Monday, June 29, 2015

මගහැරුණද? නැත්තම් මගහැරියද?


ටික දවසකට මගෙ බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුන නිසා බ්ලොග් එක පාළුවට ගිහින් කියල හිතෙනවා. ඒ වගේම කාගෙවත් බ්ලොගකට ගොඩ වෙන්නත් බැරි උනා. ඒ ගතිය නැති කරල දාන්නත් එක්ක මේ පෝස්ට් එක ලියලා දාන්න හිතුනා. කියන්න හදන්නෙ බ්ලොග් එකක් ගැන පොඩි ඔත්තුවක්. ඇත්තටම ඔත්තුවක් දෙන්න දේකුත් නෑ. ඒ බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුදු ගාණක් වෙනවා. නමුත් මට හිතෙනව ඒ බ්ලොග් එක අපේ ගොඩ දෙනෙක්ට මගහැරිලා කියල. එක්කො මගහරිනවා වෙන්නත් පුළුවන්. වැල් වටාරම් නැතුව කෙලින්ම කියන්නම්කො. මේ කියන්න හදන්නෙ   << කඳු >> බ්ලොග් එක ගැන. ගොඩ දෙනෙක් මේ බ්ලොග් එක ගැන දන්නවා කියල මට හිතෙනවා. ඒ වගේම සමහරු අනං මනං කියයි කියලත් හිතෙනවා. "අපෝ ඒකෙ කමෙන්ට් එකක් දැම්මට රිප්ලයි එකක් වත් දාන්නෙ නෑ", "එයාගෙ ලොකු කමට වෙන්න ඇති කමෙන්ට් කරන්නෙ නැත්තෙ, අපි යයි එයාගෙ බ්ලොග බලන්න" ඔය වගේ නොයෙකුත් ජාති කියනවා ඇති කියල මට හිතෙනවා :D. ඇත්තටම කමෙන්ට් එකක් දැම්මට රිප්ලයි කරන්නෙ නම් නැහැ තමා ලේසියකට. මට හිතෙන්නෙ බ්ලොග් එක කරන අයිතිකාරියට තියෙන කාර්යබහුලත්වය වෙන්න ඇති ඒකට හේතුව. 

ඒ මොනවා උනත් කඳු බ්ලොග් එකට ගිය ඕන කෙනෙක් දන්නව කොයිතරම් හැකියාවක් තියෙන කෙනෙක්ද ඒක ලියන්නෙ කියල. සිංහල භාෂාව හසුරවන අපූරුව ඒ බ්ලොග් එකෙන් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. ලස්සන කවි වර්ග, කතා ආදිය හිත ඇදිල යන විදිහට ලියල තියෙන හැටි දැක්කම කමෙන්ට් වලට රිප්ලයි නොකළත් හොරෙන් හරි ගිහින් බලන්න හිතෙන එක හැම කෙනෙක්ටම සාමාන්‍ය දෙයක් වෙන්න ඇති කියල මට හිතෙනවා. ඒ වගේම හැම පෝස්ට් එකකටම යොදාගන්නා ඡායාරූපයේ අයිති කරුවාගේ නම හෝ අඩුම ගානෙ අරගත්ත තැන හරි ලින්ක් එකත් එක්ක දාන එකත් සුවිශේෂයි. අපි නම් ගොඩ දෙනෙක් ඒක කරන්නෙම නෑ (මාත් ඇතුළුව) :D. අපි කරන්නෙ ඕන ඡායාරූපයක් අපේ වගේ දාන ඒකනෙ.  මේ බ්ලොග් එක ලියන්නේ සශිකා අමාලි මුණසිංහ කියන අක්කා. මම කියන්නෙ කඳු අක්ක කියල. කඳු බ්ලොග් එක ලියනවට අමතරව වෙනත් මාධ්‍ය වලට ලිපි එහෙමත් ලියනවා මම දැකලා තියෙනවා. සිංහල භාෂාව හැසිරවීම ගැන නම් කියන්න දෙයක් නැහැ. 

