන්නද්ද වාදකයෙක් බිහි කරන එක තමයි මානාගෙ එකම අරමුණ. ඉතින් ඉදිරියටත් පින්තාරුව සමග රැඳී ඉන්න කියල ඔයාලට කියන ගමන් මෙම පොස්ටුව අවසන් කරනව. ජය වේවා!!!

ප.ලි :- කිසියම් ගැටළුවක් ඇති තැනක් තියෙනවනම් කමෙන්ටුවකින් කියන්න අමතක කරන්න එපා.