Wednesday, May 27, 2015

මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද?


මීට මාස කිහිපයකට කලින් මම පල කරපු සංගීත පෝස්ට් එකකට කටුසු හදවතේ කටුස්සා මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාල තිබ්බා.

" මනා,මේක ටිකක් පෞද්ගලික ප්‍රශ්නයක්...ඔය ගිටාර් එකවගේම තියන යට හරිය රබානක් වගේ පෙනුමක් තියන වාදන භාන්ඩය මොකද්ද මචෝ?උඹට මතකනම් "ආදරනීය රෝහණ "ෂෝ එකේ ඇන්තනී සුරේන්ද්‍ර වාදනය කරපු එක.ඒකේ ලීඩ් ගිටාර් එකක් තිබුනේ නෑ.සුරේන්ද්‍ර ඒකෙන් තමා ලීඩ් පාර්ට් ප්ලේ කලේ.අහල තියන විදිහටනම් ඒක වාදනය කරන්න ඉස්සර හිටපු හොඳම වැඩ්ඩා සුරේන්ද්‍රගේ තාත්තා.පුළුවන්නම් ඒකගැන පොඩ්ඩක් කියල දියන් "

ඉතිං මම එදා ඒකට පොඩි පැහැදිලි කිරීමක් කරලා රිප්ලයි එකක් දාල කටුස්සට පොරොන්දු උනා ඉක්මණටම ඒ ගැන ලිපියක් දාන්නම් කියලා. එදායින් පස්සෙ ඕක මට හෙමීට අමතක වෙලා ගිහිල්ල දැන් දවස් දෙක තුනකට කලින් සංගීතෙ සම්බන්ධ පෝස්ට් එකක් දාන්න බැරි උනා නේද කියල කල්පනා කරද්දී තමා ආයෙමත් සැරයක් මතක් උනේ.

ඇත්තටම එදා අපේ කටුස්සා ඒ අහපු සංගීත භාණ්ඩයේ නම "බැන්ජො (Banjo)" කියල තමා හඳුන්වන්නෙ. බැන්ජො එක කියපු ගමන් මගේ මතකයට එන්නෙ ඇන්තනී සුරේන්ද්‍ර මහතායි. ඉතිං ඔයාලත් ඇන්තනී සුරේන්ද්‍ර කියන දක්ෂ වාදකයා අඳුරනවනම් ඔහු සිටින සංගීත වැඩසටහන් වල රබානක් වගේ එහෙක අමුතු රටාවක් දාපු ගිටාර් එකක් වගේ ලස්සන භාණ්ඩයක් වාදනය කරනවා දැකල ඇති. දැන් ඇන්තනී සුරේන්ද්‍ර දන්නෙ නැති අයට ප්‍රශ්නයක්නෙ. ඒ අයට දැන ගන්න මම ඇන්තනී සුරේන්ද්‍ර මහත්තයගේ පින්තුර කිහිපයක් දාන්නම්කො.

ඇන්තනී සුරේන්ද්‍ර මහතා

ඇන්තනී සුරේන්ද්‍ර මහතා
ඇන්තනී සුරේන්ද්‍ර මහතා
ලංකාවෙ බැන්ජො වාදකයින් විදිහට මම දැකල තියෙන්නෙ ඇන්තනී සුරේන්ද්‍ර සහ බුද්ධික පෙරේරා කියන දෙපළ විතරයි. ඔවුන් දෙදෙනා බැන්ජො සහ අනිකුත් තත් භාණ්ඩ(ගිටාර්,මැන්ඩලීන් ආදී) වාදනය කිරීමටද එක සේ දක්ෂය. 

බුද්ධික පෙරේරා මහතා
බුද්ධික පෙරේරා මහතා
නමුත් බැන්ජො කියන නම ඇහුණු ගමන් අපේ මතකයට එක පාරටම එන්නේ ඇන්තනී සුරේන්ද්‍ර කියන වාදකයායි. 

අද ලියන්නෙ ඒ අපූරු වාදකයා වාදනය කරපු අපූරු සංගීත භාණ්ඩය ගැන තොරතුරු ටිකක්. ඒ සංගීත භාණ්ඩයේ නම "බැන්ජො". සාමාන්‍යයෙන් අපි කියන්නෙ බැන්ජො එක කියලා. සමහර තත් වාදන භාණ්ඩ තියෙනවා ඒවා නිර්මාණය කරලා තියෙන්නෙ බෙර සම්බන්ධ කරගෙන. බෙර කියන්නෙ සාමාන්‍යයෙන් රබාන වගේ හැඩය තියෙන රබානෙ ප්‍රමාණයම වගේ බෙර. මේ බැන්ජො එකත් ඒ විදිහට හදපු භාණ්ඩ වලට තමා අයිති වෙන්නෙ. මුලින්ම මේ භාණ්ඩ නිර්මාණය වෙලා තියෙන්නෙ අප්‍රිකානු රටවල් මුල් කරගෙන. ඊට පස්සෙ තමා මැද පෙරදිග හරහා යුරෝපයට සංක්‍රමණය වෙලා මුළු ලෝකෙටම ව්‍යාප්ත වෙන්නෙ. ඇත්තටම මේ භාණ්ඩය නිර්මාණය කරලා තියෙන්නෙ අප්‍රිකානු වහල් ජනතාව කියල තමා  සඳහන් වෙන්නෙ. පස්සෙ ඒවා වහල් වෙළඳාම හරහා තමා අර කලින් කීව විදිහට ලෝකෙට ව්‍යාප්ත වෙන්නෙ. ඒ මුලින්ම හදපු භාණ්ඩය දැන් අපි දකින බැන්ජො එක වගේ දියුණු එකක් නෙමේ. ඒක ප්‍රථමික මට්ටමේ සංගීත භාණ්ඩයක් විදිහට තමා තිබිල තියෙන්නෙ. බැන්ජො කියන නම ලෝකෙට ප්‍රසිද්ධ වෙන්න කලින් මේ භාණ්ඩය "බැන්ජා","බැන්ජිල්","බැන්සා", "බැන්ෂෝ" වගේ නම්  වලින් තමා හඳුන්වල තියෙන්නෙ.

බැන්ජො එකට මුලින්ම තිබිලා තියෙන්නෙ මෙන්න මේ වගේ පෙනුමක්.

පැරණි බැන්ජො එකක්
පැරණි බැන්ජො එකක්

පස්සෙ එය ටිකෙන් ටික දියුණු වෙලා දැන් තියෙන තත්වයට පත් වෙලා තියෙනවා. දැන් දකින බැන්ජෝ එක හරි  ලස්සනයි වගේම හොඳ නිමාවකින් යුක්තයි.

වර්තමානයේ ඇති අලංකාර බැන්ජො එකක්
වර්තමානයේ ඇති අලංකාර බැන්ජො එකක්
බැන්ජො එක ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකින් යුක්තයි. ඇත්තටම මෙම භාණ්ඩයේ හඬ නිපදවෙන්නෙ තත් කම්පනය කරලා උනත් බොක්ස් ගිටාර් එකේ වගේ සිදුරක් සහිත ලී පෙට්ටියක් නෙමේ තියෙන්නෙ. බැන්ජො එකේ ලී පෙට්ටිය වෙනුවට තියෙන්නෙ රබානක් වගේ තියෙන බෙර වර්ගයක්. ඒ රබාන පිටිපස්සෙන් තියෙනවා අනුනාදකයක්. ඒ වගේම මේ රබානට මුලින්ම යොදාගෙන තියෙන්නෙ සත්තුන්ගෙ හම්. නමුත් වර්තමානයේ නම් සත්ව හම් වෙනුවට කෘතිමව නිපදවනු ලබන හම් යොදාගනු ලබනවා. ඉතිං ඔය රබාන නිසා මේ භාණ්ඩයෙන් හරි ලස්සණ හඬක් ඇති වෙනවා. බොක්ස් ගිටාර් එකකින් එන හඬට වඩා ගොඩක් වෙනස්. ඔය හඬ නිසා තමා මේ බැන්ජො කියන වාදන භාණ්ඩය විශේෂ වෙන්නෙ සහ ලෝකය පුරා ජනප්‍රිය වෙන්න ඇත්තෙ.

ඒ වගේම සාමාන්‍යයෙන් බැන්ජො එකක තියෙන්නෙ තත් එහෙමත් නැත්නම් ස්ට්‍රින්ග්ස් හතරක්. නමුත් තත් පහ, හය , අට සහ දොළහ වශයෙන් තියෙන බැන්ජොත් තියෙනවා. ඒවා වාදකයාගේ අවශ්‍යතාව සහ කැමැත්ත අනුව තමා තෝරා ගැනීම සිදු කරන්නෙ. මෙම තත් සුසර කර ගන්නා ආකාර ඔය තත් ගාන අනුව එකිනෙකට වෙනස් වෙනවා. නමුත් ඒවා මම මේ ලිපියේ සඳහන් කරන්නෙ නැහැ. මේ භාණ්ඩයේ මූලික දේවල් පිළිබඳව විතරයි මේ ලිපියෙන් කතා කරන්නෙ.  

         
තත් හතරේ බැන්ජො එකක්
තත් හතරේ බැන්ජො එකක්

තත් පහේ බැන්ජො එකක්
තත් පහේ බැන්ජො එකක් 

තත් හයේ බැන්ජො එකක්
තත් හයේ බැන්ජො එකක්  

තත් අටේ බැන්ජො එකක්
තත් අටේ බැන්ජො එකක් 
තත් දොළහේ බැන්ජො එකක්
තත් දොළහේ බැන්ජො එකක්

මේ පහළින් තියෙන්නෙ බැන්ජො එකක තියෙන කොටස්. මේ රූපයේ තියෙන්නෙ තත් පහක් තියෙන බැන්ජො එකක්.

බැන්ජො එකක කොටස්
බැන්ජො එකක කොටස්
අද වන විට බැන්ජො එක ලෝකය පුරාවටම ජනප්‍රිය වෙච්ච සංගීත භාණ්ඩයක්. ගිටාරය වෙනුවට බැන්ජො එක යොදාගනිමින් ලෝකයේ විවිධ සංගීත කණ්ඩායම් පවා බිහිවී තිබෙනවා. ඒ වගේම බැන්ජො භාණ්ඩය මුල් කරගෙන සංගීත ශයිලීන් පවා බිහිවී තිබෙනවා.