ඉතිං මේ කඳු අක්ක ගැන කීවේ වෙන මොකකටවත් නෙමේ. කොයි තරම් වැඩ රාජකාරි මැද්දෙ හිටියත් මට සුපුරුදු සංගීත උණ අඩු වෙන්නෙ නෑනෙ. මම ඉතිං කඳු බ්ලොග් එක බලනවා සාමාන්‍යයෙන්. එහෙම බලද්දී ලස්සන කවි පේලි ටිකක් පළ කරලා තිබ්බා එක පොස්ට් එකක "ප්‍රේමයයි සොඳුර ඔබ ගැන" කියන මාතෘකාව දාලා.
<<මෙතනින් ඒ පොස්ට් එකත් බලන්න පුළුවන්>>

ඒක දැක්ක හැටියෙ මට ඕනවුනේ කොහොම හරි ඒකට මම දන්න සංගීතෙ පාවිච්චි කරලා සිංදුවක් විදිහට නිර්මාණය කරන්න. කඳු අක්කගෙත් කැමැත්ත ඇතුව මම ඒක නිර්මාණය කළා. ගීතය නිර්මාණය කරද්දී කඳු අක්කා විසින්ම මුල් නිර්මාණයේ තිබ්බ පද පේළි දෙකක් වෙනස් කළා. මේ තියෙන්නේ ඒ පද ටික.

සඳ සරස නොමැති බව දැන 
සඳ නෙළා ගෙනත් අහසට 
මල් සුවඳ කැමති බව දැන 
තුරු සියක් මවා හිනැහෙන 
මා කුරුළු පියාපත් සිඹ 
දොර කවුළු පියන් හැර ගෙන 
කඳු ඉසහි රැඳෙන දේදුණු 
පැහැ කරයි සතුට ගැන ගැන 

ගඟ ඉවුරු අසළ හිඳ වෙණ 
වයයි මිහිරි තුඩගින
රළ අතර විහිද උපදින 
පැතුම් ඉපිද  මිය යන 

කඩවසම් ඉවුරු ගඟ ළඟ 
නවතින්න බැරිද අසමින 
දෑසමන් මලකි හිනැහෙන 
ප්‍රේමයයි සොඳුර ඔබ ගැන 

ඉතින් මේ පද පේළි ටිකට මගෙ හිතට ආව මෙලඩි එක දාල ගීතය නිර්මාණය කරලා මගේ යූටියුබ් චැනල් එකට අප්ලෝඩ් කළා. ඇත්තටම මේ ගීතය ගායනා කරන්න ඕනෙ ගායිකාවක්. මම ගායිකාවක් කොහෙන් සෙට් කරගන්නද මේවා කියන්න. දැනට ඉතින් මම ම ගායිකාවගෙ පාට් එකත් කලා. පස්සෙ හොඳ කෙනෙක් හම්බුනොත් කියන්න දෙනවා.

