Sunday, February 8, 2015

කපුගේ ශුරීන්ගේ අමරණිය ගීතයක් සමගින් ගිටාර් අභ්‍යාසය 1

Gunadasa Kapuge

සුභ දවසක් සියළු දෙනාටම. ඔන්න ගොඩ දවසකින් වෙනද වගේම අපේ සුපුරුදු ගිටාර් පාඩම් මාලාවට අදාළ ලිපියක් ලියන්න කල්පනා කළා. අපි මෙතෙක් කල් කතා කලේ කොහොමද ගිටාරයෙන් මේජර් සහ මයිනර් කෝඩ්ස් අල්ලන්නෙ කියල. එකම කෝඩ් එකක් ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකට අල්ලන අකාරය ඒ යටතේ මම ඔයාලට කියල දුන්නා. ඉතින් ඒ ක්‍රම දැන ගත්තට විතරක් මදි නොවැ ඒවා කොහොමද සිංදුවකට හරි වෙනත් නිර්මාණයකට හරි යොදා ගන්නෙ කියල දැන ගන්න ඕනනෙ. ඉතින් අද ඉඳන් කතා කරන්නෙ කොහොමද ඒ කෝඩ්ස් අල්ලන ආකාරයන් ප්‍රයෝගිකව යොදා ගන්නෙ කියල.

මෙතැනදී මට තව දෙයක් කියන්න ඕන කමක් තියෙනව. මම මේ අභ්‍යාස හැම එකක්ම බොක්ස් ගිටාරය භාවිතයෙන් පමණයි කරන්නෙ. සාමාන්‍යයෙන් අපි බොක්ස් ගිටාර් එකක් ආශ්‍රය කරගෙන නිර්මාණයක් කරද්දී භාවිතා කරන්නෙ ඕපන් කෝඩ්ස්. මම ඕපන් කෝඩ්ස් ගැන මුලින්ම ඔයාලට කියල දුන්න මතක ඇති. ඉතින් මම ඉදිරියේදී කරන සෑම අභයාසයකටම ඕපන් කෝඩ්ස් භාවිතා කරන්න තමයි තීරණය කලේ. ඒ අතර සමහර වෙලාවට ඊට අමතර ක්‍රමයන්ට අදාළ කෝඩ්ස් වාදනය කරන්නත් සිදුවේවි. නමුත් ඉලෙක්ට්‍රික් ගිටාර් වාදනය කරද්දී ඕපන් කෝඩ්ස් වලට වඩා අනිත් ක්‍රම දෙකට අදාල කෝඩ්ස් තමා භාවිතා කරන්නෙ. විශේෂයෙන්ම  කණ්ඩායම් සංගීතයේදී. ඒ වගේම ලීඩ් ගිටාර් වාදනයටත් කෝඩ් එක සහ ස්කෙල් එක ගන්න අනිත් ක්‍රම දෙක භාවිතා කරනව.අපි ලීඩ් ගිටාර් වාදනය ගැන ඉදිරියේදී ලිපි පෙලකින් කතා කරමු.

අද මම කල්පනා කලේ ගිටාර් අභ්‍යාසය විදිහට ජනප්‍රිය ගීතයක් ඔයාලට කියල දෙන්න. මේ ගීතය ගුණදාස කපුගේ ශුරීන් ගායනා කරන ලද දුක හාදු දෙන රැයේ ගීතයයි. මුල්ම ගීතය ලෙස එය තෝරාගන්න හේතුව උනේ එහි කෝඩ්ස් භාවිතයේදී තිබෙන සරල බව සහ නිදහස් බවයි. මෙම ගීතය නිර්මාණය වී තිබෙන්නේ Em (E මයිනර්) කෝඩ් එක මුල් කරගෙනයි. ඒ වගේම මෙම ගීතය 3/4 තාලයට අනුව නිර්මාණය වුවකි. මෙහිදී ගීතයේ ඉන්ට්‍රඩක්ෂන් එහෙම නැති නම් මුල් සංගීත ඛණ්ඩයේදී එක් විශේෂ කෝඩ් එකක් භාවිතා කරනු ලබනවා. එය Esus (E සස්) කෝඩ් එකයි. අපි ඒ කෝඩ් එකත්  ඉගෙන ගෙන යමු.

                                                                           Esus

Esus_ sus code_guitar code

ඊට අමතරව එම ගීතයේ verse එක එහෙම නැති නම් අන්තරා කොටස් වලදී D7 කෝඩ් එකකුත් යෙදෙනව.