බැන්ජො එකක හඬ මොනවගේද, වාදනය කරන්නෙ කොයි ආකාරයටද යන්න දැන ගන්නත් එක්ක මම වීඩියෝස් දෙකක් එකතු කරනවා. පළවෙනි එක නිරෝෂා විරාජිනී මහත්මිය ගායනා කරන පුන් සඳ රෑට කියන ගීතය. ඒකෙ අපි කාටත් හුරු බැන්ජෝ වාදනයක් තියෙනවා. මේ දාල තියෙන්නෙ දෙරණ ටීවී එකේ ගිය ඩෙල් ස්ටුඩියෝ වැඩ සටහනේ කරපු සජීවී පටිගත කිරීමක්. මේකෙ බැන්ජෝ එක වාදනය කරන්නෙ බුද්ධික පෙරේරා මහතා (අපේ විචාරක මහත්තයා තමා මට මේ වීඩියෝ එක ගැන මතක් කලේ. මට මේ සිංදුව අමතක වෙලා තිබුණේ :) ). ඒ වගේම දෙවෙනි එක බටහිර එකක්. පුළුවන් නම් මේ වීඩියෝස් දෙක නරඹන්න. බලන්නකො බැන්ජො ඒකෙන් කොච්චර හොඳට වැඩ දාන්න පුළුවන්ද, කොයි තරම් අපූරුද ඒ වාදන භාණ්ඩය කියලා.





මේ භාණ්ඩය ලංකාවේ ජනතාවට දැකලා පුරුදු උනත් බහුතරයක් දෙනා නිවැරදි නාමය දන්නෙ නැහැ. බොහෝ දෙනෙක් බැන්ජො එක මැන්ඩලීනය සමග පටළවාගෙන සිටිනවා. ඉතිං මේ ලිපිය මගින් මේ වාදන භාණ්ඩය සම්බන්ධව මූලික තොරතුරු කතා කරන්න තමා උවමනා උනේ. ඉතිං මේ කියපු තොරතුරු යම් තරමකට ප්‍රමාණවත් කියල මට හිතෙනවා. මේ වාදන භාණ්ඩය ලංකාවෙ වාදනය කරපු තවත් ප්‍රවීණ වාදකයො සහ වෙනත් තොරතුරු ඔයාල දන්නවානම් ඒවත් සඳහන් කරලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඔන්න එහෙනං මං දැන් මේ ලිපිය ඉවර කරනවා.

ජය වේවා!!!

Saturday, May 23, 2015

සිංහල බ්ලොග් අවකාශයේ ඇනෝලා | Anonymous Users


ඔන්න අද කියන්න හදන්නෙ තරමක් වෙනස් දෙයක්. ඒත් බ්ලොග් අවකාශයේ සිටින මට වගේම ඔබටත් හොඳට හුරු පුරුදු දෙයක්. 

අපි බ්ලොග් පෝස්ට් එකක් කියවා එයට කමෙන්ට් කිරීම සාමාන්‍ය දෙයකි. සාමාන්‍යයෙන් කමෙන්ට් කිරීමට පෙර එතෙක් පලවී ඇති කමෙන්ට්ස් කියවීම බොහෝ දෙනාගේ සිරිතකි. එම කමෙන්ට් අතර අපි කවුරුත් දන්නා බ්ලොග් අයිතිකරුවන් සහ බ්ලොග් පවත්වාගෙන නොයන පුද්ගල නාමයන්ද දැකිය හැකිය. ඒ දෙපිරිසටම අයිති නැති පුද්ගලයන් ලෙස  ඇනෝලා(Anonymous) හැඳින්වීම නිවැරදි යැයි මට සිතේ. ඉතිං මෙම පෝස්ට් එකෙන් සිංහල බ්ලොග් ලෝකයේ ඇනෝවරු ගැන අපි කතා කරමු.

සාමාන්‍යයෙන් ඇනොනිමස්(Anonymous) ලෙස කැටගරි එකක් බ්ලොග් අවකාශයේ පවතින්නේ කිසියම් පුද්ගලයෙකුට ප්‍රොෆයිල් එකක් නොමැති වුවත් ඔහුගේ/ඇයගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම සඳහාය. ඉතිං ඔබ බ්ලොග් පෝස්ට් කියවන විට ඕන තරම් ඇනොනිමස්(Anonymous) කමෙන්ට්ස් දැක ඇත. මෙලෙස සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රධාන වශයෙන් ඇනෝලා දෙපිරිසකි.

1) සැබෑවටම ඇනෝ
2) ප්‍රොෆයිල් ඇනෝ


සැබෑම ඇනෝලා ගැන කතා කරන විටදී ඔවුන්ද උප කොටස් වලට බෙදිය හැකිය. එනම් සැබෑ ආතල් ඇනෝ සහ  සැබෑ ආතල් නොවන ඇනෝ.

මෙයින් මා කැමති පිරිස සැබෑ ආතල් ඇනෝලා වේ. හේතුව ඔවුන් බ්ලොග් පෝස්ට් එකට අදාල සෑම  කමෙන්ට් එකකටම ගැළපෙන ලෙස ආතල් එකක් දෙන නිසාය. ඔවුන් ගැන වැඩි දෙනෙක් දන්නවා නොඅනුමානයි. උදාහරණයක්‌ ලෙස පාන් ඇනෝ සහ අයිසෙ ඇනෝ ගෙනහැර දක්වන්න පුළුවන්. තවත් එවැනී අනෝලා ගොඩක් සිටියත් මට මතකෙට ආවේ එපමණකි. මෙම අනෝලාගේ වැඩි ක්‍රියාකාරිත්වයක් අපගේ ප්‍රසිද්ධ බ්ලොග් කරුවන්ගේ පෝස්ට් වලින් සෑම කෙනෙක්ටම බලා ගන්න පුළුවන්. මාතලන්, රසිකලොජි, රාජ්ගෙ නවාතැන ඒ අතරින් කිහිපයකි.


මට මෙම පෝස්ටුව ලිවීමට සිතුනේද මාතලන් බ්ලොග් අඩවියේ පලවූ වාසු සම්බන්ධ පෝස්ටුවට අදාළ කමෙන්ට් කියවීමෙන් පසුවයි. මාගේ එක් විනෝදාංශයක් ලෙස දැන් එම කමෙන්ට් කියවිල්ල පත් වී ඇත්තේ එම කමෙන්ට් වල ඇති හාස්‍යමය ස්වරුපයෙන් යුත් ගැඹුරු අදහස් නිසාය. නමුත් ඇතැම් විට මෙම ආතල් ඇනෝ කමෙන්ට්ස් වල කුනුහබ්බද නැතුවාම නොවේ.  එමෙන්ම සමහර බ්ලොග් කරුවන්ට කෝචෝක් කිරීමද දැක ඇත. කෙසේ නමුත් ඔවුන් නිසා බ්ලොග් ලියන කියවන බහුතරයක් බඩ පැලෙන්න හිනා වෙනවාට කිසිම සැකයක් නැත.  

එහි අනෙක් උප කොටස වන්නේ සැබෑ ආතල් නොවන ඇනෝවරුන්ය. ඇත්තටම ඔවුන්ට අවශ්‍ය වන්නේ අදාළ පොස්ටුව මගින් කියන කරුණු වලට තව දෙයක් එක් කිරීම, පෝස්ටුවේ හොඳ කීම හෝ අඩු පාඩු පෙන්වා දීම වේ. ඇතැම් විටෙක නිර්දය ලෙස විවේචනය කිරීම්ද මා දැක ඇත. ඔවුන් බොහෝ විට ඒ ඒ ක්ෂේත්‍ර වල  ප්‍රවීණයෝ විය හැකියැයි මට සිතේ. කෙසේ වෙතත් ඔවුන්ද නාමික ප්‍රොෆයිල් වලින් ඇවිත් කමෙන්ට් දමනා අය සමග එක මට්ටමක තැබීමට මා කැමැත්තෙමි. 


දැන් කියන්නට යන්නේ ටිකක් බැරෑරුම් කරුණක් කීවොත් නිවැරදියි. එනම් ප්‍රොෆයිල් ඇනෝවරු ගැනය. මේ කට්ටිය ටිකක් භයානක පිරිසක් කීවොත් හරි. ප්‍රොෆයිල් ඇනෝවරු ලෙස හැඳින් වෙන්නේ සැබෑ නමිනුත් ප්‍රොෆයිල් එකක් තිබෙන නමුත් ඇනෝ ලෙස කමෙන්ට් කරනා පිරිසටයි. බොහෝ විට තමන් අකැමැති පුද්ගලයන් සමග වාද කිරීමට, බැන ගැනීමට සහ මඩ ගැසීමට මෙම ප්‍රොෆයිල් ඇනෝලා ක්‍රියා කරනා බව සමහර ඇනෝ කමෙන්ට්ස් කියවීමෙන් නිගමනය කිරීමට පුළුවන්. නමුත් ඔවුන් අර සැබෑවටම ඇනෝලා සමග එක මට්ටමක තබන්න මම අකමැත්තෙමි.


කෙසේ නමුත් බොහෝ බ්ලොග් කරුවන්හට ඇනෝලාගෙන් ලැබෙන සේවය අතිමහත්ය. එසේ කියන්නේ ඇනෝවරු දිනපතා පැමිණෙන ප්‍රධාන බ්ලොග් අඩවි කිහිපයක් ඇත. එම අඩවි පවත්වන් යන පුද්ගලයන් හට වෙනත් කවුරුන් හෝ වැරදි ලෙස විවේචනය කිරීම්, බැන වැදීම් වලදී මෙලෙස බ්ලොග් වලට පුරුදු වුනු ඇනෝවරු එම කමෙන්ට් කරන තැනැත්තාව නැති බන්ගස්තාන කිරීමට එකාවන්ව පෙළ ගැසී තම තමන්ගේ අදහස් දැක්වීම් වලින් බ්ලොග් අයිතිකරුවා වෙනුවෙන් පෙනී සිටින අවස්ථා මම දැක ඇත්තෙමි. නමුත් අනෙක් ලක්ෂණය නම් ඔවුන් බ්ලොග් අඩවිය ලියන තැනැත්තාට විවිධ ආකාරයේ කෝචෝක් කරමින්, නමුත් දිගටම එම අඩවියත් සමග රැඳී සිටමය. මෙහෙම කියද්දී ප්‍රසිද්ධ බ්ලොග් නාමයන් කිහිපයක් ඔබට මතක් වෙනු ඇති.