මම මේ ගීතය පළවෙනි පාරට මල්ටි ට්‍රැක් විදිහට හැදුවා. ඒ කියන්නෙ ෆෝන් එකෙන් සිංදුවේ කෑලි කෑලි රෙකෝඩින් කරලා පස්සෙ ඒ ටික එකතු කළා(ඔහොම තමා ඔයාලා හරි ලස්සනයි කිය කියා අහන ඔක්කොම සිංදු හදන්නෙත් ශබ්දාගාර වල. එකම වචන ටික හරියටම කියවෙනකන් පස් හය පාරක් කියනවා. මමත්  බොහොම ප්‍රාථමික මට්ටමින් ඒ වැඩේ කරා). කෑලි එකතු  කළේ ඇඩෝබි ඔඩිෂන් කියන මෘදුකාංගය පාවිච්චි කරලා. මේවා  ඔක්කොම පර්යේෂණාත්මක මට්ටමේ නිර්මාණයන්. ඒ එක්කම පුළුවන් විදිහට තාක්ෂණයත් මුහු කරන්න උත්සාහ කරනවා. අඩු පාඩු තියෙනවනම් පෙන්වා දෙන්න කියලත් ඉල්ලා සිටිනවා. පහළින් යූටියුබ් වීඩියෝව සහ වීඩියෝ එක  බලන්න බැරි අයට ඕඩියෝ එක දාල තියෙනවා අහන්න. අහල බලන්නකො මොකද තත්වෙ කියලා :D. අහන ගමන්ම පිං අතේ වැඩකුත් කරගන්න හැමෝටම අවස්තාවක් තියෙනවා. මගෙ බ්ලොග් එකේ ගැජට් එකක් එල්ලලා තියෙනවා දකුණු අත පැත්තෙ උඩම. ඒකෙ තියෙන්නෙ යූටියුබ් කියල රතුපාට බට්න් එකක්. ඒක ක්ලික් කරලා මගෙ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මහා පිං කමකට දායක වෙන්න හැම කෙනාටම පුළුවන් ;). 

<<මෙතනින් ක්ලික් කරලා ඕඩියෝ එක අහන්න>> 


මෙන්න යූටියුබ් වීඩියෝ එක බලන්න.



එහෙනං ගිහිං එන්නම්.
ජය වේවා!!!

31 comments :

  1. සෑහෙන්න දවසකින් මාත් ආවේ.මග ඇරුනු පෝස්ට් බොහොමයි වගේම මගේ පෝස්ට් වලට දාපු කමෙන්ට් වලට දෙන්න තියන උත්තරත් ගොඩයි.ඒ එකකටවත් වෙලා නැතිවුනත් කඳු අක්කා ගැන කියවෙන මේකට කමෙන්ට් නොකර කොහොමද?කඳු අක්කගේ පෝස්ට් ගැන තවත් කෙනෙක් එක්ක ඉස්සල්ලම කතාකලේ "නෙළුම් යාය" සම්මාන උළෙල දවසේ රෑ මාතේ එක්ක.පස්සේ කමිය,මුද්දා එක්කත් කතාකලා.ඒ කවි කියවනකොට හරියට දැනෙන්නේ චින්තා ලක්ශ්මී සිංහාරච්චි පරිවර්තනය කරන වංග පොතක් කියවනවා වගේ හැඟීමක්.
    ඇයගේ පෝස්ට් දාන ශිග්‍රතාවයත් එහෙම්මම තමයි.සමහර වෙලාවට දවසට 2ක්.කවුරු බැළුවත් නොබැළුවත්,අදහස් පලකරත් නොකරත් ඇයට ගානක් නෑ.එයාගේ පාඩුවේ එයා ලියනවා.ඒ ලියන එකක්වත් එකකට එකක් දෙවනි නෑ.ඒ වගේම තමයි කමෙන්ට් නොකලට ගොඩ දෙනෙක් කවි කියවල රස විඳිනවා.කමෙන්ට් නොකරන්නේ ඇය කමෙන්ට් බලාපොරොත්තු නොවන බව ඒත්තුගන්වලා තියන නිසාම වෙන්න ඇති.ඇය මේ සිංහළ බ්ලොග් අවකාශය තුල මුනිවරයෙක්.
    මේ වගේ මහා "කඳු" ඉස්සරහ අපි වගේ පස් ගොඩැළි වෙන මොනවා කියන්නද....ජය වේවා....
    (සිංදුව අහන්න වෙලා නෑ.අනිද්දට අහලා කියන්නම් කොහොමද කියලා.සමාවියන් ඒකට.)