                                                                 D7

D7_code_guitar code


තව දෙයක් කියන්න ඕනෙ. මම මේ ගීතයේ කෝඩ්ස් ටික උපුටා ගන්නෙ අපේ සහෝදර බ්ලොග් ලියන්නෙක් වන රොෂාන් විජේසේකරගෙ Sinhala Song Chords කියන බ්ලොග් අඩවියෙන්. පෞද්ගලිකව මම හිතන විදිහට  ඔහු එම අඩවිය තුලින් කරන සේවය මෙතෙක් නිසි ඇගයීමකට ලක් වෙලා නැහැ. ඉතින් මම හිතුව මම අභ්‍යාස විදිහට යොදාගන්නා ගීත වල කෝඩ්ස් ඔහුගෙ අඩවියෙන් උපුටා ගත්තොත් ඒක ඔහුට කරන ඇගයීමක් සහ දිරි ගැන්වීමක් කියල. මොකද ඔය සිංදුවකට කෝඩ්ස් යොදනවා කියන එක එතරම් පහසු කටයුත්තක් නොවෙයි. ඒකට ගීතයක් කිහිප සැරයක් අහල නිවැරදි හැඟීම මතුවෙන විදිහට කෝඩ්ස් යොදන්න ඕනෙ. මම එහෙම කියන්නෙ ලංකාවේ ප්‍රසිද්ධම සිංහල සිංදු කෝඩ් වෙබ් අඩවියකට ගීත කිහිපයක කෝඩ්ස් නිර්මාණය කරල දීල මටත් අත්දැකීම් තියෙන නිසයි (ඒක ලොකු කමකට කිව්ව නෙමෙයි ඈ :D ). පහතින් තියෙන්නෙ අද කතා කරන ගීතයේ කෝඩ්ස් ටික. මම තවත් පහසු වෙන්න ගී පද වලට උඩින් කෝඩ්ස් ටික ලිව්වා අභ්‍යාස පහසු කිරීමට.

Duka_hadu_dena_raye_gunadasa_kapuge

හරි අපි දැන් අභ්‍යාසය පටන් ගමු. මුලින්ම බලමු කොහොමද දුක හාදු දෙන රැයේ ගීතයේ Introduction එහෙම නැති නම් ගීතය හැඳින්වීමේ මුල් සංගීත ඛණ්ඩයට බොක්ස් ගිටාර් එක ආශ්‍රයෙන් කෝඩ්ස් වාදනය කරන්නෙ කියල.පහත තියෙන වීඩියෝ එක බලන්න. මම ඉතාමත්ම හෙමින් එම කොටස් වාදනය කරන්නෙ ඔයාලට ඉගෙන ගැනීමේ පහසුවට.


දැන් අපි බලමු ගීතයේ Chorus එහෙම නැති නම් ස්ථායි කොටස (ඔය කියන්නෙ මුල් පද ටිකට) කොහොමද වාදනය කරන්නෙ කියල.


දැන් බලමු  මේ ගීතයේ Verse එහෙම නැති නම් අන්තරා කොටස් කොහොමද වාදනය කරන්නෙ කියල. මේ ගීතයේ අන්තරා කොටස් දෙකක් තියෙනව. ඒ කොටස් දෙකම එකම තාලයකට තමා ගායනා කරන්නෙ (බොහොමයක් සිංහල ගීත වල වගේ). ඉතින් මම මෙහිදී වාදනය කරන්නෙ එක Verse  එකක් පමණයි.


පහළින් තියෙන්නෙ මේ කොටස් සියල්ලම එකතු වුනහම ගීතය වාදනය කෙරෙන ආකාරයයි.  එකත් අහල බලන්නකො. පුළුවන් නම් YouTube එකේ ලයික් එකකුත් දාලම යන්න :D. මෙම ගීතය ගායන කිරීමේදී මා අතින් සිදුවී ඇති අඩුපාඩු වලට සමාව අයදිනවා. 


හරි එහෙනම් අභ්‍යාසය අදට ඉවරයි. තවත් අභ්‍යාසයකින් ඉක්මනින් හමුවෙමු. සියළු දෙනාටම ජය වේවා!!!

ප.ලි:-
-> පසු කලෙක කපුගේ ශූරින් සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම සමග කරන ලද කැසට් පටයේදී මෙම ගීතය 6/8 තාලයට වාදනය කරන ලදී.
-> මෙම අභ්‍යාස වල අඩුපාඩු ඇත්නම් සමා වෙන්න ඕන.
-> කෝඩ්ස් උපුටා ගත්තේ  http://sinhalachordsfactory.blogspot.com/2014/12/duka-haadu-dena-gunadasa-kapuge.html

-> ඉහත තිබෙන කපුගේ මහතාගේ ෆොටෝ එක ගත්තෙ මෙතනින්.