එමෙන්ම මෙම ඇනෝවරුන් නිසා බ්ලොග් අඩවියකට සැලකියයුතු ට්‍රැෆික් එකක් ලැබෙන බව නොරහසකි. නමුත් මෙම ඇනෝවරු සමග ගනුදෙනු කිරීමට අකමැති පිරිසක්ද මෙම අවකාශයේ සිටිති. එවන් පුද්ගලයින් ඇතැම් විට ඇනෝවරුන්ට කමෙන්ට් කිරීමට නොහැකි ලෙස බ්ලොග් අඩවියේ සැකසුම් වෙනස් කර ඇත. සමහරු සෑම කමෙන්ට් එකක්ම පලකිරීමට ප්‍රථම කියවා බලා පසුව පබ්ලිෂ් කිරීමට හැකි වන ලෙස සැකසුම් සකස් කොට ඇත. ඇත්තටම එය මාධ්‍ය නිදහසට බාධාවක් නොවන්නේද?. මේ ලියන මටද ඇනෝවරු කිහිප දෙනෙක්ම කමෙන්ට් කර ඇති අතර එක්කෙනෙක් දෙන්නෙක් හොඳ පද වලින් අමතා ඇති බවද මේ අවස්ථාවේදී මාගේ මතකයට නැගෙයි :D. නමුත් ඔවුන් සැබෑ ඇනෝවරුද ප්‍රොෆයිල් ඇනෝවරුද යන්න අදටත් ප්‍රශ්නයකි.

ප.ලි:
ඇනෝවරුන්ටද අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදීම කලයුතුයි. එමගින් අපට අළුත් දේවල් ඉගෙන ගැනීමට යොමුවීම්, වැරදි හදා ගැනීම් සහ හොඳ හැටි ලේ පිරිසිදු කරගැනීමට අවස්ථාවන් උදාවේ.

ජය වේවා!!!   

Tuesday, May 19, 2015

රොකට් එකේ ගියපු සිරිපාල


අපේ රටේ හැම තැනකම -  හැම කෙනෙක්ම දන්න දෙයකි
ගංජා ගැන පුවතකි මේ - කියන්න යන්නේ

හිටියා එක මනුස්සයෙක් - කොළඹට ළඟ හොඳ නගරෙක
සිරිපාලයා නමින් තමයි - ඔහු හැඳින්නුවේ

පුළුවන් හැම වෙලාවකම - ගංජා සුරුට්ටුව ඇදීම
සිරිපාලගේ තිබුන - ලොකුම රාජකාරියයි

මේ අතරේ ලෝකෙ අපේ - වෙන්න යන්නෙ පුදුම දෙයකි
නාසා එකෙන් රොකට් එකක් - යවන්න යන්නේ

ලෝකෙ ඉන්න මිනිසුන්ගෙන් - තුන් දෙනෙක්ම තෝරාලා
රොකට් එකේ දැමීමටයි - තීරණය උනේ

තුන්දෙනගෙන් එක මිනිහෙක් - ලංකාවෙනි තෝරගත්තෙ
වෙන කවුරුත් නෙමේ අනේ - සිරිපාල තමයි

අනිත් දෙන්න වෙන රට වල - නම ගිය වැඩකරුවන් වෙති
පොත් කියවන්නෙක් - සමගින් ආචරතුමෙකුයි

මේ අතරේ සිරිපාලයා - ඇමරිකාවෙ එක්ක ගියා
අහසෙ ඉන්න තිබ්බ කාලෙ - මාස හතරකුයි

තමන්ට උවමනා ඒව - නාසා එකෙන් ඇසූ නිසා
අර දෙන්නා පොත් - විජ්ජා බඩු බුක් කෙරුවේ

සිරිපාලයා උඩට ගිහිං - මාස ටිකක් ඉන්න නිසා
ඇති පදමට ගංජා මිටි - ඉල්ලා සිටියේ

ඔක්කොම බඩු පැක් කරලා - රොකට් එකත් උඩට යවා
මේ තුන්දෙන කරනා වැඩ - නාසා එකෙන් පොළොවෙ ඉඳන් බලාන උන්නේ

එකෙක් හොඳට පොත් කියවයි - අනෙකා විජ්ජා පෙන්නයි
සිරිපාලයා මොනවාදෝ - හොයනව පෙනුනේ

හොයල හොයල හති වැටිලා - ඔළුව කස කසා ටිකකින්
ඇඳට වැටී ඔහේ බලන් - ඉන්නට වුයේ

මෙලෙස මාස හතර පුරා - සිදුවුයේ එකම දෙයකි
හති දමමින් හොයන එකයි - පාලයා කෙරුවේ

මාස හතර ඉවර වෙලා - රොකට් එකත් බිමට ඇවිත්
තුන් දෙනාම යහතින් - හෙමිහිට බැහැගත්තේ

මේ කාලය පුරාවටම තමන් ලබා ගත්ත ඒවා - නාසා එකෙන් විමසු විට
තුන් දෙනාම මෙන්න මෙහෙම - පිළිතුරු දෙන්නේ

මම නම් හොඳ හැටි කියවා - සෑහෙන පමණට දැනුමක්
මේ කාලය පුරාවටම - රැස් කර ගත්තා

කරපු පරික්ෂණ ඔක්කොම - මම හොඳටම කරගත්තා
නවතම දේවල් රැසක්ම - මම දැන ගත්තා

අන්තිමේට සිරිපාලයා - මූණ නොරොක් කර හොඳ හැටි
මෙන්න මෙහෙම නාසා එකෙන් - අහන්න වූයේ






"කොහෙද අයිසෙ ගිණිපෙට්ටිය - හංගල තිබ්බේ!!!"  



මදාවි ඉට්ටැයිල් එක කොපි කරලා මටත් කවි ටිකක් ලියන්න හිතුනා ;).
ජය වේවා!!!

Saturday, May 16, 2015

සංගීත ජීවිතයේ සොඳුරු මතක - 2


ඔන්න අද ඉතුරු කොටස කියන්න හදන්නෙ. මුල් කොටස කියෙව්වෙ නැතිනම් ඒකත් කියවල එන්න. සංගීත ජීවිතයේ සොඳුරු මතක - 1.

ඔන්න දැන් සිංදු හතරක් පහක් ගහගන්න පුළුවන් තත්වෙට බෑන්ඩ් එක හැදුන. ඉතිං අපිත් ෆ්ලෑෂ් බැක් වගේ කියල හිතාගෙන ප්ලේ කරනව.ඒත් අපිට තේරුම් ගියා ඒ උගන්නන කෙනාත් පොඩි දේවල් ටිකක් විතරක් දැනගෙන පොඩ්ඩ පොඩ්ඩ උගන්නන විත්තියක්. ඉතිං අපි හෙමින් සීරුවෙ එතැනින් සමු අරගෙන වෙනත් හොඳ තැනක් කරා සංක්‍රමණය උනා. 

අපි මේ තැනින් වෙන තැනකට යන්න ප්‍රධාන හේතුව උනේ ඒ උගන්වන පුද්ගලයා තුලින් අපිට අවශ්‍ය දෙය නොලැබෙන බව අපි හැමෝටම වැටහිලා තිබීම. අනිත් කාරණය තමා අපේ බෑන්ඩ් එකේ සාමාජිකයො දෙතුන් දෙනෙක් මාස දෙකක විතර මුදල් නොගෙවා සිටීම. නමුත් එම පුද්ගලයා ඒවා ගෙවීමට ඇති බව මතක් කරනවා මිසක් බැනීම හෝ ප්‍රැක්ටිස් එන්නට එපා කීම හෝ කලේ නැහැ. ඔහු ඉතා හොඳ මිත්‍රශීලී මනුස්සයෙක්. අපි එහෙම කලත් අදටත් දැක්කොත් මල්ලි කියල කතා කරන මනුස්සයෙක්.

හරි ඔන්න ඉතිං අපි ඊළඟට ගියා තව තැනකට එතන උගන්නන කෙනා ටිකක් හොඳයි. හැබැයි උගන්නන්නේ එයාට ඕන සිංදු. කවදාවත් අපිට ඕන ඒවා ලෙසියකට පුරුදු කලේ නෑ. පොරගෙ හෙන නීති. මෙතන අපි හොඳ ළමයි වගේ මාස තුනක් විතර ඉද්දි ඔන්න අපේ ඔක්ටපෑඩ් ප්ලේ කරන කෙනයි රිදම්, සහ බේස් ගහන දෙන්නයි බෑන්ඩ් එකට එන්න බෑ කියල නැවතුනා. ඒ කියන්නෙ ඒ වෙද්දී උන්ගේ සංගීත උණ බැහැල :D. ඉතිං දැන් අපි අනාතයෝ වගේ. ලීඩ් ගහන එකාටයි, මටයි ඩ්‍රමාටයි තාම උණ. කොයිතරම් උණක් තිබ්බද කිව්වොත් අපි තුන්දෙනා  තව මාස දෙකක් විතර ගියා ඒ පංතියට. ගියා විතරක් නෙමේ අපේ වේලාවෙන් පස්සෙ එන බෑන්ඩ් පුරුදු වෙන දිහා පවා බලං හිටියා. සමහරු සුපිරියට ප්ලේ කරනව තව සමහරු පට්ට පජාතයි(පුරුදු වෙන අයනේ ඉතිං). පස්සෙ අපි තුන්දෙනා තේරුම් ගත්ත මේ වැඩේ හරියන්නෙ නෑ කියල. ඊට පස්සෙ අපි බෑන්ඩ් පංති යාම නැවැත්තුව. එතකොට අපේ ලීඩ් කාරයාට කොහෙන් හරි පරණ(පරණ කියන්නෙ හොඳටම දිරලා තිබ්බෙ) බොක්ස් ගිටාර් එකක් හම්බවෙලා තිබ්බා. ඒක විසිකරන්න බැරි නිසා මෙයාට දෙන්න ඇති කියල මට අදටත් හිතෙනවා. බොක්ස් ගිටාර් එකක් හම්බුනාට මොකද අපේ ලීඩ් ගහන කෙනාට කෝඩ්ස් වාදනය කරන්න බෑ. ලීඩ් පාට් වාදනය කරන්න විතරයි දන්නෙ. ඇත්තටම වෙලා තියෙන්නෙ අර ගියපු තැන් දෙකේම උගන්නපු උන් සිංදුවට අදාළ ලීඩ් පාට්ස් ටික ගිටාර් එකේ එක තැනකින් වාදනය කරන හැටි විතරක් ගිරවුන්ට වගේ කියල දීල තිබ්බ එක. ඒ ඇරෙන්න කෝඩ්ස් ගැන මෙලෝ දෙයක් අපේ ලීඩ් කාරයා දැනන් හිටියෙ නෑ. මම ඊට පස්සෙ හොයල බැලුවම අපි අඳුරන ගොඩක් අයට වෙනත් තැන් වලිනුත් ලීඩ් ගිටාරය වාදනය කරන හැටි උගන්නල තියෙන්නෙ එහෙම. එයාල දන්න එකම දේ "ආ ඒ සිංදුව පටන් ගන්නෙ මෙතනිං" කියල අදාළ තැන පෙන්නන එක විතරයි.