    ReplyDelete
    Replies
    1. කඳු අක්ක ලියන ඒවගෙන් මාත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කටුස්සො. මම නම් ඒ කඳු ඉස්සරහ පස් පිඩල්ලක් වගේ. සිංදුව ගැනත් අදහසක් දාහන් හොඳේ එහෙනං :D

      Delete
  2. http://nelumyaya.com/?p=3348
    කඳුගේ ඒවා නිතරම දමනවා නෙලුම් යායේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අයියෙ.
      සියාමා 3 දාල කියල මගෙ බ්ලොග් රෝලෙ පෙන්නුවට ගිහින් බැලුවම නෑනෙ. මොකද දන්නෙ නෑ නේද.

      Delete
    2. 3 යි 4යි එකට ලියාගෙන යන්නේ. ඉක්මනට ලියල ඉවර කරන්න ඕනේ කමක් තිබෙනවා. කියවන අය මව වරදවා වටහා නොගනී කියන බලාපොරොත්තුවෙන් තමා ලියන්නේ.

      Delete
    3. ඉක්මණට දානකන් බලන් ඉන්නෙ. ඒකනම් ප්‍රබන්ධයක් වෙන්න බෑ. අත්දුටු සිද්දියක්ම වෙන්න ඕනෙ :D. කියවද්දි මැවිලා පේන්න ලියලා. කමෙන්ට් කරන්න හිතන් ඉන්නෙ අන්තිම කොටසට :)
      ජය වේවා!!!

      Delete
  3. කඳු ගේ බ්ලොග් එක පැත්තේ නම් නිතරම වගේ ගොඩ වෙනවා.

    ලස්සනයි බං. මේ වචන ටික දැක්කම හිතුනේ නෑ මේක සිංදුවකට ගන්න පුළුවන් වෙයි කියලත්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිනේෂ්. මම ඉතිං හිතට ආව මෙලඩි එක දාලා නිර්මාණය කරලා දැම්මා.

      Delete
  4. ලස්සනයි සින්දුව.
    බලමු බ්ලොග්ගෙ පැත්තෙ ගිහිල්ලත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසන්න අයියෙ. බලන්නකො ගිහිල්ලා එහෙනම්.
      ජය වේවා!!!

      Delete
  5. ඇත්තටම කඳු රසවත් තැනක් තමා මනා. මාත් නිතරම යන තැනක් සමහර විටක කොමෙන්ටුත් දැමෙනවා

    ReplyDelete
    Replies
    1. නොගිහින් ඉන්න හිතෙන්නෙ නෑ නේද. මාත් කමෙන්ට් දානවා. රිප්ලයි නම් ගොඩක් වෙලාවට නෑ :D

      Delete
  6. කදු ඉස්සසෙල්ලම මං දන්න විදියට හදුන්වල දුන්නේ මාතලං

    ReplyDelete
    Replies
    1. මාත් ඉතිං ආයෙ පාරක් හඳුන්වල දුන්නා ඔන්න ඔහෙ :D.

      Delete
  7. බ්ලොග් කමෙන්ට්ස් දැමිල්ල හරියට අපි මූණට මුණගැහෙන අයට හිනාවෙලා ගුඩ් මෝනිං කියනවා වගේ. උත්තර ලැබුණොත් හෙටත් ගුඩ් මෝනිං. නැත්නම් දැක්කා... මේ කවුද මොනවද මේ කරන්නේ බැලුවා. එච්චරයි. නො ගුඩ් මෝනිං. ඔහොම වුණු බ්ලොග් කාරයෝ ගොඩක් ඉන්නවා. බ්ලොගාලා කවුරු වුනත් කෙනෙකුට කමෙන්ටුවක් දාලා අනෙක් අතට බලාපොරොත්තු වෙනවා මටත් එහෙම කරයි කියලා. (නැතිනම් ඊට පස්සෙ ගණන් ගන්නෑ. කියවයි ලස්සන නිසා). අන්‍යොන්‍ය සහයෝගය කියන්නෙ ඕකටයි. ඕක නැතිව මේ අවකාශය පවත්වාගෙන යන්න අමාරුයි. අන්‍යොන්‍ය අභිප්‍රේරණය කිව්වොත් වඩාත් හරි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මධු. කමෙන්ට් කිරීම් තියෙන්න ඕනෙ. ඒක එක්කෙනාගෙ කැමත්තනෙ ඉතිං :).
      මටත් මධුගෙ කලින් පෝස්ට් ටිකකට කමෙන්ට් දාන්න බැරි උනා. ගණන් ගන්න එපා හොඳේ :D

