ලොකු කුඩා, ජාති ආගම් භේදයකින් තොරව සියල්ලන්ම කුමන ආකාරයකින් හෝ ඇලුම්කමක් දක්වන විශ්ව භාශාවක් ලෙස සංගීතය හදුන්වා දුනහොත් එය නිවැරදි යැයි සිතීමට සියල්ලන්ම නොපැකිලෙන බව මාගේ විශ්වාසයයි. සංගීතයේ විකාශය කවදා කෙසේ ආරම්භවුනි දැයි නිශ්චිතව කිව නොහැකි වුවත් එය අරුමයක්මැයි සිතේ. මිනිස් සිතේ ඇතිවන හැගීම් සමුදායක් ඉස්මතු කර පෙන්වීමට මෙන්ම ස්වභාවික පරිසරයේ ඇතිවන සිද්දීන් සමුදායක් පවා මතුකරදී අපගේ සිත් පතුලටම කාවැද්දවීමට හැකියාවක් සංගීතයට ඇති බව ඔබ තරමක් සිතුවොත් වැටහෙනු ඇත.
මෙලොවට බිහිවූ පසු මවගෙන් ලැබෙන උණුසුම ආදරය අතරින් අප සංගීතයේ චායාවන් දකින්නට පටන් ගනු ලබන්නේ ස්වභාවිකවමය. එය මව සහ දරුවා යන දෙදෙනා අතර පවතින ලොව අපූරුතම සබඳතාවය මූලික කරගෙනය. දරුවාගේ හැඩීම හෝ දරුවා සනසවා ගැනීම හමුවේ මවගේ මුවින් පිටවන නැළවිලි ගීයේ හැඩය එසේත් නොමැති නම් තාලය ඔස්සේ අප සියලු දෙනාම සංගීතයේ මූලික හැඩතලයන් දැක ඇති බව මාගේ විශ්වාසයයි. එම හැඩතලයන් වල ස්වභාවය සහ එවා බිළිඳු මනසට දැනෙන ආකාරය අනුව ඔහු හෝ ඇය කෙරෙන් ඇතිවන ප්‍රතිචාරයන් වෙනස් වන බව නොරහසකි. එනම් බිළිඳා තම මවගේ නැළවිලි ගීය ඔස්සේ තම මව සමග සන්නිවේදනය කිරීමට මුලපුරා ඇති බව නොවේද? සත්‍ය වශයෙන්ම පුද්ගලයෙකුට සංගීතය කෙරෙහි තම අවධානය යොමු වන්නේ ඔහු තම මවගේ කුස තුළ සිටියදීමය. ගර්භනීය මවක් ඇවිදින විටදී එම ඇවිදීමේ රටාවද සංගීතයේ ඇති තාලයකට අනුව සිදුවේ. එය කුසෙහි හොවාගෙන සිටින නූපන් ළදරුවාගේ මනසට දැනෙන බව ඔබ මීට කලින් අසා නැතුවාට සැක නැත. එසේ නොමැතිනම් ඔබ ඒ පිළිබඳව අවධානයක් දක්වූයේ නොමැති වීමට පුලුවන. මෙසේ පුද්ගලයෙකු තුළ ආරම්භ වන මූලික සංගීත හැඩතලයන් ඔහු සිටින පරිසරය, ඔහුගේ ආකල්ප සහ අනිකුත් හේතුන් මත වෙනස් වීමට මෙන්ම ඇතැම් විටෙක නැති වීමටද හැකියාවක් ඇති බව පෙනීයයි.
එමෙන්ම පුද්ගලයෙකුගේ සංගීතය කෙරෙහි ඇති රුචිකත්වය මෙන්ම එම රුචිකත්වය දක්වන සංගීත ආරයන් කෙරෙහි මූලිකව තමා හැදී වැඩුනු පරිසරය, තමා ලද අත්දැකීම් මෙන්ම තමාගේ මානසික මට්ටම බලපාන බව මාගේ අදහසයි. එසේම තවත් වෙනත් සාධකද තිබීමට පුලුවන. එම කරුණු මත පදනම්ව පුද්ගලයෙකුගේ රසඥතාවය විවිදාකාර අයුරින් ගොඩනැගෙන බව පෙනී යයි. එමෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට සංගීත රසඥතාවය වෙනස් වේ. නමුත් එක් එක් ශෛලියන් කෙරෙහි රුචිකත්වයක් දක්වන විශාල පිරිසක් සිටින බව දැකිය හැකිය.
එම හේතුව මත තමන් "ශාස්ත්‍රීය, රොක්, ජෑස්..." යන ආදී ලෙසට පුද්ගලයාගෙන් පුද්ගලයාට රසඥතාවය විවිධ අයුරින් විහිදෙන බව පෙනී යන කරුණකි. ඒ අනුව විවිද සංගීත ශෛලීන් වටා පිරිස් විවිධ ආකාරයෙන් එක්කාසු වී සිටිනු දැකිය හැකිය. ඇතැමෙක් එක් ශෛලියකට දෙකකට පමණක් සීමාවී සංගීතය රසවිදින අතර ඇතැමෙක් මේ සියලුම ශෛලීන්ට ඇල්මක් දක්වනු ලබන බව පෙනී යයි. එම කරුණු කාරණා අනුව වාණිජමය ඇසකින් බලන විට විවිධ ශෛලීන් වලට අනුගතවී ඇති සංගීතඥයන්, ගායකයන් වටා එක්වී ඇති රසික ප්‍රජාව මගින් ඔවුන්ගේ හැකියාවන් හැරෙන්නට ඔවුන්ගේ තෘප්තිය හෝ ආර්ථිකමය වශයෙන් ලාභ ඉපැයීම ඉහළ හෝ පහළ යා හැකිය. වත්මනෙහි සංගීතය හුදෙක්ම වාණිජ කරණයට ලක් වී ඇත.
හුදෙක්ම කිසියම් හෝ ශිල්පයක් ප්‍රගුණ කරගත් පුද්ගලයෙකු එය යොදාගෙන ආර්ථිකමය වාසි ලබා ගැනීම සාමාන්‍ය සිද්ධියකි. ආර්ථිකමය වාසි පසෙකින් තබා තමාගේ වින්දනයට හා තවෙකෙකු වින්දනයට පත් කිරීම අදිටන් කරගෙන සංගීතය හෝ කිසියම් කලාවක් ඉදිරිපත් කරනු ලබන පුද්ගලයන් සොයා ගැනීමට පවා අපහසුය. එසේ සිටින්නවුන් ශ්‍රේෂ්ඨ සංගීතඥයන්ය. එසේ නොමැතිනම් විශිෂ්ට කලාකරුවන් ය. සැබැවින්ම මෙසේ සදහන් කරනු ලැබූ කරුනු ඔබ තරමක් දුරට විමසා බැලුවහොත් සංගීතය පිළිබඳව ඔබගේ රුචිකත්වය ඇත්තේ කොතැනද එය එසේ වන්නට ඇත්තේ කවර හේතූන් නිසාදැයි ඇතැම් විටෙක ඔබට සොයා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරමි.
ස්තූතියි!!!