හරි ඒක අමතර කරුණු ටිකක් හොඳේ. එහෙම තමා ලංකාවේ කණ්ඩායම් සංගීත පුහුණු කරපු මුල් අවදියේ(මුල් අවදියේ කීවට මුල් නෙමේ මැද. මම ඔය කියන්නෙ දෙදාහේ ඉඳන් මුල් අවුරුදු ටික ගැන) ගොඩක් තැන් වල උගන්නල තියෙන්නෙ. අදටත් එහෙමද කියන්න මම දන්නෙ නැහැ. හරි මම අර කිව්වෙ අපේ ලීඩ් කාරයාට බොක්ස් ගිටාර් එකක් හම්බවෙලා තිබ්බා කියල. ඒක තිබ්බට පුළුවන් එකම දේ පොඩි පොඩි ලීඩ් පාට් වාදනය කිරීම විතරයි. ඔය ලීඩ් ගහපු ළමයාගෙ ගෙවල් තිබ්බෙ අපේ ඉස්කෝලෙ ළඟමයි. දැන් ඉතිං අපි පංති යන්නෙත් නැති නිසා මමත් එයා එක්ක ඉස්කෝලෙ ඇරුනට පස්සෙ එයාලගෙ ගෙදර යන්න පටන් ගත්තා. මම ඉස්සරලාම ලීඩ් පාට් එකක් පුරුදු උනේ අපේ ලීඩ් කාරයගෙ පරණ බොක්ස් ගිටාර් එකෙන් (ඒ අවස්ථාව මට හම්බුනේ නැතිනම් මම සමහරවිට අදටත් ගිටාර් වාදනය කරන එකක් නෑ). ඒත් අපි ගිටාර් කෝඩ්ස් දන්නෙ නැහැ. ඔහොම වාදනය කරනකොට අපිට තේරුණා ඒ පාට් එක ගිටාර් එකේ තව තැන් වලිනුත් වාදනය කරන්න පුළුවන් කියල. ඒ කියන්නෙ එකම ස්වර ටික ගිටාර් එකේ තැන් දෙක තුනක තියෙන විත්තිය අපිට තේරුණා ඒ කාලෙ. මට ඕගන් එකේ කෝඩ්ස් වාදනය කරල පුරුදු නිසා මම දන්නව කොහොම හරි ගිටාර් කෝඩ්ස් ටික දැන ගත්තොත් අපිට ඕන සිංදුවක් වාදනය කරගන්න පුළුවන් කියල. ඔහොම දවස් ගෙවිල යද්දී මට කොහෙන් හරි හම්බුණා ගිටාර් එක ටියුන්(සුසර) කරන ස්වර ටික. මම ඕක ගෙදර ඉඳන් කොලේක ලියාගෙන ඇන්දා ගිටාර් එකේ සම්පුර්ණ ෆ්රෙට් බෝඩ්(ස්වර පුවරුව) එකම ලොකු සී ආර් පොතක. මට ඒ වෙද්දී ස්වර ගැන අවබෝධය හොඳට තිබුන නිසා අර ඇඳපු ෆ්රෙට් බෝඩ් එකේ එක එක ෆ්රෙට්(අර ස්වර පුවරුවෙ තියෙන්නෙ කොටු. අන්න ඒ එක කොටුවක් තමා ෆ්රෙට් එකක් කියන්නෙ) එකට අදාළ ස්වර ටිකත් ලියා ගත්තා.  

දැන් මට ඕනේ ගිටාර් කෝඩ්ස් ඉගෙන ගන්නනෙ. මම ඒ වෙද්දීත් දන්නවා ගිටාර් එකේ කෝඩ් එකක් අල්ලන්න අඩුම ස්ට්‍රින්ග්ස්(තත්) තුනක් වත් ඕන විත්තිය.ඒ වගේම ඔය ස්වර අල්ලන්න පහසු වෙන්න ලඟින්ම පිහිටලා තියෙන්න ඕන විත්තියත් තේරුණා. දැන් කියන්නෙ පොඩි සංගීත පාඩමක් හොඳේ. කියන ඒවා දැනුනම ඇති තේරුම් ගන්න ඕනෙ නෑ :D. මම පටන් ගත්තෙ මේජර් කෝඩ් එකක් හොයන්න. මොකද මේජර් කෝඩ් එකක එක ස්වරයක් එහෙ මෙහෙ උන ගමන් ඒක මයිනර් කෝඩ් එකක් වෙන විත්තිය මම ඒ වෙද්දී දන්නව ඕගන් ගහන නිසා. එතකොට ආයෙ අමුතුවෙන් මයිනර් කෝඩ්ස් හොයන්න ඕනෙ නැහැ. එක ගලින් කුරුල්ලො දෙන්නෙක් ඇල්ලුවා වගේ තමා. ඔන්න දැන් මම අර පොතේ ඇඳ ගත්ත ෆ්රෙට් බෝඩ් එක දිහා බලාගෙන හොයනවා සී මේජර්(C කියන්නෙ "ස". "ස" ස්වරය මුලිකවුනු මේජර් කෝඩ් එක තමා සී මේජර්) එකට අදාළ ස්වර ටික. ඔන්න ඉස්සරලාම "ස" ස්වරේ හොයා ගන්නව. ඊට පස්සෙ ඒ අවටින්ම තියෙන ස්ට්‍රින්ග්ස් දෙක තුන බලද්දී මෙන්න තියෙනව ඉතුරු ස්වර දෙකත්. ඔය විදිහට සී මේජර් කෝඩ් එක මම හොයා ගත්තා(මම මේ අමූලික බොරුවක් එහෙම ගොතල පොර වෙන්න හිතාගෙන මේ කතාව දෙසා බානවා නෙමේ. මම මෙහෙමයි ගිටාර් කෝඩ්ස් ඉගෙන ගත්තෙ). දැන් කෙනෙක් හිතයි ඉතිං ඔච්චර නැහුනෙ මොකටද, ගිටාර් වල කෝඩ්ස් තියෙන පොතක් අරන් ඉගෙන ගත්තනම් ඉවරනේ කියල. ඇත්තටම මට ඒ කාලෙ එහෙම හිතුනෙම නෑ. වෙන මොකකටවත් නෙමේ මට ඒ කාලෙ ගිටාර් එකක් තිබ්බෙ නැති නිසා. ගිටාර් එකක් තිබ්බනම් මමත් ඒ පොතක් අරන් කෝඩ්ස් ඉගෙන ගනීවි. හැබැයි කවදාවත් මම ස්වර පිළිබඳව අවබෝධයෙන් ඒවා ඉගෙන ගන්න එකක් නෑ.  

ඉතිං සී මේජර් කෝඩ් එක හොයාගත්ත ගමන් එක ස්වරයක් සෙමි ටෝන් එකකින් අඩු කරපු ගමන් සී මයිනර් කෝඩ් එක කරගන්න පුළුවන්(සෙමි ටෝන් කතා මගේ බ්ලොග් එකේ මුලින්ම කියල තියෙනවා රූපත් එක්ක. ඕව නොතේරුණාට කමක් නෑ :D). ඔන්න දැන් මම සී මේජර් සහ මයිනර් කෝඩ් දෙක දන්නව. ඉතිරි කෝඩ්ස් ටිකත් ඔය ළඟ පාතින්ම තියෙන්න එපැයි කියල හිතාගෙන හොයද්දි මට හම්බවෙනවා D(රි), E(ග) ටිකත්. මෙන්න දැන් මේ කෝඩ්ස් ටික දිහා බලන් ඉද්දි මට පේනවා මේ කෝඩ්ස් ගිටාර් එකේ ස්වර පුවරුවේ විහිදෙන රටාවක්. ඔය විදිහට මම එදා හොයා ගත්තෙ ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 3 කියන පාඩමේ ඔයාලට කියල දුන්නු කෝඩ්ස් වර්ග ටික. මම මුලින්ම ඉගෙණ ගත්තෙ ඔය කෝඩ් වර්ගෙ.

හරි ඔන්න දැන් කෝඩ්ස් වර්ගයක් හොයා ගත්තා ගිටාර් එකේ. ඒකෙ ඇඟිලි තියන්නත් මට ලේසි විදිහක් හදාගත්තා (පස්සෙ කාලෙක හොයල බලද්දි ඒ ඇඟිලි තියපු හැටිත් නිවැරදියි). ඔන්න දැන් ඉතිං රටක් රාජ්ජයක් දිනුවා වගේ තමා. දැන් ඉතිං මේ ඉගෙන ගත්ත ගිටාර් කෝඩ් මම අපේ ලීඩ් කාරයටත් කියල දීල අපි දෙන්නම එකතු වෙලා ඒවා ගිටාර් එකෙන් වාදනය කරන හැටි ඉගෙන ගන්න පටන් ගත්තා. මොකද ඔය කාලෙදි මට ගිටාර් එකක් නැහැ. ඒක නිසා එහෙම තනියෙන් ඉගෙන ගන්න අපි දෙන්නට කාලයක් ගියා. එක ගිටාර් එකකින් දෙන්නෙක් ඉගෙන ගන්න උන නිසා. අනික මට ගිටාර් එක ගහන්න හම්බෙන්නෙ පැය එක හමාරක් දෙකක් විතර. ඒකත් සතියෙ දවස් තුනක් විතර තමා. අනිත් දවස් වලට මට පංති යන්න තිබ්බා ඕලෙවල් වලට සහ තවත් දේවල් තිබ්බා. ඒක නිසා ඉතිං ටිකක් කාලෙ ගියත් ගිටාර් ඉගෙන ගන්න තිබ්බ ආසාව සහ අරමුණ නම් වෙනස් උනේ නැහැ. ඉතිං ඔය කෝඩ් වර්ගය උදව් කරගෙන අපි ගොඩක් සිංදු වල ලීඩ් පාට්ස් ගිරව් වගේ නැතිව අවබෝධයෙන් හොඳට වාදනය කරන්න පුරුදු උනා. ඇත්තටම සංගීතයේ තියෙන එක කෝඩ් එකක් ගිටාර් එකක භාවිතා කරලා ක්‍රම කිහිපයකට වාදනය කරන්න පුළුවන්. ඔය කාලේදී අපිට ඔය වගක් තේරුනේ නැහැ. අපි හිතන් හිටියෙ දැන් හරි අපිටත් ගිටාර් ගහන්න පුළුවන් තමා කියල. ඔය හිතන් හිටපු දේවල් බොඳ උනේ අපි දෙන්න එකතු වෙලා රිදම් ගහන්න පටන් ගද්දි :D. 