      Delete
  8. බ්ලොග කලින් හඳුනාගෙන හිටියා , මේ ගීතය අසමින් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ගීතය නියමයි. අවසාන සංගීත සංයෝජනයෙන් පසුව ආපහු අහන්නට ලැබෙයි කියලා හිතනවා

      Delete
    2. //බ්ලොග කලින් හඳුනාගෙන හිටියා//
      අනිවා දැකල තියෙන්නම ඕනෙ :D

      සිංදුව අගය කිරීම සම්බන්ධව තැන්කියු :D.

      //වසාන සංගීත සංයෝජනයෙන් පසුව ආපහු අහන්නට ලැබෙයි කියලා හිතනවා//
      මාත් හරි ආසාවෙන් ඉන්නවා එහෙම කරන්න.

      ඒක නෙමේ මොකක් හරි ලිව්වොත් හොඳ නැද්ද බ්ලොගේ. පාළුවට ගිහිල්ලා.

      Delete
  9. ඒ කොහොමද බන් ඔහොම සිංදු කරන්නේ??? අපිට හරියකට තාලේකට හුවක් තියාගන්ඩවත් බෑනේ??
    නියමයි මචං...

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං. මට මොකක් හරි පද රචනාවකට හිත ගිහින් ඒක දිහා බලන් ඉද්දි ඇඟට එනවා ඒකට හරියන තාලයක් නිකං දෙයියො දෙනව වගේ :D. එහෙම තමා ඉතිං.
      තැන්කියු මචෝ :).
      ජය වේවා!!!

      Delete
  10. අද කාලයේ තියෙන්නේ අත්වෙන නැතිවෙන රැල්ලක්. මෙයට හේතුව තමයි ඉවසීමේ ගුණය නැතිවීම සහ අධිවේගය. නළුනිළියන්, ගායක ගායිකාවන්, කියාගන්නා උදවිය ඇතිවී නැතිවී යන්නේ පැහැදිලි සැලැස්මක් හෝ ස්ථාවර භාවයක් නැති නිසයි.

    හෙමින් ස්ථාවරව ඉදිරියට යන්නට හැකිනම් මේ නිර්මාණ අපේ හදවත්වල සදා රැඳෙනු ඇති.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස සමග සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා. බොහොම ස්තුතියි :)

      Delete
  11. දැන් කාලයේ ඇහෙන කසිකබල් නිර්මාණ අතරේ ඔබේ නිර්මාණ මුතු කැට වගේ. නොනැවතී ඉදිරියට යන්න ඔබේ කුසලතාව දිනක රටම හඳුනා ගනීවි. සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබගේ ආදරණීය සුභ පැතුමට. මට ගොඩක් වටිනවා මේක :). ස්තූතියි නැවතත්.
      ජය වේවා!!!

      Delete
  12. bAluwa + Ahuwa + ageyi +Suba pAthum

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හංසමාලි :).
      ජය වේවා!!!

      Delete
  13. ඇවිත් ගියා මලයො...ඉතාම කාර්යබහුලයි බං..බොගක් බලන්නෙ වෙන්නෙ ඉද හිට දැන්...

    ReplyDelete
    Replies
    1. ආ හරි අයියෙ. ඇවිත් යන්න ආව එකත් කොච්චර දෙයක්ද :).
      ජය වේවා!!!

      Delete
  14. එකෙන්ම ලස්සනයි මනා
    ජයෙන් ජය!

    ReplyDelete
  15. kaduge blog ekata dan yanna bane
    poddak balannako

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.