ඔය කාලෙදි මම ගොඩාක් හොඳටම සිංදු ඉයර් එකට ගහන නිසා මට පුළුවන් ඕන සිංදුවකට කෝඩ්ස් දාන්න(මේජර්, මයිනර් විතරක් නෙමේ ඊට අමතර කෝඩ්ස් වර්ග පවා යොදාගෙන. ඇයි අර මම මුල් ලිපියේ කියපු ඕගන් වාදන පුහුණුව පොතේ ඕවා ඔක්කොම තිබ්බනෙ. මම ඒවා ඔක්කොම වාදනය කරන්න පුරුදු වෙලා ඒ කෝඩ්ස් වල වෙනස කනට හොඳට පුරුදු කරන් තිබ්බෙ). ඉතිං මම සිංදු වලට කෝඩ්ස් මට දැනෙන විදිහට යොදනවා. ඒ වගේම ඒ කාලේ සිංදු කෝඩ්ස් සමහර පත්තර වල ගියා. ඒවත් එකතු කළා. ඔය විදිහට අලුත් සිංදු හොය හොයා කෝඩ්ස් දාගෙන හරි හොයාගෙන හරි ඔර්ගන් එකෙන් ප්ලේ කරද්දී මාර සනීපයක් දැනෙන්නෙ. ඇත්තටම ඒකත් එක අතකට පිස්සුවක් වගේ. මොනව උනත් මම ඒකට හෙන කැමතියි. ඔන්න දැන් අපි මොකක් හරි සිංදුවක් අරගෙන ඉස්සරවෙලාම ගිටාර් එකෙන් කෝඩ්ස් වාදනය කරන්නයි ලැහැත්තිය. දන්නවනෙ සින්දුවක කෝඩ්ස් තැනින් තැනට වෙනස් වෙනවා. ඉතිං ඒ වෙනසට අපිත් ගරු කරලා ගිටාර් එකේ අදාළ කෝඩ් එක මාරු කර කර අල්ලන්න ඕනෙ. එතකොට තමා ඔයාලට කවුරු හරි ගිටාර් එකක් ප්ලේ කරනවා දකිද්දි ඒ කෙනා හොඳට ප්ලේ කරනවා කියල දැනෙන්නෙ. ඔන්න දැන් සිංදුවේ මේන් කෝඩ් එක අල්ලං ඉන්නවා. ඊළඟ කෝඩ් එකට මාරු වෙන්න. මොන කෝඩ් මාරු කිරිලිද, ඊළඟ කෝඩ් එක තියෙන්නේ ගිටාර් එකේ ෆ්රෙට් ගානක් එහායින්. අනික එතෙන්ට ඇඟිලි ටික අරං ගියා කියමුකෝ. එතැනට යද්දි ඇඟිලි ටික කොහෙවත්.කීප පාරක් උතසහ කලත් වැඩේ හරි ගියේ නෑ. අපිට තේරුණා තව මොනවහරි කෝඩ්ස් අල්ලන ක්‍රම තියෙනවා කියල. අතඇරියේ නෑ. ආයෙත් හෙව්වා වෙන මොනවද කෝඩ්ස් අල්ලන්න තියෙන රටා කියල. ඒ පාර තව ක්‍රම දෙකකට කෝඩ්ස් අල්ලන්න අපි හොයා ගත්තා. ඒවගෙත් ඇඟිලි තියෙන හැටි අපිට ලේසි විදිහට හදා ගත්තා. ඔන්න දැන් අපි ගිටාර් කෝඩ්ස් වර්ග තුනක්ම දන්නව. ඔහොම අපි ආයෙත් සැරයක් කෝඩ්ස් මාරු කරන වැඩේ පුරුදු වෙන්න පටන් ගත්තා. මේ පාර සිංදුවේ කෝඩ්ස් ටික ළඟ ළඟ අල්ලන්න පුළුවන් විත්තිය දන්නව. ඒ උනාට දෙයියනේ ඕවා කොහොමද ඔක්කොම එක පාරට මතක තියාගන්නෙ. 

එකම කෝඩ් එකක් ක්‍රම කීපෙකට අල්ලන්න පුරුදු වෙන්න ඕනෙ. ඒ මදිවට තියෙන්නෙ එක එක තැන්වල. ඒ විදිහෙ කෝඩ්ස් මුලිකව වර්ග දෙකයි. එක වර්ගෙකින් කෝඩ්ස් දොළහයි. හැම වර්ගයක්ම අල්ලන්න ක්‍රම තුනයි. උදාහරණයක් විදිහට මේජර් කෝඩ්ස් දොළහ අල්ලන්න ආකාර තිස් හයක් තියෙනවා. ඒ වගේම මයිනර් කෝඩ්ස් වලටත් ක්‍රම තිස් හයක්. අපි සිංදුවක් ප්ලේ කරන්න යද්දි ඔය ඔක්කොම ක්‍රම අල්ලන විදිහ ගැන අවබෝධය වගේම මතකය තියෙන්න ඕනෙ. ඉතිං ඔය මතකය සහ අවබෝධය ගන්න කෝඩ්ස් ටික හොඳට වෙනම ප්‍රැක්ටිස් කරන්න තීරණය කළා. ඔන්න ඉතිං දැන් මැරීගෙන ප්‍රැක්ටිස්. ඕක කළා කියල අපිට හම්බෙන දේකුත් නෑ :D. ඒත් ඒ කාලෙ අපි ඒක කොහොම හරි ආසාවෙන් කළා. ඔන්න ප්‍රැක්ටිස් කිරිල්ල කොච්චරද කිව්වොත් ඇඟිලි තුඩු ගිටාර් එකේ ස්ට්‍රින්ග්ස් වලට කැපිලා කාණු වගේ තිබ්බෙ. පුදුම සනීපයක්. ආයෙ ගිටාර් එක අලන්න බෑ සතියක් විතර යනකං. ඇඟිලි තුඩු රිදෙනවා. ඒත් වැඩේ අතෑරියේ නෑ.  ඔහොම කාලෙ ගියා. ඒත් එක්කම අපි දෙන්නගෙ කැපවීම නිසාම අපිට කෝඩ්ස් ප්ලේ කරන්න පුළුවන් උනා ඕන ක්‍රමේකට. දැන් මගේ ඕගන් ගහන වැඩේ පැත්තක. ගිටාර් එක තමා දැන් අලුත්ම පිස්සුව. ඔහොම යද්දි දන්නෙම නැතුව අපේ ඕ ලෙවල් විභාගේ අත ළඟටම ආව. ඊට පස්සෙ ඔක්කොම පැත්තකින් තියල ඒකට ලැහැත්ති උනා. 

ඔන්න දැන් ඕලෙවල් විභාගේ අන්තිම දවස. එදාට ඉතිං ඉස්කෝලෙ එක යුද්දයක්නෙ. නිල් ගහගෙන, ගෝල්ඩ් ඩස්ට් හලාගෙන හෙන වැඩ ගොඩයි. අපිත් ඉතිං නිල් නාගෙන සහ ගහගෙන ගියා යාලුවගෙ ගෙදර. ගිහිල්ල ඉතිං පොඩි සිංදුවක් එහෙම කියල ඉද්දි වෙලාවත් හෙමීට ගෙවුනා. අන්තිමේට මම ඒ යාලුවගෙ ගෙදරින් පිටත් වෙන්නෙ උගෙ ගිටාර් එකත් ඉල්ලගෙන :D. ඇත්තටම පොර මට ඒ වෙලාවෙ ගිටාර් එක ඉල්ලපු ගමන්ම දුන්නා. එක්කො ඌට එක එපා වෙලාද දන්නෙ නෑ ඊට මාස තුනකට විතර කලින් කෑව කට්ට මතක් වෙලා. කොහොම හරි මම හරිම සතුටින් වගේම පරිස්සමෙන් තමා ගිටාර් එක අරන් ගියෙ අපේ ගෙදර. ගෙදර ගියපු වෙලේ ඉඳන් මගේ වැඩේ ගිටාර් එක ගහන එක. ඕලෙවලුත් ඉවර නිසා කිසි ප්‍රශ්නයකුත් නෑ. ඔන්න ඔය කාලෙදි මම තීරණය කළා මොන ගේමක් හරි දීල කෝඩ්ස් මාරු කරන්න හොඳටම පුරුදු වෙනව කියල. මම ඒක බොහොම උනන්දුවෙන් කළා. මම හිතන්නෙ මම ගිටාර් ඉගෙන ගැනිල්ල තරම් හොඳට වෙන කිසි වැඩක් ආසාවෙන් කරල නැතුව ඇති. කොහොම හරි මගේ ජීවිතේ පැහැදිලිම වෙනසක් කලේ ඔය ගිටාර් එක. අදටත් මට ඒ ගිටාර් එක (දැන් නම් ඒක නැතුව ඇති) සහ ඒ යාළුවට තියෙන්නෙ ලොකු හිතවත්කමක්. මොකද ඒ දෙන්නා මට හම්බුනේ නැතිනම් මට සමහර විට තාම ගිටාර් ගහන්න බැරි වෙන්න පුළුවන්. ඉතිං මම කොහොම හරි ගිටාර් එක අරන් ගිහින් මාසයක් විතර යනකොට සිංදු වාදනය කිරීමට පුළුවන් තත්වෙට පුරුදු උනා. ඒ පුරුදු වීමේ ප්‍රතිපල තමා දැන් ඔයාල ඔය දකින්නෙ ගිටාර් අභ්‍යාස සහ අළුත් සිංදු විදිහට. ඉතිං ඔය සියළු සිද්දි වෙන අතරතුර අපේ බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ප්ලේ කරපු එක්කෙනත් ගෙදර ඩ්‍රම් සෙට් එකක් හදාගෙන පුරුදු උනා. ඕක ගැන මම කීවේ නැත්තෙ මම ඒකට දායක නොවුණු නිසා. අන්තිමේට ඒ ඩ්‍රම් සෙට් එකත් උස්සගෙන අපේ ගෙදර ගෙනල්ලා හයි කරල අපි ආයෙත් බෑන්ඩ් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. එතැනින් පස්සෙ මගෙ සංගීත ජීවිතේ අළුත්ම පිටුවක් පෙරළුනා කිව්වොත් හරි. මම ඒ ටික තව ලිපියකින් කියන්නම්. දැනට මේ ඇති.


ප.ලි:
ඔයාල කැමති මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පංතියකට යනවනම් ඒ උගන්නන දේ මත්තෙම රඳා පවතින්න පුරුදු වෙන්න එපා. ඊට අමතරව තව දේවල් හොයන්න, ඉගෙන ගන්න. පංති යාමට නොහැකි නම් හෝ කම්මැලි නම්, නමුත් තමුන් එය ඉගෙන ගැනීමට ආසයි නම් උත්සාහයෙන් තනියෙන් ඉගෙන ගන්න (ගොඩක් දේවල් වලට මේක ගැලපුනත් සමහර දේවල් වලට ගැලපෙයිද දන්නෙ නැහැ.). තමන්ගෙ උත්සාහය මගින් ජය ගත් මිනිස්සු මේ ලෝකෙ කොච්චරනම් ඉන්නවද. තමන්ට හොඳ අරමුණක් සහ ආශාවක් තියෙනවනම් ඒ අරමුණ ඉෂ්ට කරගැනීමට ඉවසීමෙන්, උත්සාහවන්තව, කැපවීමෙන් වැඩ කරන්න. කවද හරි බලාපොරොත්තු ඉටු වේවි ;).

හැම දෙනාටම ජය වේවා!!! 

Tuesday, May 12, 2015

සංගීත ජීවිතයේ සොඳුරු මතක - 1

මනාගෙ පින්තාරුව

මම පොඩි දවස් වල ඒ කියන්නෙ අවරුදු පහේ වගේ කාලෙ ඉඳන් රේඩියෝ එකක හොඳ සිංදුවක් ඇහුණොත් එහෙම මම කරන්නෙ ගෙදර තියෙන ටින් බෙලෙක්ක ටිකක් වටේ තියාගෙන කෝටු කෑලි දෙකකින් ඒවට තලන එක. ඉතිං ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම් අහල ඉවරයක් නෑ මගේ ටින් බෙලෙක්ක ඩ්‍රම් ගැහිල්ල හින්ද කනක් ඇහෙන්න නෑ කියල. ඒ උනාට මම නෙමේ ඒවා නැවත්තුවෙ. හැමදාම ඔය වැඩේ කළා.

ඔය කාලෙ අපේ පැත්තෙ තියෙන ලොකු සංගීත ප්‍රසංග එහෙම බලන්න අපේ ගෙදර කට්ටිය යනව මාවත් අරගෙන. ඒ කාලෙ අද වගේ ෆ්ලෑෂ් බැක්ල, සනිධප ල නෑනෙ. තිබ්බ ලොකුම බෑන්ඩ් ටික තමා ආනන්ද පෙරේරා මහත්තය හිටපු "ශක්ති" සංගීත කණ්ඩායමයි, සන්ෆ්ලවර්ස්ලයි, තව මහින්ද සිල්වා හිටපු සුපර්ස්ටාර්ස් බෑන්ඩ් එකයි. මට මතකයි ඒ කාලෙ ශක්ති එකේ ඇන්තනී සුරේන්ද්‍ර ලීඩ් ගිටාර් එක ප්ලේ කරනවා වැඩ දාල. තව සුපිරි විසිල් පාරකුත් තිබ්බා මතකයි. ඉතිං මට තේරුමක් නෑ ඔය එක එක ගායකයො මොනවද කියන සිංදු කියල. මගේ අවධානෙ තියෙන්නෙ ඩ්‍රම් සෙට් එකටයි, ගිටාර් දිහාවටයි.

ඕව බලන් ඉඳල මගෙ වැඩේ ගෙදර ඉඳන් ටින් බෙලෙක්ක ටික වට කරගෙන ඩ්‍රම් ගැහුව එකයි, කොසු ඉදල් වලින් ගිටාර් ගැහුව එකයි. මට ඕන කරන ඩ්‍රම් සෙට් එකේ හඬවල් ටික එක එක ජාතියෙ ටින්, බේසම් අනං මනං වලින් කොහොම හරි අරගත්ත. පොඩි කාලෙ ඉඳන්ම සංගීත පිස්සුවෙ රෝග ලක්ෂණ තමා ඔය පෙන්නුම් කලේ. ඊට පස්සෙ මට අපේ මාම කෙනෙක්ගෙ වෙඩින් එකකට යන්න හම්බුනා. ඒකට බෑන්ඩ් එකක් ඇවිත් හිටියා වෙඩින් එකට ප්ලේ කරන්න. එයාෆෝස් එකේද කොහෙද ඒ මාම වැඩ කලේ. මම වෙඩින් එකට ගිහිං ඒකෙන් එනකන්ම හිටියෙ අර බෑන්ඩ් එකේ ඉන්ස්ට්රුමන්ට්ස් ටිකත් එක්ක. ඩ්‍රම් සෙට් එක හයි කරන දිහා බලන් හිටියෙ ඇහි පිය නොහෙලා. ඇයි ඉතිං මම ආසම භාණ්ඩේ නෙ. ඔන්න දැන් ගිටාර් ටිකත් කරේ දාගෙන ඒකෙ හිටිය කට්ටිය සවුන්ඩ් බැලන්ස් එකක් බලන්න ලැහැත්තිය(මට ඒ කාලෙ ඕක තේරුනේ නෑ). හැබැයි බැලන්ස් කරන එකා ගිටාර්වල චැනල් ටික ඔන් කරල නෑ. මම දැන් ඉතින් මාරම ආසාවෙන් ළඟටම වෙලා ඉන්නවා. එයාල ගිටාර් ගහනවා ඒ උනාට සද්දෙ නෑ. මම ඉතිං පොඩි එකා කාලෙ හිතන් හිටියෙ ගිටාර් එක ගැහුව ගමන් හෙන සද්දයක් එනවා කියලනෙ. මම ඒ එක ගිටාරිස්ට් කෙනෙක්ට එක පාරටම කියපි "කෝ ඕක ගැහුවට සද්දෙ නෑනෙ" කියල. ඒ යකා මගෙ දිහා බලන් ඉඳල "යනවා යන්න අහරෙට" කියල කියපි. මේක ඇහුන විතරයි විලිලැජ්ජාවකුත් එක්ක බයක් ආව. මම ඉතිං ඒ කාලෙ පොඩි එකානෙව. ඉතිං මම කෙලින්ම අම්ම ළඟ තමා නැවතුනේ. ඒ මොන ලැජ්ජාව උනත් එදා තමා මම ඉස්සර වෙලාම බෑන්ඩ් එකක සංගීත භාණ්ඩ ගොඩක් ළඟටම වෙලා බලා ගත්තෙ.

ඊට අවුරුද්දකට දෙකකට විතර පස්සෙ මගේ සංගීත පිස්සුවෙ රෝග ලක්ෂණ අඳුර ගත්ත මගේ තාත්තා මට ගෙනත් දුන්න පොඩි ඕගන් එකක්. ඒක කැෂියෝ එකක්. Casio sa-10 තමා මොඩල් නොම්බරේ. භාණ්ඩෙ පොඩියට තිබ්බට මාර වැඩ ගොඩක් තිබ්බෙ. විවිධ නාද 100ක් සහ තව ඩ්‍රම් බීට්ස් ගොඩක් තිබ්බා. ජපන් භාණ්ඩනෙ අද කාලෙ තියෙන සෙල්ලං ඕගන් වගේ නෙමේ පොඩි උනත් සුපිරි කොලිටියක් තිබ්බෙ ඒ හඬවල් වල වගේම නිමාවෙත්.
CASIO ORGAN
Casio SA-10
ඉතිං මට එදා ඒක හම්බුන ගමන් ටිකට් එකක් ඇදුනා වගේ තමා. මාසයක් දෙකක් විතර යනකන් ඒකෙ තිබ්බ ටෝන්ස් ටික පුරුදු වුනා. ඇයි ඉතිං නාද 100ක් කනට හුරු කරගන්නත් එපැයි. ඉස්සරවෙලාම ඒ හඬවල් හුරු කරගත්තෙ එකේ ඉඳන් සීයට තියෙන නම්බර් ටික මතක තියාගෙන. අද කාලෙ පොඩි අයට වගේ අපිට ඉස්සර ඉංගිරීසි බෑ නොවැ ඒ තියෙන නාද වල ඉංග්‍රීසි වචන කියවන්න. ඔන්න දැන් මම දන්නවා මේ අංකෙ මේ සද්දෙ, අරකෙ මේ සද්දෙ එහෙම කියල. ඊට පස්සෙ ඉතිං ඔන්න හැම සංගීතකාරයාම වගේ මමත් ඉස්සරලම පටන් ගත්ත ඕගන් එකෙන් රටේ නැති බොරු ගහන්න දකුණු අතින්. ටික කාලයක් යද්දී මගේ දකුණු අතේ ඇඟිලි පුරුදුයි. ඒත් තාම ගහන්නෙ බොරු. ඔන්න දැන් බොරු සංගීත කෑලි අස්සෙන් මට ඇහෙනවා ටිකක් හුරු සිංදුවක පොඩි පාට් එකක්. ඔන්න දැන් ඒක ආයෙත් වාදනය කරන්න ෆුල් ට්‍රයි එක. ටික වෙලාවක් ඔට්ටු වෙලා ඔන්න ඒක හෙමිට ගහන්න පුළුවන් වෙනව. ඔය විදිහට ගහපු බොරු සංගීත කෑලි අස්සෙන් මට හුරු පුරුදු සිංදු ගොඩක කෑලි අහුලගෙන වාදනය කරන්න පුළුවන් උනා. 

ඉතිං ඔය විදිහට කාලෙ යද්දි මගේ තාත්ත ඕගන් වාදන පුහුණුව කියල පොතක් මට ගෙනත් දෙනවා (සුදු පාට පොතක් මගෙ ළඟ ඒ පොත දැන් නැහැ). එකෙ තියෙනව සංගීතයේ ස්වර, ඊළඟට ඇඟිලි අංක කිරීම්, කෝඩ්ස් අනං මනං හෙන ගොඩක්. තව සිංදු කීපයක ස්වර ප්‍රස්තාරත් තිබ්බා. මට ඒ පොඩි වයසට ඕව ලොකු වැඩි බව හොඳටම තේරුම් ගන්න ඒ කාලෙදිම තේරුණු නිසාද කොහෙද පොත පැත්තකින් තිබ්බා. හැබැයි ස්වර ටික ගැන පොඩ්ඩක් ඒකෙන් ඉගෙන ගත්තා. ආයෙත් සුපුරුදු විදිහට බොරු සංගීත කෑලි අස්සෙන් සිංදු සෙවීමේ වැඩ කටයුත්ත දිගටම කරන් ගියා. ඔහොම යද්දි කොච්චර හොඳට ඔය වැඩේ උනාද කීවොත් ඕගන් එක අරං අවුරුදු 3ක් විතර වෙනකොට(ඒ කියන්නෙ මට අවුරුදු දහයක් වගේ) රේඩියෝ වල යන සිංදු වල ස්වර ටිකක් අල්ලගෙන පොඩ්ඩක් සිංදුව ටච් කරගන්න පුළුවන් තත්වෙට පුරුදු උනා. ඒ විදිහට තව අවුරුද්දක් එක හමාරක් යද්දී ඔහොම ඇහෙන ගොඩක් සිංදු අල්ලගෙන ස්වර ටික වාදනය කිරීමේ හැකියාව තිබුණත් මට තේරුණා එතනින් එහාට තව දේවල් දැන ගන්න ඕන බව. ඉතිං අර තාත්තා ගෙනත් දීපු අයින් කරල දාල තිබ්බ පොත අරගෙන මම කෝඩ්ස් ඉගෙන ගන්න යොමු උනා. මුලින්ම මෙලෝ දෙයක් නොතේරුණත් ටික කාලයක් යද්දි මට ප්‍රධාන කෝඩ්ස් වර්ග මොනවද ඒවා කොහොමද වාදනය කරන්නෙ කියන කරුණු අර පොත මගින් ඉගෙන ගන්න පුළුවන් උනා. ඔන්න මාස කීපයකට පස්සෙ මට සාමාන්‍යයෙන් මේජර් සහ මයිනර් කෝඩ්ස් ටික  ඕගන් එකෙන් වාදනය කරන්න පුළුවන් උනා. එතනින් පස්සෙ මගේ සිංදු වාදනය කිරීමේ හැකියාව හොඳින් දියුණු වුනා කීවොත් හරි. මොකද ඒ වෙද්දීත් මට ඇහෙන සිංදුවක් යන්තම් වාදනය කිරීමට තරම් මගේ කන දියුණු වෙලා තිබුණු නිසා කෝඩ්ස් දැන ගත්තයින් පස්සෙ ඉක්මණටම ඒ හැකියාව තවත් වැඩි දියුණු වුනා. 

ඔය විදිහට මට අවුරුදු 12ක් විතර වෙනකොට මට ගීත රැසක් සම්පුර්ණයෙන්ම වාදනය කිරීමට හැකිවුණා. මේ වෙද්දී අපේ ගෙදර අයට තෙරිල තිබ්බා මට ඔර්ගන් වාදනය කිරීමේ යම්කිසි හැකියාවක් තියෙන විත්තිය. ඉතිං මගේ තාත්තා මට ගෙනත් දුන්නා යමහා ඔර්ගන් එකක්. ඒක අර කැෂියෝ එක වගේ දෙතුන් ගුණයක් ලොකුයි. ඒ වගේම ගොඩක් වැඩ පුළුවන්. මම ඕකෙන් තමා වම් අතින් කෝඩ්ස් ප්ලේ කරන්න පුරුදු උනේ. 

YAMAHA ORGAN
Yamaha PSS-26
එහෙම පුරුදු වෙලා ටික කාලයක් ඇතුලත මට පුළුවන් උනා කෝඩ්ස් දාන ගමන් ගීත වාදනය කරන්න. ඔන්න දැන් මම ටිකක් ලොකුයි ඒ කියන්නේ අවුරුදු 12ක් හරි 13ක් හරි වගේ. ඔය කාලෙදි අර පොඩි කාලෙ තිබ්බ සංගීත උණේ රෝග ලක්ෂණ දරුණුවටම ඇවිල්ල සහලෝලම උණ හැදුනා :D. උණ කොච්චර වැඩි උනාද කිව්වොත් මට ඕනෙ උනා සංගීත කණ්ඩායමක් හදන්න. අපේ ඉස්කෝලෙ හිටපු මට වගේම උණ තියෙන තවත් පස් දෙනෙක් එක්ක මාත් ගියා බෑන්ඩ් එකක් හදන්න. ඒ කාලෙ ෆ්ලෑෂ් බැක්ල අළුත්ම සංගීත පෙරළියක් කරන යුගයක්. මගේ ලෝකෙ හිටපු අළුත්ම වීරයෝ සෙට් එක තමා ඒ. එතකොට ශක්ති බෑන්ඩ් එකක් නෑ. ඒවා දෙකට කැඩිලා සිහ ශක්ති කියල එකකුත් හැදිලා අභාවෙට යමින් තිබුනෙ. සුපර්ස්ටාර්ස් ලත් බැහැගෙන යනවා. වෙනදා වගේම ටකරං සංගීතෙ සන්ෆ්ලවර්සලා අඩු නැතුව කපුගේ මහත්තයා, සනත් නන්දසිරි, නිහාල් නෙල්සන් ඇතුළු තව ගායක ගායිකාවන් රැසකට දීලා කැසට් පට කරපු යුගයක් ඒ(ටකරං උනත් ඒවගෙත් පොඩි ගතියක් තිබ්බා). ටකරං සංගීතෙන් බැහැර වෙලා අළුත් වෙනසක් මුලින්ම කරේ ෆ්ලෑෂ් බැක්ල කීවොත් හරි මතක විදිහට. ඊට පස්සෙ තමා සනිධප නැගල ආවෙ. 

හරි කතාව පොඩ්ඩකට පිට පැන්නා. ඔන්න ඉතිං ගියා බෑන්ඩ් එකක් හදන්න. හැබැයි අපිටත් ඕන වුනේ ෆ්ලෑෂ් බැක් වගේ වෙන්න. දැන් අපි ගියා බෑන්ඩ් පුරුදු කරන තැනකට. (මේ ටික වෙන්නෙ මාස හතරක් පහක් විතර ඇතුළත) ඔන්න අහනවා බෑන්ඩ් එක පුරුදු කරන ඩයල් එක කවුද ඩ්‍රම්ස්, ලීඩ්, රිදම්, බේස්, පෑඩ්(ඔක්ටපෑඩ් හොඳේ), කීබෝඩ් කිය කිය. ඒවා අපි මුලින් බෙදාගෙන ගිය නිසා රණ්ඩු නොවී සෙට් කරගත්ත. ඔන්න දැන් ඔතන ගිටාර් කාරයො තුන්දෙනා මෙලෝ දෙයක් දන්නෙ නෑ. උන් තුන්දෙනාට මුල ඉඳන් රූප ඇඳ ඇඳ කියල දෙනව පේනවා. ඩ්‍රම්ස්කාරයයි, පෑඩ් කාරයයි ෂේප් එකේ ප්ලේ කරනව. මගෙ ලඟට ඇවිල්ල මෙන්න පොර මම අර කලින් ඉගෙන ගත්ත දේවල්ම කියල දෙනව. පස්සෙ පොරට වැඩේ තේරුනා මට ඒවා පුළුවන් කියල. ඔන්න දැන් පොර සිංදු වලට අදාළ කීබෝඩ් පාට්ස් කියල දෙනවා මට. මම කියල දෙන සැනින් අල්ලගන්නවා, ඇයි ඉතිං මම ඒ වෙද්දීත් ඇහෙන ඇහෙන සිංදුව ගහන්න දන්නවනෙ. එතන තිබ්බෙ රෝලන්ඩ් කීබෝඩ්ස්. ඒවගේ වැඩ පොඩ්ඩක් වැඩියි. මම කරන්නෙ සිංදුව කියල දුන්න ගමන් ඒක දෙපාරක් විතර ප්ලේ කරල කීබෝඩ් වල වැඩ කෑලි හොයන එක. ඔහොම යද්දී ඒකත් පුළුවන්. දැන් ඔය අතරෙ අපේ ගිටාරිස්ට්ලත් පුරුදු වෙනව. පොඩි පොඩි ලීඩ් පාර්ට්ස්, රිදම් පාට්ස් වදිනව. ඩ්‍රමා සහ පෑඩ් කාරය එක එක බීට්ස් ඉගෙන ගෙන ගහනවා. දැන් මට හෙන කම්මැලියි මේ කීබෝඩ් ගහන්න. ඇයි ඉතිං අනිත් උන් තාම පුරුදු වෙනවනේ. මම ඔය අතරෙ හෙමීට අපේ පෑඩ් කාරයට කියල ඒක පොඩ්ඩක් ප්ලේ කරන්න ඉල්ල ගන්නවා. ඩ්‍රම්ස් ගහනවා ඕව තමා. කීබෝඩ් එක පැත්තක :D. ඔහොම කාලෙ යද්දී මටත් ඩ්‍රම්ස් සහ පෑඩ් එක හොඳට ප්ලේ කරන්න පුළුවන්. ඔන්න දැන් සිංදු හතරක් පහක් ගහගන්න පුළුවන් තත්වෙට බෑන්ඩ් එක හැදුන. ඉතිං අපිත් ෆ්ලෑෂ් බැක් වගේ කියල හිතාගෙන ප්ලේ කරනව.

ඒත් අපිට තේරුම් ගියා ඒ උගන්නන කෙනාත් පොඩි දේවල් ටිකක් විතරක් දැනගෙන පොඩ්ඩ පොඩ්ඩ උගන්නන විත්තියක්. ඉතිං අපි හෙමින් සීරුවෙ එතැනින් සමු අරගෙන වෙනත් හොඳ තැනක් කරා සංක්‍රමණය උනා.

මේ ලිපිය ගොඩක් දිග වැඩි උනා. මම ගිටාර් ගහන්න යොමු උන හැටි සහ තවත් දිග කතා ටිකක් තියෙනව. ඒවා මම තව ලිපියකින් කියන්නම්. අදට මේ ඇති. 

ප.ලි :
මේ ලිපිය කියවන ඔබටත් දරුවන් සිටිනවානම් ඔවුන් කරන කියන දේවල් ගැන අවධානයෙන් සිටින්න. ටින් බෙලෙක්ක එක්ක සෙල්ලම් කරන්න දෙන්න. හැකියාවල් හොයා ගැනීමට හෝ තියෙන හැකියාවල් දියුණු කර ගැනීමට ඔවුන්ට නිදහස සහ උදව් ලබා දෙන්න. එසේ නොමැතිව එක වසරේ සිට අර පංති මේ පංති වලට දමා දරුවාට මානසිකව විඩාවට පත් කරන්න එපා. එක වසරේ සිටම පහ වසරේ ශිෂ්‍යත්වය ඉලක්ක කරගෙන ඔබේ දරුවාත් ගිරවෙකු නොකරන්න :D (අදාළ විභාගයට අවුරුද්දක් එක හමාරක් තියා පංති යැවීම හොඳටම ප්‍රමාණවත්). 5 ශිෂ්‍යත්වය අසමත් වීමෙන් ළමයාගේ ජීවිතය කඩා වැටෙන්නේ නැත.
මා හට කුඩා කල ගෙදරින් ලැබිය යුතු ඒ නිදහස සහ උදව් නොතිබුනේ නම් සමහරවිට සංගීතය ගැන මෙලෝ දෙයක් නොදැන ඉන්නටත් හොඳ ගිරවෙකු වීමටත් ඉඩ තිබුණි ;).

සියළු දෙනාටම ජය වේවා!!! 


    

Thursday, May 7, 2015

ශ්‍රී ලංකා කොටියා | Sri Lankan leopard


Srilanka lepord
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි

ඔයාලට මතක ඇති ශ්‍රී ලංකාවෙ කොටි හිටියා කියල. ඔව් ඔව් කකුල් දෙකේ එවුන් තමා. මතක නැතිනම් ඔය ගූගල් දෙයියන්ගෙන් හරි ඒ කාලෙ මතක, තාමත් ඒ විදිහටම තියෙන කෙනෙක්ගෙන් හරි අහල බලන්නකො. ඒ උනාට අද කියන්න යන්නෙ කකුල් දෙකේ කොටි ගැන නෙමේ. එවුන් වඳ වෙලා දැන් ගොඩක් කල් නෙ. මේ කියන්න හදන්නෙ කකුල් හතරෙ කොටි ගැන. ඔව් ලංකාවේ තමා. ලංකාවේ කකුල් හතරෙ කොටි ඉන්නව බොලව්. මිනිස්සුන්ට වගේ එක එක  කොටියට එක එක නම් නැති නිසා ඔක්කොටම පොදුවේ කියන්නෙ ශ්‍රී ලංකා කොටියා එහෙම නැති නම්  Sri Lankan leopard (ශ්‍රී ලංකන් ලෙපර්ඩ්) කියල. 

හොඳට මතක තියාගන්න ඕන කාරණය තමා මේ කොටියට ඉංග්‍රීසියෙන් කියන්නෙ ටයිගර්(Tiger) කියල නෙමේ කියන එක. ටයිගර්(Tiger) කියල කියන්නෙ දිවියාට. ලංකාවේ දිවියො නෑ. ඔව් ඔව් මාත් අහල තියෙනව ඔය අඳුන් දිවියා එහෙම කියල සත්තු ඉන්නව. ඒ ඇවිල්ල සිංහල භාෂාවේ වචන යොදපු විදිහේ අවුල් නිසා හැදුනු නම්. ඔය අඳුන් දිවියා කියන්නෙ පොඩි සතෙක්. හැබැයි පූසට වැඩිය ලොකුයි. ඇත්තටම දිවියා කියන්නෙ ලොකු ශක්තිමත් සතෙක්ට. එයාල ලංකාවෙ නෑ. 

ශ්‍රීලංකා කොටියා
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි

ශ්‍රී ලංකාවේ ඉන්න නොම්මර එකේ ක්ෂීරපායී විලෝපිතයා (Predator) තමා මේ ශ්‍රී ලංකා කොටියා කියන්නෙ. එයාලගෙ නමට ශ්‍රී ලංකා කියල කෑල්ල එකතු වෙන්නෙ අපේ රටේ ජීවත් වෙලා ඉන්න නිසාම නෙමේ. ලංකාවට අවේනික නිසා. මෙයාල සත්ව විද්‍යාවට අනුව කොටි උප විශේෂයක්. සත්ව විද්‍යාත්මක නාමය Panthera Pardus Kotiya (පැන්තරා පාර්ඩස් කොටියා). ශ්‍රී ලංකාවේදී මෙයාල වැඩිපුරම දකින්න පුළුවන් වෙන්නෙ විල්පත්තු සහ යාල වන උද්‍යාන වලදි තමා. ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පවා මෙයාල ඉන්නව කියල තොරතුරු හමු වෙලා තියෙනව. විල්පත්තුව මේ කොටි නරඹන්න ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක්. ඒ වගේම යාල. යාල වන උද්‍යානය තුළ තමා ලෝකයේ විශාලතම කොටි ගහණය වාර්තා වෙන්නෙ. 

මෙයාලගෙ ප්‍රධාන ගොදුරු බවට පත් වෙන්නෙ තිත් මුවා. ඊට අමතරව වල් ඌරන්, හාවන් තව කුඩා ප්‍රමාණයේ සතුන් රැසක් ගොදුරු විදිහට ගන්නව. ඒ උනාට හිතන්න එපා මේ කොටි තුන් වේලම අපි වගේ ගොදුරු අල්ලන් කනව කියල. මෙයාල දඩයමක් කරන්නේ සෑහෙන්න කාලෙකින්. ඒ කියන්නෙ දවසකින් දෙකකින් වෙන්නත් පුළුවන්. වැඩි හරියක්ම කාලය ගෙවෙන්නෙ බඩගින්නෙ. මොකද දඩයම් කරන හැම වෙලේම සත්තු අහුවෙන්නෙ නෑනෙ. සෑහෙන්න ගේමක් දීල තමා කෑමක් හොයා ගන්නෙ. 

ශ්‍රීලංකා lepord
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි

අනිත් හැම සතෙක්ටම වගේම මෙයාලටත් තර්ජන ගොඩක් තියෙනවා. ප්‍රධානම එක තමයි අපේ වරිගෙ ඉන්න දඩයක්කාරයෝ කියාගන්න සමහර කාලකන්ණි අටවන උගුල්. මේවට අහුවෙලා මේ කොටි ජීවිතෙන් සමුගත්ත අවස්ථා ගොඩක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම වෙඩි තැබිම් වලිනුත් තර්ජනයට ලක්වෙලා තියෙනවා. ඒවා නීති විරෝධී උනත් දැනට සිදු වෙන දේවල්. ඊළඟ තර්ජනය තමා එයාල වාසය කරන භූමිය අඩු වෙමින් යාම. එතකොට ලොකු කොටි ගහනයකට පැවතෙන්න අමාරු වෙනවා ආහාර සහ අනිකුත් දේවල් වලට ඇති තරඟය නිසා. ඒ වගේම භූමිය අඩු වීම නිසා ඒ වනාන්තර වලට මායිම් වෙලා තියෙන ගම්මාන වලට පවා මේ කොටි යන්න පෙළඹෙනව. ඒකෙනුත් එයාලගේ ජීවිත වලට අවධානමක් ඇති වෙලා තියෙනව. කොහොම හරි මේ කොටි අපිට වටින්නෙ නැති උනාට පිටරට වල ඉන්න මිනිස්සුන්ට ගොඩක් වටිනවා. ඒක නිසා එයාල මේ කට්ටිය බලන්න එනව. මේ හේතුව නිසා යාල සහ විල්පත්තු කියන වනාන්තර සංචාරකයන්ගෙ හොට්ස්පොට් වෙලා තියෙනවා. බලන්න මේ සත්තු නිසා අපේ රටට කොච්චර අදායමක් ලැබෙනවද කියල.

srilanka lepord
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි

ඕන කෙනෙක්ට මේ කොටි නරඹන්න යන්න පුළුවන්. ලෙපර්ඩ් සෆාරි තියෙනව ඒකට. හැබැයි ගියාට කමක් නෑ. සෆාරි ජීප් එකෙන් එහෙම එළියට බහිනව නෙමේ කැලේ ඇතුලෙදී. මේ කොටි වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි  කරන අයට හොඳ තෝතැන්නක්. හැබැයි ඉතිං කැලේකට ඇතුළු උන ගමන් මේ කොටි ටික එන්නෙ නෑ " ආ එහෙනං ගහගනින් ෆොටෝ ටිකක් අපේ " කියල. එයාල දකින්න පුළුවන් ප්‍රසිද්ධ තැන් ටිකක් තියෙනව ඔය විල්පත්තු සහ යාලෙ. එතෙන්ට ගිහිල්ලත් සමහර වෙලාවට පැය ගණන් බලාගෙන ඉන්න ඕනේ. එහෙම ඉඳල ගන්න ඡායාරුප දැක්කම පුදුම හැඟීමක් එන්නෙ.

ඉතිං අපිට මේ පරිසරයෙන් අපේ රටට දායාද කරල තියෙන මේ විස්මිත ජීවී කොට්ටාශ අපේ මතු පරපුර වෙනුවෙනුත් රැක ගැනීම අපේ යුතුකමක් සහ වගකීමක්. ඒකට පක්ෂ, පාට, ජාති, ආගම් භේද වලින් තොරව එකාවන්ව එකතු වෙලා කටයුතු කරන්න ඕනෙ.

ප.ලි : 
විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ ඉවක් බවක් නොමැතිව මිනිස්සු පදිංචි කිරීම තුළින් එම වනාන්තරය සීග්‍රයෙන් විනාශ වීමේ අවධානමකට මේ වන විට ලක්ව ඇත. මේ වානන්තරයේ අලි වැඩි හරියක් වාසය නොකරන අතර කොටින්ගේ පාරාදීසයකි. එමෙන්ම වලසුන් සහ තවත් වන සතුන්ගේ පාරාදීසයකි. මෙලෙස මෙම විල්පත්තු වනාන්තරය හිතක් පපුවක් නොමැතිව විනාශ කිරීමෙන් අපේ රටට සහ අනාගත පරපුරට ජාති ආගම් භේදයකින් තොරව අහිමි වන්නේ අසිරිමත් ස්වභාවික නිර්මාණයන්ය, අපූරු ජීවී කොට්ටාශයන්ය. මේ විනාශය දෙස පුළුල් දෘෂ්ඨියකින් බලා ඒ සඳහා නිවැරදි කඩිනම් විසඳුම් ගැනීමට රජයට, අදාළ බලධාරීන්ට සහ ශ්‍රී ලංකා වාසි සියළු ජනතාවට ඉක්මණටම නුවණ පහළ වෙත්වා. වනාන්තරය සහ අසරණ සතුන් ආරක්ෂා කර ගනිත්වා.

ඡායාරූප ලබා ගත්තේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට බොක්කෙන්ම කැප වෙලා කාලය වැය කරල විනෝදාංශයක් විදිහට කරන් යන මගේ හොඳ ෆ්‍රෙන්ඩෙක් වන හේෂාන් පීරිස් ගෙ  හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි කියන ෆේස්බුක් පිටුවෙන්. ඔයාලට පුළුවන් නම් ගිහිල්ල ඒ පේජ් එකට ලයික් එකක් දාල යන්න. හරිම ලස්සන ඡායාරූප ගොඩක් බලාගන්න පුළුවන් ඔයාලට.

සියළු දෙනාටම ජය වේවා!!!